Skip to content

පටුනට යන්න

නූතන සිතියම් කලාවේ පුරෝගාමියා

නූතන සිතියම් කලාවේ පුරෝගාමියා

නූතන සිතියම් කලාවේ පුරෝගාමියා

බෙල්ජියමේ පිබිදෙව්! ලේඛක විසින්

මෙම ලිපියේ කතා කරන්නේ ලෝක සිතියම් නිර්මාණය කිරීමෙන් ලෝක ප්‍රසිද්ධ වූ ජෙරාඩස් මර්කේටර් පිළිබඳවයි. ඔහු ජීවත් වුණේ 1512 සිට 1594 දක්වා කාල වකවානුවෙයි. ඔහු නිර්මාණය කළ සිතියම් ගැනත් ඔහුගේ ජීවන තතු ගැනත් අප සලකා බලමු.

ඔහු උපත ලැබුවේ බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේයි. ඔහු ලියුවන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඔහු ග්‍රීක දර්ශනවාදියෙක් වන ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම්වලට යොමු වුණා. ජෙරාඩස් බයිබල් ඉගැන්වීම් විශ්වාස කළ අයෙක්. එමනිසා ග්‍රීක දර්ශනවාදීන්ගේ ඉගැන්වීම් බොහොමයක් බයිබල් ඉගැන්වීම්වලට පටහැනි නිසා ඔහු ඒවා ප්‍රතික්ෂේප කළා. ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළා. “බයිබලයේ මැවීම පිළිබඳව සඳහන් දේ දර්ශනවාදීන් පිළි නොගන්න නිසා මට ඔවුන්ගේ ඉගැන්වීම් විශ්වාස කරන්න බැහැ.”

ඔහුට දර්ශනවාදියෙක් වීමට අවශ්‍ය නොවූ නිසා ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සමුගත්තා. නමුත් ඔහුගේ එකම අභිප්‍රාය වුණේ මැවීම පිළිබඳ බයිබලයේ සඳහන් සත්‍යය ඔප්පු කිරීමට සාක්ෂි සෙවීමයි. ඔහු තම ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ඒ වෙනුවෙන්.

භූගෝල විද්‍යාව හැදෑරීම

මර්කේටර් 1534දී ගණිතඥයෙක් යටතේ ගණිතය, තාරකා විද්‍යාව සහ භූගෝල විද්‍යාව හැදෑරුවා. එමෙන්ම ගැස්ප වැන් ඩ හේඩන් නම් ප්‍රවීණයෙක් යටතේ ලී හෝ තහඩු මත සිතියම් කැපීමේ කලාවත් හදාරන්න ඇතැයි කියා විශ්වාස කරනවා. දහසයවන සියවසේ සිටි බොහෝදෙනෙක් ලිවීම සඳහා භාවිත කළේ තද කලු අකුරුයි. කෙසේවෙතත් මර්කේටර් රෝම අකුරු වැල් අකුරු ක්‍රමයට ලිවීමේ ක්‍රමයක් සොයාගත්තා. ඔහු සොයාගත් මේ ක්‍රමය සිතියම් නිර්මාණයට බෙහෙවින් උපකාරවත් වුණා.

වර්ෂ1536දී ඔහු කැටයම් ශිල්පියෙක් ලෙස ඉහත කී ගණිතඥයා සහ වැන් ඩ හේඩන් සමඟ එකතු වී ලෝක සිතියමක් නිර්මාණය කළා. මර්කේටර්ගේ කාර්යය වුණේ එම සිතියමේ නම් කැපීමයි. ඔහු අලුතින් සොයාගත් වැල් අකුරු ක්‍රමය මේ සඳහා බෙහෙවින් උපකාරවත් වුණා. මර්කේටර්ගේ ජීවිත කතාව ලියූ නිකලස් ක්‍රේන් ඔහුගේ හැකියාවන් පිළිබඳව මෙසේ පවසනවා. මීට පෙර එක් සිතියම්කරුවෙකු ‘විශාල සිතියමක් නිර්මාණය කළත් ඔහුට ලකුණු කිරීමට හැකි වුණේ ඇමරිකාවේ ස්ථාන 50ක් පමණයි. නමුත් මර්කේටර්ගේ දක්ෂ වැල් අකුරු ලිවීමේ ක්‍රමය නිසා ඊට වඩා බෙහෙවින් කුඩා සිතියමක ස්ථාන 60ක් ලකුණු කිරීමට ඔහුට හැකි වුණා.’

විශිෂ්ට නිර්මාණකරුවෙක් බිහි වෙයි

වර්ෂ 1537දී මර්කේටර් තම කුලුඳුල් සිතියම නිර්මාණය කළා. එයට ඇතුළත් වුණේ බයිබලයේ සඳහන් මධ්‍යධරණී ප්‍රදේශයි. ඔහුගේ අරමුණ වූයේ බයිබලයේ සඳහන් ප්‍රදේශ නිශ්චිතවම පිහිටා තිබෙන ස්ථාන මනුෂ්‍යයන්ට දැනගැනීමට සැලැස් වීමයි. එවකට තිබූ සමහර සිතියම්වල දක්නට ලැබුණේ ස්ථාන 30ක් වැනි සුළු සංඛ්‍යාවක් වුවද ඒවායින් බොහොමයක්ම නිවැරදිව සටහන් කර තිබුණේ නැහැ. කෙසේවෙතත් මර්කේටර්ගේ සිතියමේ ස්ථාන 400කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් වී තිබෙනවා. එම සිතියමේ ඉශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් නික්ම ඇවිත් පොරොන්දු දේශයට ගිය ගමන් මාර්ගය බයිබලයට එකඟව සටහන් කර තිබෙනවා. මර්කේටර්ගේ සිතියමේ තිබූ නිරවද්‍යතාව නිසා ඔහුගේ සමකාලීනයන් එම සිතියම බොහෝ සේ අගය කළා.

එම සිතියමෙන් ලැබූ සාර්ථකත්වය නිසා 1538දී ඔහු ලෝක සිතියමක් නිර්මාණය කළා. එම සිතියම නිර්මාණය කිරීමට පෙර සිතියම් නිර්මාණය කළ අය උතුරු ඇමරිකාව හැඳින්වූයේ ඈත එපිට පිහිටි නාඳුනන දේශය ලෙසයි. නමුත් උතුරු ඇමරිකාව කියා මුලින්ම නම් කළේ මර්කේටර් විසිනුයි.

මර්කේටර් විසුවේ නව දේශ දේශාන්තර සොයාගනිමින් සිටි කාලයකයි. එකිනෙකට වෙනස් තොරතුරු නාවිකයන්ගෙන් ලැබුණ නිසා රටවල නම් හා ස්ථාන නිවැරදිව සටහන් කිරීමේ අභියෝගයට සිතියම් නිර්මාණකරුවන් මුහුණ දුන්නා. කෙසේනමුත් 1541දී මර්කේටර් සියලු අභියෝග ජය ගනිමින් අනිකුත් සිතියම්වලට වඩා නිවැරදි ලෝක සිතියමක් නිර්මාණය කළා.

චෝදනා එල්ල වෙයි

මර්කේටර් ජීවත් වූ නගරයේ රෙපරමාදු ආගමට අයත් ලුතරන් භක්තිකයන් බොහොමයක් සිටියා. ඔහු එම ආගමික විශ්වාසයන් බොහොමයක් පිළිගත්තා. සමහරවිට ඔහුගේ භාර්යාව පසු කාලයේදී ලුතරන් භක්තික කාන්තාවක් බවට පත්වෙන්න ඇති. නමුත් එවකට පැවති රජය ලුතරන් භක්තිකයන්ට විරුද්ධ වුණා. වර්ෂ 1544 පෙබරවාරි මාසයේදී මර්කේටර් සහ තවත් 42දෙදෙනෙකුව සිරභාරයට ගත්තා. ඔවුන්ව සිරභාරයට ගැනීමට නිලධාරීන් දෙදෙනෙකු මුල් වී ක්‍රියා කළ බව පෙනී යනවා. ඔවුන් දෙදෙනා නම් ටැපර් සහ ලැටමොවුස් යන අයයි. බයිබල් පරිවර්තකයෙක් වූ විලියම් ටින් ඩේල්ට 1536දී මරණ දණ්ඩනය නියම කළ නඩු විභාගයට මුල් වී ක්‍රියා කළේද ඔවුන් දෙදෙනායි. ඔවුන් මර්කේටර්ගේ බයිබලයේ ස්ථාන ඇතුළත් සිතියම පිළි නොගැනීමට හේතුව එමගින් පොදු ජනයාට බයිබලය කියවා තේරුම්ගැනීමට හැකියාව ලැබෙයි කියා ඔවුන් සිතූ නිසා විය හැකියි.

අත්අඩංගුවට ගත් අය අතර සිටි ඇන්ටුවානේට් වැන් රුස්මෙල්ස් නම් කාන්තාව කියා සිටියේ මර්කේටර් රෙපරමාදු භක්තිකයක්ගේ ආගමික රැස්වීම්වලට කිසිදා පැමිණ නැති බවයි. නමුත් එම කාන්තාව ආගමික රැස්වීම්වලට සහභාගි වූ නිසා ඇයව පණ පිටින් වළලා දැමුවා. මර්කේටර්ව මාස හතකට පසු නිදහස් කරනු ලැබුවත් ඔහු සතු දේ රාජ සන්තක කළා. මෙම ආගමික පීඩාවෙන් ගැලවීමට ඔහු 1552දී ජර්මනියට පලා ගියා.

ප්‍රථම සිතියම් පොත

බයිබලයේ සඳහන් මැවීමේ වාර්තාව සත්‍යයක් බව ඔප්පු කිරීමට මර්කේටර් වෙහෙස නොබලා වැඩ කළා. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කළේ විශ්වයේ ආරම්භයේ සිට සිදු වූ සියල්ල පැහැදිලි කිරීමටයි. එම පැහැදිලි කිරීම් කළේ බයිබලයේ සඳහන් මැවීමේ වාර්තාව සත්‍යයක් බව ඔප්පු කිරීමටයි.

වර්ෂ 1569දී මැවීමේ සිට සියලුම වාර්තා අඩංගු පොතක් මර්කේටර් රචනා කළා. මෙම පොත ලිවීමේ අරමුණ වූයේ තම පාඨකයන්ට ඉතිහාස වාර්තාව හොඳින් තේරුම්ගැනීමට හා එයින් ලැබෙන ප්‍රයෝජන පෙන්වා දීමටයි. ඒත් එම පොත කතෝලික සභාව විසින් තහනම් කළා. ඊට හේතුව රෙපරමාදු ආගමේ පුරෝගාමියෙක් වූ ලුතර් මුදල් ගෙවා පව්වලට සමාව ලබාගත හැකියි යන කතෝලික පල්ලියේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරමින් 1517දී ප්‍රකාශයට පත් කළ ලිපිය එම පොතට ඇතුළත් කිරීමයි.

ඉන්පසු මර්කේටර් වැඩි කාලයක් ගත කළේ සිතියම් ඇඳීමට හා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කිරීම සඳහායි. වර්ෂ 1590දී මර්කේටර්ට හදිසියේම අංශභාග රෝගය වැලඳුණු අතර ඔහුගේ වම් පැත්ත සම්පූර්ණයෙන්ම පණ නැති වූ නිසා ඔහුට තම කාර්ය දිගටම කරගෙන යෑමට අපහසු වුණා. නමුත් ඔහු තුළ තිබූ දැඩි අධිෂ්ඨානය නිසා මිය යන තුරුම තම කාර්යය කරගෙන ගියා. ඔහු මිය ගියේ 1594දීයි. එවිට ඔහුගේ වයස අවුරුදු 82කයි. මර්කේටර් මිය යෑමෙන් වසරකට පසුව ඔහුගේ පුතා ඔහු අවසන් නොකළ සිතියම් පහක් සම්පූර්ණ කරමින් ඔහුගේ සියලු සිතියම් ඇතුළත් පොතක් මුද්‍රණය කරනු ලැබුවා.

මෙම සිතියම් පොතේ බයිබලයේ පළමු පොත වන උත්පත්ති වාර්තාවේ පළමු පරිච්ඡේදය පිළිබඳව ඔහු කළ අධ්‍යයනයද ඇතුළත් වෙනවා. මර්කේටර් විශ්වාස කළ දේ බොහෝ දර්ශනවාදීන් පිළිගත්තේ නැතත් බයිබලයේ සඳහන් සත්‍යය වෙනුවෙන් ඔහු නිර්භීතව ක්‍රියා කළා. නමුත් මර්කේටර්ට හැඟුනේ තමන් කළ සියලු කාර්යන්වලින් වැදගත් තැනක් ගන්නේ එම අධ්‍යයනය කියායි.

“අපේ කාලයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥයා”

වර්ෂ 1606දී මර්කේටර්ගේ සිතියම් පොත යෝඩකස් හොන්ඩියස් විසින් විශාල අකුරු සහිතව භාෂා ගණනාවකින් ප්‍රකාශයට පත් කළා. එය අනෙකුත් සිතියම් පොත් අතරින් වැඩියෙන්ම අලෙවි වූ පොතයි. දහසයවන සියවසේදී විසූ සිතියම් නිර්මාණකරුවෙක් වන ඒබ්‍රැහැම් ඕටේලියස් මර්කේටර් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළේ මෙසේයි. ‘අපේ කාලයේ විසූ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥයා ඔහුයි.’ නිකලස් ක්‍රේන් විසින් මර්කේටර්ව හැඳින්වූයේ “අපේ ලෝකය සිතියම් කළ තැනැත්තා” ලෙසයි.

අද අපිට ලෝක සිතියමක් දෙස බලා රටවල් හඳුනාගැනීමට හැකි වී තිබෙන්නේ මර්කේටර් සිතියම් නිර්මාණය කිරීමට ගත් වෙහෙස නිසයි. අප ඇත්තෙන්ම ඔහුට ණයගැතියි.

[21වන පිටුවේ පින්තූරය]

බයිබලය අධ්‍යයනය කළ මර්කේටර්

මර්කේටර් මේ පොළොව මිනිසුන්ට ජීවත් වීමට උචිත ලස්සන සාමකාමී ස්ථානයක් වෙයි කියා විශ්වාස කළා. ඔහු බයිබලයේ රෝම පොතේ පළමු පරිච්ඡේදයේ සිට 11වෙනි පරිච්ඡේද දක්වා පැහැදිලි කරමින් වාර්තාවක් සකස් කළා. එමගින් ඔහු දෛවය පිළිබඳ ඉගැන්වීම නිෂ්ප්‍රභ කළා. ඒ වගේම ගැලවීමට අවශ්‍ය වන්නේ විශ්වාසය පමණක් යන මාටින් ලූතර්ගේ ඉගැන්වීමද ඔහු පිළිගත්තේ නැහැ. ගැලවීම සඳහා ක්‍රියාත් අවශ්‍ය බව මර්කේටර් පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ මිනිසුන් පව් කිරීමට පෙලඹෙන්නේ ඔවුන් ගන්නා තීරණ අනුව කියායි. සත්ප්‍රසාද සඳහා භාවිත කරන රොටි සහ වයින් යේසුස්ගේ මාංසය හා රුධිරය බවට පත් වෙනවා යන කතෝලික ඉගැන්වීමද ඔහු පිළිගත්තේ නැහැ. මර්කේටර් පැවසුවේ “මේ මාගේ ශරිරය” කියා යේසුස් කියූ දෙයින් ඔහු අදහස් කළේ තමන්ගේ ශරීරය ඉන් නියෝජනය වන බවයි.

[22වන පිටුවේ කොටුව/පින්තූරය]

මර්කේටර්ගේ සිතියමේ සුවිශේෂි බව

පෘථිවිය ගෝලාකාර නිසා එය පැතලි තලයක සිතියමකට නැඟීම පහසු දෙයක් නොවෙයි. නමුත් මර්කේටර් මේ සඳහා ක්‍රමයක් යොදාගත්තා. ඔහු 1569දී නිර්මාණය කළ ලෝක සිතියම විශිෂ්ට ගණයේ එකක් කියා පැවසිය හැකියි. කෙසේවෙතත් එම සිතියමේ සුළු සුළු අඩුපාඩු නැතුවාම නොවෙයි. සමකය අසල පිහිටි රටවල හැඩ නිවැරදි වූවත් සමකයට ඉහළින් හා පහළින් පිහිටි රටවල හැඩය වෙනස්. සමකයේ සිට එක් එක් රටවල් කොතරම් දුරින් පිහිටා තිබෙනවාද කියා පෙන්වීමට පෘථිවිය හරහා ඇඳි රේඛා එහි එක හා සමාන නැහැ. උත්තර ධෘවය හා දක්ෂිණ ධෘවයට ආසන්නවත්ම එම පරතරය තව තවත් වැඩි වෙනවා. එසේ වූවත් අද පවා මර්කේටර්ගේ සිතියම් ඇඳීමේ එම ක්‍රමය නාවික සිතියම් සඳහා යොදාගැනෙනවා.

[පින්තූරය]

මර්කේටර් නිර්මාණය කළ පැතලි සිතියම සිලින්ඩරයක් කපා දිග හැරිය විට දිස්වන ආකාරයට සමාන කළ හැකියි

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1537දී මධ්‍යධරණී ප්‍රදේශයේ ස්ථාන 400කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතුළත් මර්කේටර්ගේ සිතියම

[20, 21වන පිටුවල පින්තූර]

මර්කේටර්ගේ ලෝක සිතියම,1538

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Antwerpen, Stedelijk Prentenkabinet

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both maps: From the American Geographical Society Library, University of Wisconsin-Milwaukee Libraries