Skip to content

පටුනට යන්න

සැබෑ සහනයක්

සැබෑ සහනයක්

සැබෑ සහනයක්

ලිපිය ආරම්භයේ සඳහන් කළ ලීනා නමැති තිස්දෙහැවිරිදි කාන්තාව සිටියේ ජීවිතය ගැන කලකිරීමෙන්. එමෙන්ම ඇයට වරද සහිත බවක් හා ජීවිතය නැති කරගැනීමට පෙලඹීමක් තිබුණා. ඊට හේතුව ඇය ඖෂධවලට ඇබ්බැහි වී සිටි නිසයි. ඇය මෙසේ පැවසුවා. “මට ඕන වුණේ හොඳ බිරිඳක් වෙන්න. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. ඒ වුණාට මගේ ජීවිතයේත් අවට සමාජයේත් යහපත් දෙයක් දකින්න තිබුණේ නැහැ. මට අත් වුණේ දුක හා කලකිරීම විතරයි. හොඳ ජීවිතයක් ගත කළා කියා කිසිම වැඩක් නැහැ. මම හොඳ ජීවිතයක් ගත කරන්න කිහිප වතාවක්ම උත්සාහ කළත් ඉන් පලක් වුණේ නැහැ.”

ලීනා ජීවිතය ගැන කලකිරී සිටියදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යනය කිරීමට ඇයට අවස්ථාවක් උදා වුණා. වැඩි කල් නොගොස් බයිබල් සත්‍යයන් නිසා ඇයට සන්සුන් මනසක් හා සහනයක් දැනෙන්න පටන්ගත්තා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම කිසිදාක ඒ තරම් සහනයක් අද්දැකලා තිබුණේ නැහැ.” බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති හා අනාගතය ගැන තිබෙන හොඳ බලාපොරොත්තු නිසා ඇයට යහපත් ජීවිතයක් ගත කරන්නත් නරක පුරුදුවලින් මිදෙන්නත් හැකි වුණා.

ජීවිතයට අදාළ වන ප්‍රතිපත්ති

බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති හා නීති අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි දී තිබෙන්නේ අපගේම යහපත සඳහායි. ගීතාවලිය 19:7, 8හි [NW] පවසන්නේ ‘යෙහෝවා දෙවිගේ නීතිය පරිපූර්ණය. එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය. යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය. යෙහෝවා දෙවිගේ ආඥා පවිත්‍රය. ඒවා ඇස් දීප්තිමත් කරන්නේය’ කියායි.

ඒ වගේම 2 කොරින්ති 7:1හි දිරිගන්වන්නේ ‘මාංසය සහ ආත්මය [ශරීරය] දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපව පවිත්‍ර’ කරගන්න කියායි. ලීනා එම බයිබල් පදයේ තිබෙන උපදෙස ජීවිතයට අදාළ කරගත්තා. එමනිසා ඇයට තිබු සෑම නරක පුරුද්දකින්ම මිදීමට හැකි වුණා. මෙම ලිපි මාලාවේ සඳහන් කළ මීරාගේ අද්දැකීමත් එයමයි. ඇයට තිබූ ඉරුවාරදයට වෛද්‍යවරයා දුන් ඖෂධවලට ඇය ඇබ්බැහි වූ බව ඔබට මතක ඇති. ඇය තමන්ට තිබූ ගැටලුව ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළා. එවිට වෛද්‍යවරයා වෙනත් ඖෂධ වර්ගයක් භාවිත කිරීමට උපදෙස් දුන්නා. * ඊට අමතරව ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවෙන් උපකාරයද ලබාගත්තා.

ලීනා හා මීරා යන දෙදෙනාම යාච්ඤාවෙන් උපකාර ලබාගත්තා. ෆිලිප්පි 4:6, 7හි සඳහන් වන්නේ මෙසේයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” දෙවිට නමස්කාර කළ පුරාණයේ සිටි සේවකයෙක් ඔහු අද්දැක්ක සහනය ගැන මෙසේ පැවසුවා. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” (ගීතාවලිය 94:19NW) දෙවිගේ වදන් ඔහුගේ ජීවිතයට සහනය හා සතුට ළඟා කර දුන්නා. දෙවිගේ වචනය වන බයිබලයේ පිටු අතරේ සහනදායි වදන් සොයාගත හැකියි. එමෙන්ම ක්‍රිස්තියානි සභාවේ සාමාජීකයන්ගෙන් ලැබෙන දිරිගැන්වීම හා සභාවේ වැඩිමහල්ලන්ගෙන් ලැබෙන දිරිගැන්වීම නිසාද සහනයක් අද්දැකිය හැකියි.

පුද්ගලයෙක් කාලයක් පුරා ඖෂධ හෝ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටිම නිසා ජීවිතය ගැන විශාල කලකිරීමක් ඇති විය හැකියි. ඒ බව දැන් ක්‍රිස්තියානියෙක් වී සිටින ජැනිස්ගේ අද්දැකිමෙන් සනාථ වෙයි. ඇය වසර ගණනාවක් පුරා ඖෂධ ගැනීමට පුරුදු වී සිටියා. ඇය මෙසේ පවසනවා. “ඇබ්බැහි වූ කෙනෙකුට දෙවි කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ. ඒ අය තමන්ටම වෛර කරනවා. ඒ වගේ කෙනෙකුට තනිවම යෙහෝවා දෙවිගෙන් උපකාරය පතන එක පහසු දෙයක් නෙවෙයි. සමහරවිට එය කොහොමටවත් කරන්න බැරි දෙයක්.” එවැනි තත්වයක් යටතේ සිටින කෙනෙකු මේරූ ක්‍රිස්තියානින්ගේ උපකාරය පැතීම අත්‍යවශ්‍යයි. එම ක්‍රිස්තියානීන්ගේ ඉවසීම, දිරිගැන්වීම හා ඔබ වෙනුවෙන් කරන යාච්ඤා මගින් ‘අසනීපයෙන් පෙළෙන්නා සනීප වන්නේය.’ (යාකොබ් 5:15) ඔබේ දරුවා ඖෂධවලට ඇබ්බැහි වී සිටිනවා නම් දෙමාපියෙකු වශයෙන් ඔහුට අවශ්‍ය වෛද්‍ය උපකාර ලබා දීමටත් දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමටත් ඔබ යුහුසුලුව ක්‍රියා කළ යුතුයි.

ජැනිස් පුනරුත්ථාපන කඳවුරකින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන යහපත් ජීවිතයක් ගත කරමින් සිටිනවා. ඇය මෙසේ පවසනවා. “මම දුෂ්කර කාලවලදී යෙහෝවා දෙවි මත මුළුමනින්ම රඳා සිටියා. දැන් මම සාමකාමී ජීවිතයක් ගත කරනවා. ඖෂධවලට ඇබ්බැහි වීමට කලින් මම ගත කළ විනෝදකාමි සැහැල්ලු ජීවිතයට දැන් මම ටිකෙන් ටික හුරු වෙමින් සිටිනවා.”

ප්‍රශ්න නැති කාලයක්

අනාගතයේදී කිසිම ඖෂධයක් ගැනීමට අවශ්‍ය නොවන කාලයක් පැමිණෙනවා. ඒ පිළිබඳව එළිදරව් 21:3, 4 මෙසේ පවසනවා. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් [කලින් සිදු වූ දේවල්] පහව ගියේය.’

ක්‍රිස්තියානියෙකුට තිබෙන බලාපොරොත්තුව බයිබලයේ සමාන කරන්නේ ‘නැංගුරමකටය. එය සහතිකය, ස්ථිරය.’ (හෙබ්‍රෙව් 6:18, 19) පුරාණ කාලයේ නැවියන් චණ්ඩමාරුතයකට අසු වූ විට නෞකාවේ තිබෙන නැංගුරම මුහුදු පතුලට දමනවා. එවිට නැංගුරම මුහුදු පතුල තදින් අල්ලා ගන්නා විට නෞකාව ඒ මේ අත ගසාගෙන නොගොස් එක තැන රැඳී තිබෙනවා. ඒ හා සමානව බයිබලයේ සඳහන් ‘සහතිකවම හා ස්ථිරවම’ ඉටු වීමට නියමිත බලාපොරොත්තුව නිසා ජීවිතයේ චණ්ඩමාරුතයක් හා සමාන ප්‍රශ්න ගැටලු හමුවේ නොසැලී එඩිතරව ඒවාට මුහුණ දීමට ශක්තිය ධෛර්ය ලැබෙන බව ස්ථිරයි!

ඔබත් බයිබලයේ තිබෙන උපදෙස් සොයා බැලීමට කාලය නොගන්නේ මන්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කිරීමට සෑදී පැහැදී සිටියි. ඔබ එයින් මහත් ප්‍රයෝජනයක් ලබන බව නිසැකයි.

[පාදසටහන]

^ 6 ඡේ. මීරා මෙන් සෑමදෙනාටම ගැටලුවෙන් මිදීම පහසු නොවිය හැකියි. උදාහරණයකට සමහරෙකුට නොයෙකුත් වේදනාකාරී රෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒවායෙන් සහනයක් ලැබීමට වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඖෂධ ලබාගැනීමටසිදු විය හැකියි. එවැනි රෝගියෙක් ඖෂධ ලබාගන්නේ හුදු වින්දනයක් ලබාගැනීමට නොවෙයි.—හිතෝපදේශ 31:6, බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට දෙවිගේ සමාදානය ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.”—ෆිලිප්පි 4:6, 7

[10වන පිටුවේ කොටුව/පින්තූරය]

ගතේ සිතේ සුවය සඳහා කළ හැකි දේ

ව්‍යායාම් කිරීමෙන් “තාවකාලිකව මානසික සුවයක් ලබාගත හැකි බව” මානසික සුවය පිළිබඳ ලියැවුණු පොතක (Managing Your Mind—The Mental Fitness Guide) සඳහන් වෙනවා. ආහාර රටා මෙන්ම පුරුදු වෙනස් කරගැනීම ශාරීරික හා මානසික සුවය සඳහා උපකාරවත් වෙයි. කුඩා කාලයේදීම ශාරීරික හා වාචික ප්‍රහාරවලට ලක් වූ වැලරි නම් කාන්තාවගේ අද්දැකීම සලකා බලන්න. ඇය විවිධ ඖෂධ වර්ග 12ක් පමණ භාවිත කිරීමට ඇබ්බැහි වී සිටියා. කෙසේවෙතත් ඇයට එම නරක පුරුද්ද වෙනස් කරගැනීමට හැකි වුණා. ඇයට එසේ කිරීමට හැකි වුණේ කෙසේද?

ඇය මනස අවුල් කරවන පොත් කියවීම හා රූපවාහිනි වැඩ සටහන් නැරඹීම නතර කර නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරන මෙම සඟරාව ඇතුළු බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරවත් වන පොත් පත්ද කියවීමට ආරම්භ කළා. එමෙන්ම ඇය දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා වුවමනාවෙන් යාච්ඤා කළා. සභාව තුළින් ලැබුණු උපකාරයෙන් ඇය අන් අයට බයිබලයේ සඳහන් සත්‍යයන් පැවසීමට ඇගේ කාලය යෙදෙව්වා. මේ දේවලට අමතරව ඇය ක්ෂණික ආහාර ගැනීමේ පුරුද්දෙන් මිදුණා. ඇගේ සෞඛ්‍ය තත්වය කොතරම් යහපත් අතට හැරුණාද යත් වෛද්‍යවරුන් පවා ඒ ගැන පුදුමයට පත් වුණා. ඇය අනිසි ලෙස ඖෂධ භාවිත කිරීමේ පුරුද්දෙන් වැළකී දැනට අවුරුදු ගණනාවක් ගත වී තිබෙනවා. *

[පාදසටහන]

^ 21 ඡේ. ඔබ මානසික පීඩනයට හෝ එවැනි රෝගයකට වෛද්‍යමය උපදෙස් මත යම් ප්‍රතිකාර ලබාගන්නවා නම් ඔබගේ තත්වය වැලරි මුහුණ දුන් තත්වයට වඩා වෙනස්. ඒ නිසා වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගැනීම නතර කරන්න එපා.