Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“රුසියාවේ කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා තබා තිබූ භාණ්ඩ 1,60,000ක් අතුරුදහන් වී තිබෙනවා.”—RIA NOVOSTI, RUSSIA.

▪ “නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ ෆීනික්ස් මාර්ස් යානයෙන් ලබාගත් තොරතුරු අනුව අඟහරු ග්‍රහයේ හිම වැටෙන බව සොයාගැනුණා.”—“NASA MISSION NEWS,” U.S.A.

▪ “ග්‍රීසියේ රියදුරන් හා මඟීන් සියයට 65ක් මිය යන්නේ ආරක්ෂිත පටි සහ හිස් වැසුම් නොපළඳින නිසයි.”—EIKONES, GREECE.

ගමන් මලු නැති වීම

ගුවන් මඟීන්ගේ ගමන් මලු නැති වීම සුලබ දෙයක්. 2007දී ගමන් මලු “මිලියන 42ක් නැති වී තිබෙනවා. එය 2006 වසරට වඩා සියයට 25ක වැඩි වීමක්” කියා එක් පුවත්පතක වාර්තා කරනවා. එයින් බොහොමයක් පැය 48ක් ඇතුළත ඒවායේ අයිතිකරුවන්ට භාර දී තිබෙනවා. නමුත් සියයට තුනක් එනම්, “2,000කට එකක් බැගින් නැති වෙනවා.” ගමන් මලු නැති වීම නිසා 2007දී ගුවන් යානා සමාගම්වලට ඇමරිකානු ඩොලර් බිලියන තුනයි දශම අටක පාඩුවක් විඳින්න සිදු වී තිබෙනවා. බඩු මලු නැති වීමට හේතු ලෙස දක්වන්නේ “ගුවන් මඟීන්ගේ ගණන වැඩි වීම, කෙටි කාල සීමාවක් ඇතුළත ගමන් මලු විශාල ප්‍රමාණයක් බෑමට සිදු වීම බඩු බෑමේදී සිදු වන නොසැලකිලිමත්කම සහ ලේබල් කිරීමේදී සිදු වන දෝෂ යනාදියයි. “—International Herald Tribune.

විවාහ නොවී එකට වෙසෙන කතෝලිකයෝ

ප්‍රංශයේ කළ අධ්‍යයනයක් පිළිබඳව එක් පුවත්පතක සඳහන් වන්නේ මෙසේයි. මිනිසුන් ආගමට එතරම් ලැදියාවක් නොදක්වන නිසා ඔවුන්ගේ සදාචාර ප්‍රමිති පහත වැටී තිබෙන බවයි. උදාහරණයකට කතෝලික භක්තිකයන් යැයි පවසන අවුරුදු 18ත් 24ත් අතර සිටින යෞවනයන්ගේ ගණන සියයට 88යි. එයින් සියයට 80ක් පල්ලියට යන්නේ විවාහ උත්සවයකට බව්තිස්මයට එසේත් නැත්නම් අවමංගල්‍යය අවස්ථාවකට පමණයි. මෙසේ ආගම දහමට භක්තියක් නොදැක්වීම විවාහ ජීවිත බිඳ වැටීමට හේතු වී තිබෙනවා. වසර 40කට පෙර යුවළයන් දසදෙනෙකුගෙන් විවාහ නොවී එකට විසුවේ එක් යුවළක් පමණයි. නමුත් අද දින එම අනුපාතය දහයට නවයයි. එම අධ්‍යයනයෙන් තවදුරටත් පෙන්නුම් කළේ “පල්ලියට නිතිපතා යන කතෝලිකයන් අතරින් සියයට 75ක් විවාහයට පෙර එකට ජීවත් වන බවයි.”—Population & Sociétés.

ඉන්දියානු ගොවියෝ දිවි නසාගනියි

වර්ෂ 2002 සිට සෑම වසරකම ගොවියෝ 17,000කට වඩා වැඩි ප්‍රමාණයක් කෘමි නාශක ගැනීමෙන් දිවි නසාගන්නවා කියා එක් පුවත්පතක වාර්තා වෙනවා. ගොවියන් මෙවැනි තත්වයන්ට පත් වීමට හේතු ලෙස පෙන්වන්නේ නියඟය, අස්වැන්න විකීණිමේදී මිල පහත වැටීම, වගා වියදම් වැඩි වීම, බැංකු ණය පියවීමට තිබෙන ගැටලු යනාදියයි. මේ හේතු නිසා බොහෝ ගොවියන් ගිනි පොලීකරුවන්ගෙන් ණය ලබාගන්නවා. මෙම ණය පියවාගැනීමට නොහැකි වන විට සමහර ගොවියන් තම ශරීරයේ අවයව පවා විකිණීමට පෙලඹී තිබෙනවා. ණය පියවීමට කිසිම විකල්පයක් නැති විට ඔවුන් දිවි නසාගන්නවා.—The Hindu.

බිත්තර ඇතුලේත් කතා

“කිඹුල් පැටවුන් බිත්තර ඇතුලේ සිටියදීම අනික් උන් සමඟ කතා කර” එකම වේලාවේ උන් එළියට එනවා කියා ලන්ඩනයේ එක් පුවත්පතක සඳහන් වුණා. මෙසේ බිත්තර ඇතුලේ සිට කරන කතා බහ පටිගත කරනු ලැබුවා.පසුව එය බිත්තර කිහිපයකට ඇසෙන්න සැලස්සුවා. එවිට එම බිත්තර ඇතුළේ සිටි පැටවුන් ඊට ප්‍රතිචාරය දක්වමින්, හඬ නොඇසූ පැටවුන්ට වඩා දඟලන්න පටන්ගත්තා. “හඬ ඇසූ පැටවූන් හා හඬ නිකුත් කළ පැටවුන් විනාඩි 10ක් ඇතුළත එනම් එකම කාල සීමාවේදී එක් එක්කෙනා බිත්තරයෙන් එළියට පැමිණියා” කියා එම පුවත්පතේ වාර්තා වෙනවා. නමුත් හඬ නොඇසූ පැටවූන් එළියට පැමිණියේ එකම කාල සීමාවේදී නොවෙයි.—The Times.