Skip to content

පටුනට යන්න

දරුවෙකුගේ ජීවිතය ඇරඹෙන්නේ කවදාද?

දරුවෙකුගේ ජීවිතය ඇරඹෙන්නේ කවදාද?

දරුවෙකුගේ ජීවිතය ඇරඹෙන්නේ කවදාද?

“මම ඉපදෙන්න ඉන්න කොට මගේ අම්මගේ වයස අවුරුදු 17යි. මාව ගැබ්ගෙන මාස හතා මාරකින් මාව ගබ්සා කරන්න ඇය තීරණය කළා. ඒ සඳහා ඇය තෝරාගත්තේ ලවණ ක්‍රමයයි. * ඒ වුණාට මම මැරුණේ නැහැ” කියා ජිඈනා පැවසුවා.

වර්ෂ 1996 එක්සත් ජනපදයේ රජයේ කොමිසමක් හමුවේ 19 හැවිරිදි ජිඈනා ඇගේ කතාව එලෙස එළිදරව් කළා. මවගේ කුසේ සිටි මාස හතා මාරක කාලය තුළ දී ජිඈනාගේ ශරීරයේ සියලුම අවයව හොඳින් වර්ධනය වී තිබුණා. ඇය මාස හතා මාරේදී මෙලොව එළිය දුටු විට ඇය ජීවිතයක් ලෙස ගණන් ගැනුණා නම් ගර්භාෂය තුළත් ඇය ජීවිතයක් කියා පැවසිය හැකියි.

ජිඈනා සති පහක කලලයක්ව සිටියදී ඇගේ ප්‍රමාණය වූයේ අඟලෙන් තුනෙන් එකයි. එවිට ඇගේ ශරීරයේ කොටස් සම්පූර්ණයෙන්ම සෑදී තිබුණේ නැහැ. එහෙත් ඇගේ ස්නායු පද්ධතිය හා මොළය සැකසී තිබුණා. ඇගේ හෘද ස්පන්දනය විනාඩියට 80 වාරයක් ස්පන්දනය වූ අතර රුධිර සංසරණ පද්ධතිය ඒ වන විට ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබුණා. මාස හතා මාරක් යන විට ජිඈනා කුස තුළ හොඳින් වැඩුණු ජීවයක්ව සිටියා නම් සති පහක් වූ විට ඇය සම්පූර්ණයෙන්ම වැඩී නොතිබුණත් ජීවයක් නොවෙයි කියා පවසන්නේ කොහොමද?

පිළිසිඳගැනීමේ අරුමය

ස්ත්‍රී ඩිම්බයක් හා පුරුෂ ශුක්‍රානුවක් එක්වීමෙන් හටගන්නා මුල් සෛලය එනම් යුක්තානුව පිළිසිඳගත් දා සිට වර්ධනය වීමට පටන්ගනියි. නවීන තාක්ෂණයේ උපකාරයෙන් මෙම තනි සෛලයක් ලෙස ආරම්භ වන යුක්තානුවේ වර්ධනය අධ්‍යයනය කිරීමට හැකි වී තිබෙනවා. මවගේ සහ පියාගේ DNAවල (ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය) අණු එකතු වීමෙන් අලුත් ජීවයක් බිහි වෙයි.

මෙම මුල් සෛලය ආශ්චර්යවත් ලෙස පරිණත දරුවෙක් දක්වා වර්ධනය වෙයි. මෙහි වර්ධනය තීරණය වන්නේ DNAවල තිබෙන ජාන මගිනුයි. අපේ උස, මුහුණේ හැඩරුව, අපගේ ඇස් හා හිසකෙස්වල වර්ණය හා තවත් බොහෝ ලක්ෂණ ඇතුළු සෑම දෙයක්ම තීරණය වන්නේ ජාන අනුවයි.

මෙම මුල් සෛලයේ තිබෙන සෑම ලක්ෂණයක්ම ඉන්පසු බෙදී යන සියලුම සෛලයකම අඩංගු වෙනවා. මෙම සෑම සෛලයක්ම කුමනාකාරයේ සෛලයක් බවට පත් වෙනවාද කියා සැලසුම් කර තිබෙනවා. උදාහරණයකට එම සෛල මොළය, අස්ථි හා චර්ම සෛල ලෙසටත් හෘදයේ පටක සෑදීමට අවශ්‍ය සෛල ලෙසටත් බෙදී යනවා. එමෙන්ම ඇසේ විනිවිද පෙනෙන පටක පවා සෑදී තිබෙන්නේ එලෙස බෙදී ගිය සෛලවලිනුයි. මෙම මුල් සෛලය අලුත් ජීවයක් දක්වා වර්ධනය වීම ඇත්තෙන්ම ආශ්චර්යයක්.

“පුද්ගලයෙකුගේ සම්පූර්ණ වර්ධනය පිළිබඳ තොරතුරු අඩංගු වන්නේ මුල් සෛලයෙයි. සෑම ස්ත්‍රීයෙක් හෝ පුරුෂයෙක් ඔහුගේ හෝ ඇයගේ ජීවයේ මුල් ආරම්භයේ සිටම අද්වීතිය පුද්ගලයෙක්” කියා ප්‍රසිද්ධ අණුක ජීව විද්‍යාඥයෙක් වන වෛද්‍ය ඩේවිඩ් ෆූ චි මාක් වාර්තා කරනවා.

ගර්භාෂය තුළ ජීවිතය

දරුවෙක් මවගේ කුස තුළ පිළිසිඳගත් දා පටන් එය මවගේ පටකවල තවත් කොටසක් නොව එය වෙනමම ජීවයක්. මෙම කලලයට මවගේ කුස තුළ තැනෙන ආරක්ෂිත ආවරණය නොතිබුණා නම් එය ශරීරයට ඇතුල් වූ ආගන්තුක යමක් කියා ශරීරය එය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ දරුවා මවගේම කොටසක් නොව වෙනත් ජීවයක් බවයි. එම දරුවාට තිබෙන්නේ ඔහුටම ආවේණික වූ DNA සැකැස්මක්.

සමහර අය තර්ක කරන්නේ ස්වාභාවිකවම ගබ්සා වීම් ඇති වෙනවා නම් වෛද්‍යවරයෙක් විසින් ගබ්සා කිරීමෙහි ඇති වරද කුමක්ද කියායි. ගබ්සා වීම ස්වාභාවික මරණයක් වූවද ගබ්සා කිරීම මිනි මැරීමක්. මේ දෙක අතර විශාල වෙනසක් තිබෙනවා. එක් දකුණු ඇමරිකානු රටක දරුවන් 1,000කින් 71දෙනෙක් වයස අවුරුද්දක් ඇතුළතදී මිය යනවා. මෙලෙස දරුවන් මිය යන නිසා අවුරුද්දකට අඩු දරුවන් මරා දැමීම සාධාරණද? කොහෙත්ම නැහැ.

මිනිස් ජීවිතය ආරම්භ වන්නේ ගර්භාෂයේ බව බයිබලයේ සඳහන් කරනවා. ඒ නිසයි දාවිත් රජ බයිබලයේ මෙසේ සඳහන් කළේ. ‘මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ සියලු තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.’ (ගීතාවලිය 139:16, නව ලොව පරිවර්තනය, NW) දාවිත් රජ නිකම්ම කලලයක් කියා පවසනවා වෙනුවට “මා කලලයක්ව සිටියදී” කියා පැවසීමෙන් අදහස් කළේ ඔහුගේ ජීවිතය ආරම්භ වූයේ මව් කුසේ පිළිසිඳගත් දා සිටයි. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔහු පෙන්නුම් කළේ පිළිසිඳගත් අවස්ථාවේදීම ඔහු පුද්ගලයෙකු ලෙස වර්ධනය වන ආකාරය ‘සටහන් කර තිබූ’ බවයි.

ගැබ්ගැනීමේදී පිළිසිඳගන්නේ පටකයක් කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වන්නේ ‘දරුවෙකු පිළිසිඳගෙන ඇත’ කියායි. (යෝබ් 3:3NW) බයිබලයට අනුව දරුවෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ පිළිසිඳගත් අවස්ථාවේදී බව මෙයින්ද පැහැදිලි වෙනවා.

[පාදසටහන]

^ 2 ඡේ. ලවණ ක්‍රමයට ගබ්සා කිරීමේදී විෂ සහිත ලුණු මිශ්‍රණයක් ගර්භ තරලයට විදිනු ලබනවා. එවිට ගර්භාෂයේ සිටින දරුවාට එම මිශ්‍රණ පෙවෙනවා. සාමාන්‍යයෙන් පැය දෙකක් ඇතුළත දරුවා මිය යනවා. ඉන්පසු මව පැය 24කට පසු මළ දරුවාව බිහි කරනවා. සමහර අවස්ථාවලදී දරුවා මිය යන්නේ ඉපදුණු පසුවයි.

[6, 7වන පිටුවල පින්තූර]

සති පහක කලලයක් පටක ගොඩක් නොව නමුත් සම්පූර්ණ පුද්ගලයෙකුගේ වර්ධනය සඳහා අවශ්‍ය මූලික සැකැස්මයි

(සැබෑ ප්‍රමාණය)