Skip to content

පටුනට යන්න

ඔබ මළවුන්ට බිය විය යුතුද?

ඔබ මළවුන්ට බිය විය යුතුද?

බයිබලයෙන් පිළිතුරක්

ඔබ මළවුන්ට බිය විය යුතුද?

නයිජීරියාවේ එක් ගෝත්‍රික පිරිසක් විශ්වාස කරන්නේ මළ තැනැත්තෙකුට ගෞරවාන්විත භූමදානයක් නොදුන් විට එම තැනැත්තාගේ ආත්මය පවුලේ සාමාජිකයන්ට කරදර කිරීමට පමණක් නොව මරණයට පවා පත් කිරීමට හැකි බවයි. සමහර චීන ජාතිකයන් අතරද එවැනිම විශ්වාසයක් තිබෙනවා.

මරණයේදී ශරීරයෙන් ආත්මය කියා යමක් පිට වෙනවා යන විශ්වාසය ලොව පුරා සිටින බොහෝ ජනයා පිළිගන්නා දෙයක්. එලෙස ශරීරයෙන් පිට වන ආත්මය පවුලේ අයට හා හිත මිතුරන්ට බලපෑම් කළ හැකි බව විශ්වාස කරනවා.

මෙය බොහෝදෙනෙක් විශ්වාස කළත් ඇත්තටම මරණයේදී ශරීරයෙන් යමක් පිට වී යනවාද? එමෙන්ම ජීවත්ව සිටින අයට හානී කිරීමට එයට හැකිද? බයිබලයේ මෙයට දෙන පිළිතුර කුමක්ද?

මළවුන්ගේ තත්වය කුමක්ද?

බයිබලයේ සඳහන් වන්නේ ‘මිය ගිය අය කිසිවක් දන්නේ නැති’ බවයි. (දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය, NW) ඒ වගේම එහි මෙසේද සඳහන් වෙනවා. “මළාවූ ජීවත් නොවන්නෝය.”—යෙසායා 26:14, පැරණි අනුවාදය.

බයිබලයේ මළ කෙනෙකුගේ තත්වය සෑම කෙනෙකුටම තේරුම්ගත හැකි ආකාරයට සරලව විස්තර කර තිබෙනවා. ‘මරණය නින්දකට’ සමාන කර තිබෙනවා. (ගීතාවලිය 13:3NW) මිය ගොස් සිටි 12හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ “ඇය මැරිලා නැත. ඈ නිදා සිටිනවා” කියායි. එවිට ඒ අවට සිටි මිනිසුන් “ඇය මළ බව දැන සිටි හෙයින් උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය.” යේසුස් ඇයව මරණය නමැති නින්දෙන් නැඟිටෙවූ බව බයිබලයේ වාර්තා වෙනවා.—ලූක් 8:51-54.

ලාසරුස්ගේ මරණයද ඒ හා සමානයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ “මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි” කියායි. යේසුස් කියූ දේ ඔහුගේ ගෝලයන් තේරුම්ගත්තේ නැති නිසා “යේසුස් ඔවුන්ට කෙළින්ම මෙසේ කීවේය: “ලාසරුස් මිය ගොස් ඇත.” බයිබල් ලේඛකයෙක් වූ පාවුල්ද මළ අය “සැතපී සිටින” බව සඳහන් කරමින් දෙවි ඔවුන්ව නියමිත කාලයේදී නැවත ජීවනයට ගෙන එන බව සඳහන් කළා.—යොහන් 11:11-14; 1 තෙසලෝනික 4:13-15.

යම් පුද්ගලයෙක් මිය ගිය පසු ශරීරයෙන් පිට වී යන ආත්මයක් කියා දෙයක් ජීවත් වන බව බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මළවුන්ට බිය වීමට කිසිදු හේතුවක් නැහැ. එසේනම් මරණයෙන් පසු යමක් ජීවත් වන බවට වූ විශ්වාසය ඇති වූයේ කෙසේද? මළවුන් ජීවත්ව සිටින අයට හානි කරනවා යන බිය ඇති වූයේ කෙසේද?

විශ්වාසයේ ආරම්භය

සෑබැ දෙවිට නමස්කාර නොකරන අය කියා සිටින්නේ මරණයේදී මිනිසා සැබවින්ම මිය යන්නේ නැති බවයි. පුරාණයේ පටන් අමරණීය ආත්මය යන ඉගැන්වීම ලොව පුරා සිටින බොහෝදෙනා විශ්වාස කරනවා. එම විශ්වාසය නිසා මිසරයේ සමහර පාලකයන් මිය ගිය විට ඔහුගේ සේවකයන්වද මරණයට පත් කළා. එසේ කළේ ඔවුන්ව මරණයෙන් පසු ජීවිතයේද සේවය සඳහා යොදාගැනීමටයි.

මිය ගිය අයගේ ආත්මවලින් පීඩා විඳිය හැකි බව බොහෝදෙනෙකුට උගන්වා තිබෙනවා. එමනිසා ඔවුන් විශ්වාස කරන්නේ මිය ගිය ඔවුන්ගේ පවුලේ කෙනෙකුගේ හෝ හිතමිතුරෙකුගේ ආත්මය ඔවුන්ට හිරිහැර කරන බවයි. නමුත් බයිබලයේ මේ සඳහා කිසිදු පදනමක් නැහැ. මෙසේ මනුෂ්‍යන්ට හිරිහැර කරන්නේ මිය ගිය පුද්ගලයන් නොව භූතයන්ය. භූතයන්ගේ ආශාව වන්නේ මනුෂ්‍යයන්ට හිරිහැර කිරීම මගින් බිය ගැන්වීමයි.—ලූක් 9:37-43; එෆීස 6:11, 12.

බයිබලයේ සාතන්ව හඳුන්වා තිබෙන්නේ “බොරුවේ පියා” ලෙසයි. ඔහු “ආලෝකයේ දූතයෙකු” මෙන් පෙනී සිටින අතර ඔහුත් ඔහුගේ භූත සේනාවත් “මුළු පොළොවම නොමඟ” යවනවා. (යොහන් 8:44; 2 කොරින්ති 11:14; එළිදරව් 12:9) ජීවත් වන අයට හිරිහැර කරන අමරණීය ආත්මයක් නමැති බොරු ඉගැන්වීම පතළ කළේ සාතන්.

නමුත් බයිබලයේ ඇති ඉගැන්වීම් විශ්වාස කරන අය එවැනි බොරු ඉගැන්වීම්වලින් මුළා වන්නේ නැහැ. මළවුන් සමඟ කතා කිරීමට හැකියි කියා පෙන්වීමට සාතන් උත්සහ දරන බව ඔවුන් වටහාගෙන තිබෙනවා. බයිබලයේ සඳහන් වන්නේ “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති” කියායි. (දේශනාකාරයා 9:5NW) ඇත්තටම දෙවිගේ වචනය වන බයිබලයේ මළ කෙනෙකුගේ තත්වය පිළිබඳව සැබෑව සඳහන් කර තිබෙන අතර බොරු ඉගැන්වීම්වලින් අපව ආරක්ෂා කරනවා.—යොහන් 8:32.

මේ ගැන ඔබ සිතුවාද?

▪ මළ අයට හැඟීම් දැනීම් තිබෙනවාද?—දේශනාකාරයා 9:5; යෙසායා 26:14.

▪ මිය ගිය පසු ශරීරයෙන් පිට වී යන ආත්මයක් කියා දෙයක් ජීවත් වන බව බොහෝදෙනා තුළ විශ්වාසයක් ඇති කර තිබෙන්නේ කවුද?—යොහන් 8:44.

▪ මළ අය පිළිබඳ සැබෑව දැනගත හැක්කේ කොහෙන්ද?—යොහන් 8:32; 17:17.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මනුෂ්‍යන්ට හිරිහැර කරන්නේ මිය ගිය පුද්ගලයන් නොව භූතයන්ය. ඔවුන්ගේ ආශාව මනුෂ්‍යයන්ට හිරිහැර කර සතුටු වීමයි