Skip to content

පටුනට යන්න

කතෝලික යෞවනයන්ටද සාක්ෂි දැරීමේ වගකීමක්

කතෝලික යෞවනයන්ටද සාක්ෂි දැරීමේ වගකීමක්

කතෝලික යෞවනයන්ටද සාක්ෂි දැරීමේ වගකීමක්

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

පසු ගිය වසරේ ලොව පුරා සිටි කතෝලික භක්තිකයන් ලෝක යොවුන් දිනය සැමරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට එක්රැස් වුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ කතෝලික සභාව විසිනුයි.

රටවල් 170කින් පැමිණ සිටි යෞවනයන් කොඩි වනමින් ප්‍රීති ඝෝෂා නඟමින් මුළු නගරයම එකම සැණකෙළියක් බවට පත් කළා. බෝට්ටු 12කින් යුත් පෙරහැරකින් පැමිණි 16වන බෙනඩික් පාප්වරයාව දැකගැනීමට දහස් සංඛ්‍යාත ජනයා වරායට එක්රැස් වී සිටියා. ඒ වගේම මිලියන 500ක පමණ ප්‍රේක්ෂක පිරිසක් එම අවස්ථාව රූපවාහිනියෙන් නැරඹුවා.

අවසන් දින පූජා මෙහෙය පැවැත්වූයේ තරඟ පිටියකයි. එයට 4,00,000ක පමණ ජනකායක් සහභාගි වූ අතර කතෝලික සභාවේ නායකයන් 4,000ක් සහ වාර්තාකරුවන් 2,000ක්ද පැමිණ සිටියා. එකවර මෙතරම් ජනකායක් ඕස්ට්‍රේලියාවට රැස් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වර්ෂ 2000දී සිඩ්නි නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණි සංඛ්‍යාවට වඩා මෙයට පැමිණි සංඛ්‍යාව වැඩියි.

ලෝක යොවුන් දිනය පැවත්වීමේ අරමුණ කුමක්ද? එයට ඇතුළත් වන ක්‍රියාකාරකම් මොනවාද? සිඩ්නි නුවර රැස් වූ එම යෞවනයන්ට ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට එය උපකාරවත් වූයේ කුමනාකාරයෙන්ද?

“ඇදහිල්ලේ ඌනතාවක්”

වාර්ෂිකව පවත්වන මෙම රැස්වීමේ අරමුණ කතෝලික යෞවනයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමයි. සාමාන්‍යයෙන් මෙය පවත්වනු ලබන්නේ එක් එක් රටවල බිෂොප්වරුන්ගේ පාලන ප්‍රදේශය වන පදවි මට්ටමෙනුයි. නමුත් වසර දෙකකට හෝ තුනකට වරක් එක් රටක මෙය මහත් උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර වෙනත් රටවල සාමාජිකයන්ටද ආරාධනා කරනු ලබනවා. මහාද්වීප පහක නගර දහයක මෙවැනි රැස්වීම් පවත්වා තිබෙන අතර මිලියන සංඛ්‍යාත අය ඊට සහභාගි වී තිබෙනවා.

මෙම උත්සවයට මිලියන සංඛ්‍යාවක් පැමිණියත් කතෝලික සභාවේ නායකයන් පල්ලියට එන සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව පිළිගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයෙක් වන ජොර්ජ් පෙල් මෙසේ පවසනවා. ‘පල්ලියේ සාමාජිකයන් ආගම අදහන්නේ නැති නිසා ඔවුන්ගේ අදහිල්ලද දුර්වල වී තිබෙනවා. ලෝක යොවුන් දිනයක් පවත්වනු ලබන්නේ මෙම ගැටලුවට පිළියමක් යෙදීම සඳහායි.’

වතිකානුවේ වාර්තාවට අනුව ලොව පුරා පූජකයන්ගේ ගණන අඩු වී තිබෙනවා. පූජකයන් දහස් ගණනක් පූජකත්වය අත්හැර ගොස් විවාහ වී තිබෙනවා. පසුගිය වසර 30 පුරා පූජකයන් වීමට පුහුණු වන අයගේ සංඛ්‍යාව සියයට 70කින් අඩු වී තිබෙන බව වාර්තා වෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ බිෂොප්වරයෙකු යටතේ පාලනය වන විශාලතම පදවියේ සිටින පූජකයෙකුගේ වයස සාමාන්‍යයක් ලෙස ගත් කළ අවුරුදු 60යි. නමුත් 1977දී එය අවුරුදු 40යි.

බොහෝ රටවල පල්ලියට යන සාමාජිකයන් ගණනද අඩු වී තිබෙනවා. ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 25ක් තමන් කතෝලික භක්තියන් බව පැවසුවත් නිතිපතා පල්ලියට පැමිණෙන්නේ ඉන් සියයට 14ක් පමණයි. නමුත් යෞවනයන්ගෙන් පල්ලියට පැමිණෙන්නේ සියයට දහයට වඩා අඩු සංඛ්‍යාවක් බව විශ්වාස කරනවා. බොහෝ කතෝලිකයන් ලිංගික කාරණා පිළිබඳ සාදාචාර ප්‍රමිති, උපත් පාලනය හා දික්කසාදය වැනි පල්ලියේ ඉගැන්වීම්වලට කීකරුවීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම පූජකවරුන්ගේ අතින් සිදු වන ළමා අපචාර වැනි ක්‍රියා නිසා පල්ලියට එල්ල වී තිබෙන චෝදනා හේතුවෙන්ද සමහරුන් පල්ලි ගැන කලකිරී සිටිනවා.

ලෝක යොවුන් දිනයේ “මුලික අරමුණ පල්ලියේ සාමාජිකයන්ගේ ගණන අඩු වීම අවම කරගැනීමයි. ඕස්ට්‍රේලියාවේ හා රෝමයේ කතෝලික සභාවේ නායකයන් වෙර දරන්නේ යෞවනයන්ගේ ආකල්ප වෙනස් කිරීමට” කියා එක් පුවත්පතක සඳහන් වුණා. මේ සඳහා නායකයන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?—The Sydney Morning Herald.

උත්සව හා සැණකෙළි

වර්ෂ 2008 පැවත් වූ ලෝක යොවුන් දිනය සැමරීමට කණ්ඩායම් ක්‍රියාකාරකම්, වන්දනා ගමන්, විශාල පූජා මෙහෙයන් වැනි දෑ ඊට ඇතුළත් වුණා. මීට සහභාගි වූ බොහෝ බැතිමතුන්ට මෙම ක්‍රියාකාරකම්වලින් තෘප්තියක් ලැබුණද සමහර අය දැරුවේ වෙනස් ආකල්පයක්. ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණ සිටි එක් කතෝලික යෞවනියක් වන ඇලෙක්සැන්ඩ්‍රා පැවසුවේ “මට නම් හිතෙන්නේ මේක ලොකු සාදයක්” කියායි.

දවස් හයක් පුරා පැවති රැස්වීමට සංදර්ශන, චිත්‍රපටි, නාට්‍යය, ක්‍රීඩා හා වෙනත් අංග 450ක් පමණ ඇතුළත් වුණා. ඒ වගේම ඔපෙරා සංගීතයේ සිට හෙවි මෙටල්, රැප් හා රොක් සංගීත ඇතුළත් ප්‍රසංග එහි දක්නට ලැබුණා. කලහාකාරි යෞවනයන් දහස් ගණනක් ඇදී ආවේ රොක් සංගීතයටයි.

මෙම අංග ගැන සමහර කතෝලිකයන්ට එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. මෙම රැස්වීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ගුවන් විදුලි ප්‍රවෘත්ති සේවයට පීටර් ස්කොට් නමැති පුජකවරයා මෙසේ අදහස් දැක්වුවා. “මුළු සතියක් පුරා සිදු කරන්නේ සාදයන් පවත්වමින් ප්‍රීති වන එකයි. නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු වන්නේ අල්ප වශයෙනුයි.” වර්ෂ 2000දී 16වන බෙනඩික් පාප්වරයා කාදිනල්වරයෙක්ව සිටියදී ප්‍රකාශයට පත් කළ පොතක මෙවැනි අදහසක් පළකර තිබුණා. “රොක් සංගීතය හැඟීම් අවුස්සන අතර එම සංගීතයට හා ගායකයාටත් මිනිසුන් වැද නමස්කාර කරනවා. ඇත්තෙන්ම එය ක්‍රිස්තියානි නමස්කාරයට පටහැනි දෙයක්.”—The Spirit of the Liturgy.

ලෝක යොවුන් දිනය පුද්ගලයන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරයිද යන ප්‍රශ්න මතු වෙනවා. එම ප්‍රශ්නයට පිළිතුර කලින් පූජකවරයෙක්ව සිටි පෝල් කොලින්ස්ගේ අදහස්වලින් දැනගත හැකියි. “ආකල්පවල වෙනසක් ඇති වෙනවා නම් එසේ වන්නේ අතළොස්සකගේ පමණයි. සංගීතයට හා සංදර්ශනවලට කෙනෙකුගේ ආකල්ප වෙනස් කරන්න බැහැ. කෙනෙකුගේ ජීවිතයේ යම් වෙනසක් සිදු වෙන්නේ තමන් ජීවිතය ගත කරන ආකාරය ගැන නැවත සිතා බලා ගැටලුවලට පිළියම් සොයා ඒවා නිවැරදි කරගැනීමට පියවර ගන්නවා නම් පමණයි.”

‘මගේ සාක්ෂිකරුවෝ වන්න’

කෙනෙකුගේ ජීවිතය බාහිර දේවල්වලින් වෙනස් නොවන බව කතෝලික සභාවේ නායකයන් තේරුම්ගෙන සිටිනවා. වර්ෂ 2008 යොවුන් දිනය සඳහා ඔවුන් මෙවැනි තේමාවක් තෝරාගත්තේ ඒ නිසයි. ‘ඔබ මතට ශුද්ධාත්මය [දෙවිගේ බලය] පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.’ *

එම රැස්වීමට පැමිණ සිටි අයට බිෂොප්වරයා උනන්දු කළේ “යේසුගේ මුල් ගෝලයන් මෙන් යේසුස්ගේ ඉගැන්වීම් දේශනා කිරීමට උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න” කියායි. දහසයවන බෙනඩික් පාප්වරයා “යේසුගේ නවීන දින ගෝලයන් වෙන්න කියාත්” තවත් අවස්ථාවකදී “ශුභාරංචිය මිත්‍රයන්ට පවුලේ අයට හා තමන්ට හමු වන සෑම කෙනෙකුටම පවසන්න කියාත් උනන්දු කළා.”

එහි පැමිණ සිටි සමහර බැතිමතුන්ට එම ඔවදන් හොඳින් සිතට කාවැදුණා. ඒ පිළිබඳව ඇමරිකාවෙන් පැමිණ සිටි 20 හැවිරිදි රමෙඩො නමැති යෞවනයා එක් වාර්තාකරුවෙකුට මෙසේ පැවසුවා. “ශුභාරංචිය පැවසීම වැදගත් දෙයක් බව මට හොඳින් තේරුම් ගියා.” නමුත් ඉතාලියෙන් පැමිණි 18 හැවිරිදි බියට්‍රිස් පැවසුවේ මෙවැනි දෙයක්. “අද කාලේ යෞවන අය දෙවි ගැන කතා කරන්න කැමති නැහැ. මේ වගේ අය අනික් අයට ශුභාරංචිය කියන්නේ කොහොමද?” බොහෝ බැතිමතුන් එකඟ වූයේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් පැමිණි යෞවනියන් දෙදෙනා පැවසූ දේ සමඟයි. “අපේ පළාතේ නම් අනික් අයට ශුභාරංචිය ගැන කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි.”

ශුභාරංචිය අන් අයට පවසන යෞවනයන්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ලොකු කුඩා භේදයකින් තොරව අන් අයට ශුභාරංචිය දේශනා කරනවා. ඔවුන් එසේ කරන්නේ ඇයි? ඒ පිළිබඳව සිඩ්නි නුවර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන 22 හැවිරිදි සෝටිර් මෙසේ පැවසුවා. “ඒ යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් දේවවචනයටත් තිබෙන ළැදිකම නිසයි.”

වර්ෂ 2008 යොවුන් දිනය සැමරූ කාලයේදී සිඩ්නි නුවර සිටි යෞවන සාක්ෂිකරුවන් එම රැස්වීමට සහභාගි වුණේ නැහැ. නමුත් ඔවුන්ගෙන් 400දෙනෙක් පමණ විශේෂ ව්‍යාපෘතියක නියැලුණා. ඔවුන් කළේ එම රැස්වීමට සහභාගි වූ අයට බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගැන්වීමයි. එම ව්‍යාපෘතියට සහභාගි වූ 25 හැවිරිදි ට්‍රෙවස් නමැති යෞවනයා මෙවැනි දෙයක් පවසනවා. “ආගමට ළැදි කතෝලික යෞවනයන් මුණගැසීම ගැන මම හුඟක් සතුටු වෙනවා. ඒ අයගෙන් හුඟදෙනෙකුට බයිබලයේ සඳහන් ඉගැන්වීම් පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබුණා. මට ඒවාට සෑහීම ගෙන දෙන පිළිතුරු දෙන්න පුළුවන් වුණා.”

ටාෂි නම් 23 හැවිරිදි යෞවනිය මෙසේ අදහස් දැක්වූවා. “මම ඒ අයට කරුණු පහදලා දුන්නේ මිත්‍රශීලී ආකාරයටයි. මම ඒ අයව සාදරයෙන් පිළිගෙන ඔවුන්ගේ විශ්වාසයන් අසා දැනගත්තා.” ෆ්‍රේසර් 20 හැවිරිදි යෞවනයෙක්. ඔහුගේ අද්දැකීම මෙයයි. “මම සුදුසු අයට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * යන පොත තෑග්ගක් හැටියට දුන්නා. හැම කෙනෙක්ම ඒ පොත ගත්තේ සතුටින්.”

රැස්වීමට පැමිණි බොහෝ අමුත්තන් යෞවන සාක්ෂිකරුවන් සමඟ කළ සාකච්ඡාවන් අගය කළා. ෆිජී රටෙන් පැමිණි සූසැන් 19 හැවිරිදි සාක්ෂිකාර යෞවනියක් වන බෙලින්ඩාගෙන් දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ ඇයි කියා ඇසුවා. එයට පිළිතුරු බයිබල් ඉගැන්වීම් පොතෙන් සොයා බලමු කියා බෙලින්ඩා යෝජනා කළා. එම සාකච්ඡාව අවසානයේදී සූසැන් මෙසේ පැවසුවා. “සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ දෙවි ක්‍රියා කරන විදිහ තේරුම්ගන්න බැහැ කියලා. ඒත් මට අද ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා.” බෙලින්ඩා එම පොත සූසැන්ට දුන් විට සූසැන් මෙසේ පැවසුවා. “මම ඔයා කියපු හැම දෙයක්ම මතක තියාගන්න උත්සාහ කළා. මම හිතුවේ නැහැ ඔයා මට මේ පොත දෙයි කියලා.”

විසිහත් හැවිරිදි මරිනා නැමති යෞවන සාක්ෂිකාරියකගෙන් පිලිපීන ජාතික කාන්තාවක් ඇගේ ඡායාරූපයක් අරන් දෙන මෙන් ඉල්ලා සිටියා. ඉන්පසු ඔවුන් දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් ඇරඹුණා. මරිනා ඇයට බයිබල් ඉගැන්වීම් පොතක් දුන්නා. “මම ඊයේ රෑ බයිබලය හොඳින් තේරුම්ගන්න උපකාර ඉල්ලලා දෙවිට යාච්ඤා කළා. මම හිතන්නේ මේ පොත ඒ යාච්ඤාවට පිළිතුර කියලයි.”

ලෙවි 27ත් හැවිරිදි සාක්ෂිකරුවෙක්. ඔහුට පැනමා රටින් පැමිණි මවක් සහ දුවෙක් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලැබුණා. පසුව එය බයිබලයේ තිබෙන ඉගැන්වීම් පිළිබඳ සාකච්ඡාවක් බවට පත් වුණා. ඔවුන් දෙදෙනාම බයිබල් ඉගැන්වීම් පොතක් ලබාගත්තා. ඉන්පසු ලෙවි ඔවුන්ගෙන් ඇසුවා “ඔවුන් පැමිණි ගමනේ අමතක නොවන සිදු වීම කුමක්ද” කියා. එවිට දුව එම පොත පෙන්වා “ඔබව මුණගැසීම” කියා පිළිතුරු දුන්නා.

බොහෝ කතෝලික භක්තිකයන් බයිබලයේ සඳහන් දේ තවදුරටත් දැනගැනීමට මහත් උනන්දුවක් දක්වනවා. ඔබත් එවැනි කෙනෙක්ද? ඔබත් බයිබලය පිළිබඳව වැඩිදුර දැනගැනීමට කැමතිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ සඳහා උපකාර ලබාගත හැකියි. ඔබට උපකාර කිරීමට ඔවුන් මහත් ආශාවකින් බලා සිටිනවා.

[පාදසටහන්වල]

^ 19 ඡේ. මෙම තේමාව පදනම් වන්නේ ක්‍රියා 1:8හි කොටසකිනුයි.

^ 25 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘පල්ලියේ සාමාජිකයන් ආගම අදහන්නේ නැති නිසා ඔවුන්ගේ අදහිල්ලද දුර්වල වී තිබෙනවා’—රෝමානූ කතෝලික කාදිනල්වරයෙක් වන ජොර්ජ් පෙල්

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

පල්ලියෙන් සංවිධානය කළ රැස්වීම

වර්ෂ 2008 ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ ලෝක යොවුන් දිනය එම රටේ පැවති විශාලතම ආගමික රැස්වීමයි. කතෝලික සභාවේ නායකයන් හා නියෝජිතවරු සිය ගණනක් එහි පැමිණි 50,000කට වඩා වැඩි බැතිමතුන් පිරිසගෙන් ඉල්ලා සිටියේ පූජකයන්, කන්‍යා සොහොයුරියන් ලෙස හෝ ආගමික සේවකයන් ලෙස තම ශ්‍රමය කැප කරන්න කියායි.

[24, 25වන පිටුවේ පින්තූරය]

වෛවාරණ ඇඳුම්වලින් සැරසුණු බැතිමතුන්

[26වන පිටුවේ පින්තූරය]

සිඩ්නි නගරයට පැමිණි අමුත්තන්ට සාක්ෂිකාර යෞවනයන් කතා කරන අයුරු

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Getty Images