Skip to content

පටුනට යන්න

ප්‍රතිකාර ක්‍රම

ප්‍රතිකාර ක්‍රම

රූත් දිගු කාලයක් පුරා මානසික අවපීඩනයෙන් පෙළුණු තැනැත්තියක්. ඇය ඒ සඳහා ප්‍රතිකාර ලබාගත් ආකාරය ගැන මෙසේ පවසනවා. “මම මගේ ස්වාමිපුරුෂයා සමඟ ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. අපේ ජීවන රටාව වෙනස් කළා. ඒ විතරක් නෙමෙයි පීඩනකාරී තත්වය තවත් වැඩි නොවන විදිහට කටයුතු කරන්නත් වෑයම් කළා. අපිට නිවැරදි ප්‍රතිකාර ක්‍රමය ලැබුණු නිසා මට සුවයක් තිබෙනවා. සමහර අවස්ථාවල මොන දේ කළත් පලක් නැහැයි කියා හිතෙනවා. එවැනි අවස්ථාවලදී මගේ ස්වාමිපුරුෂයාගේ සහ මිතුරන්ගේ ප්‍රේමණීය සැලකිල්ල එම ප්‍රතිකාර ක්‍රමය දිගටම කරගෙන යෑමට උපකාරවත් වුණා.”

රූත්ගේ අද්දැකීමෙන් පෙන්වන්නේ දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුට අන් අයගේ උපකාරය මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි. මානසික අවපීඩනයට ප්‍රතිකාර නොගැනීම සමහර අවස්ථාවලදී මරාන්තික විය හැකියි. ‘රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ’ උපකාරය අවශ්‍ය වන බව මීට අවුරුදු දෙදහකට කලින් යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (මාක් 2:17) මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර මගින් සහනයක් ලබාගත හැකියි. *

ඔබට කළ හැකි දේ

මානසික අවපීඩනයට ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා. ඔබට තිබෙන රෝග ලක්ෂණ හා රෝගයේ තිබෙන බරපතළකම අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙනවා. ( “විවිධ තත්වයන්” නමැති කොටුව බලන්න) බොහෝ අයට තම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් ප්‍රමාණවත්. ඒත් සමහර අයට ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයයි. වෛද්‍යවරයා ඔබට ප්‍රතිඅවපීඩක ඖෂධ (antidepressant) හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කළ හැකියි. තවත් අය දේශීය ඖෂධවලින් මෙන්ම ආහාර රටා වෙනස් කිරීමෙන් හා ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීමෙන්ද යහපත් ප්‍රතිඵල ලබා තිබෙනවා.

මුහුණ දීමට සිදු වන තත්වයන්

1. මිතුරන් දෙන උපදෙස්: වෛද්‍ය විද්‍යාව පිළිබඳ සුළු දැනුමක් හෝ කිසිඳු දැනුමක් නැති අය පවා ඔබ ගත යුතු ප්‍රතිකාර ක්‍රම ගැන උපදෙස් දිය හැකියි. ඔබ ගත යුත්තේ ආයුර්වේද ඖෂධද බටහිර ඖෂධද නැත්නම් කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ කියා ඔවුන් තරයේ කියා සිටිය හැකියි.

සලකා බලන්න: ඔබ උපදෙසක් පිළිගැනීමට පෙර එය විශ්වාසනීයද කියා සොයා බලන්න. නමුත් තීරණය ගත යුත්තේ ඔබ මිස අන් කිසිවෙකු නොවෙයි.

2. අධෛර්ය වෙන්න එපා: ලබාගන්නා ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙනවා කියා සිතන නිසාත් ඖෂධවලින් අතුරු ආබාධ ඇති වීම නිසාත් එම ප්‍රතිකාර නවතා දැමීමට පෙලඹිය හැකියි.

සලකා බලන්න: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 15:22NW) ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම බොහෝවිට සාර්ථක වන්නේ වෛද්‍යවරයාත් රෝගියාත් අතර හොඳ අදහස් හුවමාරුවක් තිබෙන විටයි. ඔබ සැලකිලිමත් වන දේ ගැන හෝ ඔබට තිබෙන රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයාට පැහැදිලි කරන්න. ඔබ ලබාගන්නා ප්‍රතිකාර ක්‍රමය වෙනස් කළ යුතුද නැත්නම් ප්‍රතිඵල ලැබෙන තුරු එය දිගටම භාවිත කළ යුතුද කියා විමසන්න.

3. ඉක්මන් වෙන්න එපා: සති කිහිපයක් ප්‍රතිකාර ලබා යම් සුවයක් ලැබූ පසු ප්‍රතිකාර නතර කිරීමට රෝගියා තීරණය කළ හැකියි. ප්‍රතිකාර ලැබීමට පෙර ඔවුන් අද්දුටු තත්වය අමතක විය හැකියි.

සලකා බලන්න: ප්‍රතිකාර නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. හිතුමනාපෙට නතර කිරීම භයානක මෙන්ම ජීවිතයටද තර්ජනයක් විය හැකියි.

බයිබලය වෛද්‍ය අත්පොතක් නොවූවත් එහි කර්තෘ වන යෙහෝවා දෙවි අපේ නිර්මාතෘයි. මීළඟ ලිපියේ සියලු මානසික පීඩනයෙන් පෙළෙන්නන්ට හා ඔවුන්ව රැකබලා ගන්නන්ට බයිබලය මත පදනම් සහනය හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා.

^ 3 ඡේ. පිබිදෙව්! යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් යෝජනා කරන්නේ නැහැ. තමන් තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද කියා තීරණය කිරීම එක් එක්කෙනා සතු වගකීමක්.