Skip to content

පටුනට යන්න

විනීත රියදුරෙක් වන්න

විනීත රියදුරෙක් වන්න

විනීත රියදුරෙක් වන්න

මෝටර් රථයක් පැදවීමට දැන සිටීම අත්‍යවශ්‍ය දෙයක් කියා අද දින මිලියන ගණන් දෙනා පිළිගන්නවා. නමුත් සෑම වසරකදීම මාර්ග අනතුරුවලින් 12,00,000කට වඩා වැඩි දෙනෙකුගේ ජීවිත අහිමි වෙනවා. එසේ නම් අප ආරක්ෂාකාරීව රිය පැදවීමට ඉගෙනගැනීම කොතරම් වැදගත්ද! ආරක්ෂාකාරීව රිය පැදවීම සඳහා අපට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

ඔබ ගැන සැලකිලිමත් වන්න

රියදුරෙකුට අනතුරු වළක්වා ගත හැකි ප්‍රධානතම ක්‍රමය නම් විනීත රියදුරෙක් වීමට ඉගෙනගැනීම කියා එක් සඟරාවක සඳහන් වුණා. (Australian Journal of Social Issues) එමනිසා රිය පැදවීමට පෙර කෙනෙක් තමන් රිය පැදවීමට හොඳ මානසික තත්වයක සිටිනවාද කියා සොයා බැලිය යුතුයි. පිලිපීනයේ ප්‍රවාහණ කාර්යාලයක් (The Land Transportation Office) මගින් නිකුත් කළ ලැයිස්තුවක මෙසේ සඳහන් වුණා. 1. විඩාව: විඩාවට පත් වී සිටින කෙනෙකුගේ මනස හදිසි අවස්ථාවකදී ඉක්මනින් ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. 2. කෝපය, කනස්සල්ල, සහ කලබලයට පත් වීම: මෙවැනි තත්වයන් යටතේ රිය පදවන විට නොසැලකිලිමත් ලෙස තීරණ ගැනීමටත් මාර්ග නීති කැඩීමටත් මඟ පෑදිය හැකියි.

3. ශරීර සෞඛ්‍යය: අසනීපයක් හෝ තුවාල නිසා යම් වේදනාවක් අද්දකිනවා නම් ආරක්ෂාකාරීව රිය පැදවීමට එය බාධාවක් විය හැකියි. අන් අයගේ ජීවිතවලට ගරු කරන රියදුරෙක් මත්පැන් පානය කර රිය පැදවීම අවදානම් දෙයක් කියා තේරුම්ගන්නා නිසා එසේ කරන්නේ නැහැ. ඒ වගේම ගනු ලබන සමහර ඖෂධ නිසා හොඳ අවධානයෙන් රිය පැදවීමට හැකි වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවලදී කළ හැකි හොඳම දෙය නම් ගමන නොයෑම හෝ වෙනත් කෙනෙකුට රිය පැදවීමට දීමයි.

ඔබගේ හැකියාවන් මැන බලන්න

විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල වාහන වැඩිවෙත්ම අද්දැකීම් අඩු රියදුරන්ද හතු පිපෙන්නාක් මෙන් වැඩි වෙනවා. එමනිසා මාර්ග අනතුරු වළක්වාගැනීමට ගත හැකි පියවර දෙකක් සලකා බලමු.

කල්පනාකාරී වන්න: ඉදිරියෙන් හා පිටුපසින් පැමිණෙන වාහනවලින් විය හැකි අනතුරු ගැන අවධානයෙන් සිටින්න. අනික් රියදුරන් වාහන හසුරුවන ආකාරය ගැනද ඔවුන් ගත හැකි වැරදි පියවර ගැනද සැලකිලිමත් වන්න. බොහෝ රිය අනතුරු සිදු වන්නේ වාහන එකිනෙක ළඟින් ගමන් කරන නිසයි. ඒ නිසා ආරක්ෂාකාරීව රිය පදවන කෙනෙක් ප්‍රමාණවත් පරතරයක් ඇතිව වාහනය පදවයි.

වාහනයක් පදවන විට නොපෙනෙන පැති: වාහනයේ පැති කණ්ණාඩියට හසු නොවන තැන් (blind spots) ගැන විමසිලිමත් වීම සඳහා ඔබේ ගෙල හරවා බැලීමත් අවශ්‍යයි. අවධානය වෙනතකට යොමු නොකරන්න: රිය පදවන විට දුරකථනය හෝ වෙනත් උපකරණ පරිහරණය කිරීමෙන් වළකින්න.

යතුරුපැදියක් පදවන විට: සෑම කිලෝමීටරයකටම මොටර් රථ රියදුරන් අනතුරට ලක් වී මිය යනවාට වඩා යතුරුපැදි පදවන්නන් අනතුරට ලක් වී මිය යෑම සියයට 37කින් වැඩි බව සමහර රථ වාහන අධිකාරීන් පවසනවා. එසේ නම් ආරක්ෂාව සඳහා කුමන පියවර ගත හැකිද? ඉහත සඳහන් කළ යෝජනා යතුරුපැදි පදවන්නන්ටත් අදාළයි. මීට අමතරව එක්සත් ජනපදයේ යතුරුපැදි පදවන්නන්ගේ පදනම මෙවන් යෝජනා ඉදිරිපත් කරනවා. “පෙනෙන පරිදි පදවන්න.” අන් අයට ඔබව හොඳින් පෙනෙන බවට වගබලා ගන්න. පහන් ආලෝකය දල්වන්න. අනිකුත් වාහනවල රියදුරන්ට ඔබව නොපෙනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න. “ආරක්ෂාකාරීව ඇඳ පැළඳ සිටින්න.” හිස් වැස්මක් පළඳින්න. ගොරෝසු හා කැපී පෙනෙන වර්ණයෙන් යුත් ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පළඳින්න. “ආරක්ෂාකාරීව යතුරුපැදිය පදවන්න.” අනික් රියදුරන්ට ඔබව නොපෙනේ යන හැඟීමෙන් යතුරුපැදිය පදවන්න.

ඔබේ වාහනය පරීක්ෂා කරන්න

රියදුරු ආරක්ෂාකාරීව රිය පැදවිය යුතු අතර වාහනය හොඳ තත්වයක තිබිය යුතුයි. තිරිංග: හොඳ තත්වයේ තිබිය යුතුයි. ටයර්: වාහනය මාර්ගයේ ලිස්සා නොයෑමට ටයරයේ කට්ට ළඟින් ළඟ පිහිටා තිබිය යුතුයි. ටයරයේ ප්‍රමාණවත් හුළං තිබිය යුතුයි: මෙය වාහනය පාලනය කිරීමටත් තිරිංග යෙදීමටත් පහසු කරයි. ආසන පටි: මේවා බොහෝ වාහනවල තිබුණද ප්‍රයෝජන ලැබෙන්නේ ඒවා පැළඳීමෙන් පමණයි.

දේශගුණික තත්වය: රිය පැදවීමේදී දේශගුණික තත්වයන් ගැන සැලකිලිමත් වන්න. මාර්ගය තෙත් වී තිබෙනවා නම් සුක්කානම හැසිරවීමට අපහසු වන අතර තිරිංග යෙදූ සැණින් වාහනය එම ස්ථානයේදීම නතර වන්නේ නැහැ. පහන් ආලෝක: රාත්‍රියේදී රිය පැදවීමේදී ඒවා හොඳ තත්වයේ තිබිය යුතු අතර අඩු වේගයකින් රිය පැදවීමටත් අමතක නොකරන්න. ජීවිතය දෙවිගෙන් ලද ත්‍යාගයක් නිසා එය රැකගැනීමට අපට කළ හැකි දෙය අප කළ යුතුයි. ආරක්ෂාකාරී ලෙස රිය පැදවීමට ඉගෙනගැනීමෙන් ඔබ පෙන්වන්නේ ජීවිතයට ගරු කරන බවයි.

[13වන පිටුවේ කොටුව/පින්තූරය]

ඉන්ධන අරපිරිමැස්ම සඳහා

රිය පැදවීමේදී: නිතර නිතර වේගය වැඩි කිරීමෙන් හා තිරිංග යෙදීමෙන් ඉන්ධන වැඩිපුර වැය වීමට හේතු වෙයි.

එන්ජිම පණගන්වා තිබීම: නවීන දින වාහනයක් ගමන ආරම්භ කිරීමට පෙර ටික වේලාවක් පණගන්වා තැබීම අවශ්‍ය නැහැ. වාහනය තත්පර 30කට වඩා වැඩි වේලාවක් එක තැන නතර කර තබනවා නම් එන්ජිම ක්‍රියා විරහිත කරන්න.

ටයර්වල හුළං ප්‍රමාණය: නිසි ප්‍රමාණයට ටයර්වල හුළං තිබෙනවා නම් වාහනය පැදවීමට පහසු වන අතර වැය වන්නේද අඩු ඉන්ධන ප්‍රමාණයක්.

වේගය පාලනය කරන්න: අධිවේගයෙන් ගමන් කිරීම අනාරක්ෂිත වන අතර වැය වන ඉන්ධන ප්‍රමාණයත් වැඩියි.

[11වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූරය]

❏ අවධානයෙන් සිටින්න

❏ ආසන පටි පළඳින්න

❏ රිය පැදවීමේදී වෙනත් කාර්යයන්වල නොයෙදෙන්න

❏ අවධානය වෙනතකට යොමු නොකරන්න

[12වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූරය]

❏ නොපෙනෙන පැති ගැන සැලකිලිමත් වන්න

❏ තිරිංග හොඳ තත්වයේ තිබෙනවාදැයි පරීක්ෂා කරන්න

❏ ටයරයේ ප්‍රමාණවත් හුළං තිබේදැයි පරීක්ෂා කරන්න

❏ ටයරය ගෙවී ගොස් තිබෙනවාදැයි පරීක්ෂා කර බලන්න

❏ ප්‍රමාණවත් දුරකින් රිය පදවන්න

[13වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූරය]

❏ “ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් පළඳින්න”

❏ “පෙනෙන පරිදි පදවන්න”

[13වන පිටුවේ ප්‍රස්තාරය/පින්තූරය]

❏ පහන් ආලෝක පරීක්ෂා කරන්න