Skip to content

පටුනට යන්න

නිදියන්නම උපන් හපනා

නිදියන්නම උපන් හපනා

නිදියන්නම උපන් හපනා

කැලෑවක් මැදින් යද්දී අපි දැක්කා කොළ පාටට හුරු සතෙක්ව. කැමරාව අරන් ඉක්මනින් පින්තූරයක් ගන්න කියලා මම නංගිට කිව්වා. මේ සතාගේ පින්තූරයක් ගන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ කියලා දැනගත්තම අපිට හිනාත් ගියා. අපි දැකලා තියෙන්නේ කැලෑවේ ඉන්න වලස් පවුලට අයත් කම්මැළිම සතුන්ගෙන් එකෙක් වන ස්ලොත් නමැති සතාවයි.

මේ සතුන් ගැන තවත් තොරතුරු දැනගැනීමට මම කොස්ටාරිකාවේ වන සතුන්ව සංරක්ෂණය කරන සත්ව උද්‍යානයකට ගියා. මෙය සත්ව උද්‍යානයක් මෙන්ම අනතුරට ලක් වූ සතුන්ව නැවත වනාන්තරවලට මුදාහැරීමට කටයුතු කරන මධ්‍යස්ථානයක්. මම එහි අධ්‍යක්ෂක තනතුර දරන ජීව විද්‍යාඥවරියක් වන ෂර්ලි රෙමිරෙස්ව මුණගැසුණා. ඇය මාව එහි සිටින ස්පාඤ්ඤ භාෂාවෙන් බෝලය යන තේරුම ඇති පෙලෝටා නමැති ස්ලොත්ව බැලීමට රැගෙන ගියා. පෙලෝටා නිය දෙකේ ස්ලොත් වර්ගයට අයත් සතෙක්. ඌ ප්‍රමාණයෙන් කුඩා බල්ලෙකු තරම් වන අතර උගේ මුළු ඇඟම ලොම්වලින් වැසී තිබුණා. උගේ නාසය පැතිලියි. ඌට තිබුණේ විශාල තෙත් වූ ඇස් දෙකක්.

ඌ හුදෙකලාවේ ජීවත් වෙන්න කැමති සතෙක් බවත් අවුරුද්දකට වතාවක් එක් පැටියෙකු බිහි කරන බවත් මට දැනගන්න ලැබුණා. අලුත උපන් පැටියෙක් මවගෙන් කිරි බොන මුල් සති හතරත් හයත් අතර කාලයේදී මවගේ ඇඟේ එල්ලී සිටියි. ඉන්පසු මාස පහේ සිට අටවන තුරුත් මව්ගේ ඇඟේම එල්ලී සිටියි. ඒ කාලයේදී මව දිරවීමට පහසු ළපටි කොළ දළු ආදියෙන් ඌව පෝෂණය කරනවා. පැටවා මවගේ ඇඟේ එල්ලී සිටියදීම ඌට අවශ්‍ය කොළ දළු කඩාගෙන කනවා. මේ කාලය අතරතුරේදී මව උන් ජීවත් වන වටපිටාවට පැටියාව හුරු කරනවා.

නිය දෙකේ උන් සහ නිය තුනේ උන්

මම කලින් කැලෑවේ ඇවිදගෙන යන කොට දැක තිබුණේ නිය තුනේ එකෙක්වයි. උගේ ඇස් වටා කළු පැහැයක් තිබෙන නිසා එය පෙනෙන්නේ අව් කණ්ණාඩියක් පැළඳ සිටිනවා වගෙයි. ඌට තිබුණේ කෙටි මහත වලිගයක්. උගේ ලොම් ගොරෝසුයි. උගේ ඉදිරි පාද දෙක පිටුපස පාද දෙකට වඩා දිග වූ අතර උගේ උරහිස් අතර ලොම් දුඹුරු පැහැයෙන් දිස් වුණා. මේ වර්ගයේ උන්ට ගෙල පෙදෙසේ කශේරුකා නවයක් පිහිටා තිබෙන නිසා උන්ගේ ඔළුව අංශක 270ක් දක්වා කරකැවිය හැකියි. උන්ට මේ නිසා තම ප්‍රියතම කොළ වර්ග කඩාගැනීමට හැකි වීම මොන තරම් පහසුවක්ද! මම දැක්ක සතා කොළ පාටින් දිස් වුණේ ඇයි කියා මම ෂර්ලිගෙන් ඇසුවා. “ඒකට හේතුව ස්ලොත්ගේ ලොම්වල ඇල්ගී ශාක වැඩෙන නිසයි” කියා ඇය පැවසුවා.

අනික් වර්ගය වන නිය දෙකේ උන්ගේ පාද හතරම ප්‍රමාණයෙන් එක හා සමානයි. උන්ගේ සුමුදු ලොම් දිගට වැඩෙන අතර එය රන්වන් පැහැයට හුරු දුඹුරු වර්ණයක් ගනියි.

ඌ දවස ගෙවන්නේ ගස් මුදුන්වල අව්ව තපිමිනුයි. උගේ ශරීර උෂ්ණත්වය දවල් කාලයේදී සෙල්සියස් අංශක 33ක් වන අතර එය රාත්‍රි කාලයේදී සෙල්සියස් අංශක 24 දක්වා වෙනස් වෙනවා. වෙන ක්ෂීරපායි සතුන්ගේ මෙවැනි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. මුන්ගේ ශරීරයේ මාංස තිබෙන්නේ සුළු ප්‍රමාණයක් නිසා උන්ට ශීත දරාගැනීමට අපහසුයි. ඌ වකුටු වී නිදාගන්නේ ශරීර උෂ්ණත්වය රඳවාගැනීම සඳහායි. එමෙන්ම උගේ කෙටි ලොම්ද ශරීර උෂ්ණත්වය රඳවා තබාගැනීමට උපකාරවත් වෙනවා. උන් සාමාන්‍යයෙන් දවසකට පැය 20ක් පමණ නිදාගන්නවා.

කම්මැළියා කන හැටි

ආහාර දිරවීමට ශරීර උෂ්ණත්වය අවශ්‍යයි. නමුත් උන්ගේ ශරීර උෂ්ණත්වය අඩු නිසා ආහාර දිරවීම ප්‍රමාද වෙයි. උගේ ආමාශයේ කුටීර කිහිපයක් තිබෙන නිසා ඌ ගන්නා කොළ දිරවා කුඩා බඩවැල්වලට යෑමට මාසයක් පමණ ගත වෙනවා. මේ නිසා වැසි කාලයේදී දින කිහිපයකට හිරු එළිය නොලැබෙන විට ඌ ගන්නා ආහාර දිරවන්නේ නැති නිසා ඌට ශක්තිය නොමැතිව මිය යන්නත් පුළුවන්. ෂර්ලි කියා සිටියේ “මෙම සතුන්ට ආහාර දිරවීම සඳහා හිරු එළිය අත්‍යවශ්‍ය” බවයි.

එමෙන්ම ඇය මෙවැනි දෙයක්ද පැවසුවා. “මම සත්තු බලාගන්න කෙනෙක් හැටියට උන්ගේ කූඩුත් ශුද්ධ පවිත්‍ර කරනවා. උන් මලපහ කරන්නේත් මුත්‍රා කරන්නේත් සතියකට වතාවයි. උන් මලපහ කරන විට වළක් හාරා ඒවා වළලනවා. මේ නිසා උන්ව බලාගන්න පහසුයි. උන් පහළට බහින්නේ ඒ කාර්යය කිරීමට විතරයි.”

උඩු යටි කුරු ජීවිතය

මේ කම්මැළියා කන්නේ බොන්නේ නිදාගන්නේ පැටව් බිහිකරන්නේ ගසක එල්ලිලයි. උන්ට මෙසේ එල්ලී සිටීමට උපකාරවත් වන්නේ අඟල් තුනක් දිග ඇඟිලි හා නියපොතුයි. සියල්ලේ නිර්මාතෘ උන්ව සාදා තිබෙන්නේ එලෙස උඩු යටි කුරුව ජීවත් වීමටයි. කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව උන්ට තර්ජනයක් නොවන්නේ උන්ගේ ලොම් පිහිටා තිබෙන ආකාරය නිසයි. උන්ගේ ලොම් වැඩී තිබෙන්නේ උදරයේ සිට පහතට නිසා වතුර නොරැඳී පහතට රූරා වැටෙනවා. පොළොවේ ගමන බිමන අපහසු වුණත් ගස් උඩ ඌ හෙමින් සීරුවේ ඒ මේ අත යයි. පිහිනීමට ඇති හැකියාව උන් තුළ තිබෙන සැඟවුණු කුසලතාවක්.

ගස තම වාසභූමිය කරගත් කම්මැළියාගේ ජීවන රටාවෙන් මම තවත් දේවල් ඉගෙනගත්තා. ඉන් එකක් නම් උන්ට දරුණු තුවාල සිදු වූ විට ඒවා ඉක්මනින්ම සුව වීමයි. අනික් ක්ෂීරපායි සතුන්ට මාරාන්තික විය හැකි විෂ පවා උන්ට හානිකර නොවෙයි. උන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීම වෛද්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින් උපකාරවත් වෙයි. අනික් කාරණය නම් කලබලකාරී ජීවිතයක් ගත කරන අයට උන් ගත කරන සැහැල්ලු සන්සුන් ජීවිතය යම් තාක් දුරට අනුකරණය කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබිය හැකියි.—සපයන ලද්දක්.

[15වන පිටුවේ කොටුව/පින්තූර]

ආගන්තුක සත්කාරයට ළැදි සත්වයා

මේ සතාගේ ලොම්වල කොළ පැහැයට හේතුව ඒවා ඇල්ගී ශාකවලින් වැසී තිබීමයි. මෙය සහජීවනයට කදිම උදාහරණයක්. මෙම සතා තම ලොම්වල ඇල්ගී ශාකවලට වැඩීමට ඉඩහැර තිබෙන අතර එම ශාකවලින් සතාටද යම් පෝෂණයක් ලැබෙනවා. ඌට එම පෝෂණය ලැබෙන්නේ ඌ ලොම් ලෙවකෑමෙන් හෝ එසේත් නැත්නම් ඒවා සමට උරාගැනීම මගිනුයි. ලොම්වල ඇති වන අළු පැහැයට හුරු කොළ පැහැය නිසා ඌ දිස් වන්නේ අත්තක එල්ලී තිබෙන කොළ ගොඩක් ලෙසයි. සතුරන්ගෙන් සැඟවී සිටින්න මීට වඩා තවත් ක්‍රමයක් නැති තරම්. උගේ ආයු කාලය වැඩි වෙනවාත් සමඟම උගේ කොළ පැහැයද වැඩි වෙනවා.

[හිමිකම් විස්තර]

Top right: © Michael and Patricia Fogden; bottom: © Jan Ševčík