Skip to content

පටුනට යන්න

ගිරි කුළයේ තැනුණු නගරය

ගිරි කුළයේ තැනුණු නගරය

ගිරි කුළයේ තැනුණු නගරය

“ස්පාඤ්ඤයේ සුන්දරතම නගරය බැලීමට අවශ්‍ය නම් ඔබ යා යුත්තේ ඇල්බරසෙන් නගරයටයි” කියා ස්පාඤ්ඤයේ ලේඛකයෙක් වන හොසේ මාටේනෙත් රූයිත් පැවසුවා.

ඇල්බරසෙන් අද්විතීය නගරයක් වන්නේ එහි පිහිටීම, එහි ඉතිහාසය හා එහි සුන්දර පරිසරය නිසයි. මෙම හේතු නිසා ස්පාඤ්ඤයේ රජය විසින් 1961දී ටෙරුවල් පළාතේ පිහිටි මෙම නගරය ජාතික වස්තුවක් ලෙස නම් කළා. වර්ෂ 2005දී සංචාරකයන් පිරිසක් ඇල්බරසෙන් නගරය ස්පාඤ්ඤයේ “අති සුන්දරතම නගරය” ලෙස නම් කළා.

ස්පාඤ්ඤයේ මධ්‍යම කඳුකරයේ පිහිටි මෙම ඉපැරණි නගරයේ වැසියන් 1,000ක් පමණ වෙසෙනවා. එහි තිබෙන නිල් තණ නිල්ල පෝෂණය වන්නේ අවට තිබෙන ගංගාවලිනුයි.

සශ්‍රීක නගරයක්

අතීතයේදී මිනිසුන් එම නගරයේ පදිංචියට කැමැත්තක් දැක්වූයේ එය දඩයම් කිරීමට තෝතැන්නක් වූ නිසයි. එහි වැසියන් දක්ෂ චිත්‍ර ශිල්පීන් හා සොබා සෞන්දර්යට ප්‍රිය කළ අය බව බිතු සිතුවම්වලින් පෙනී යනවා. ඔවුන් විශාල ගවයන් හා වෙනත් සතුන් චිත්‍රයට නඟා තිබුණු අතර ඒවා පාට කිරීමට යොදාගත් සුදු වර්ණය දැකගත හැකි වන්නේ එම ප්‍රදේශයේ පමණයි. එදිනෙදා ජීවිතයේ සිදු වීම් සිත්තම් කර තිබූ එවැනි ගල්ලෙන් ආදිය ආගමික කටයුතු සඳහා හෝ සුහද හමු වීම් සඳහා එක්රැස් වූ ස්ථාන විය හැකියි කියා ප්‍රවීණයන් විශ්වාස කරනවා.

අදටත් එම නගරය අවට කඳුකර ප්‍රදේශයේ මුවෝ, වල්ඌරෝ වැනි සතුන් බහුලව දැකගත හැකියි. සැමන් වර්ගයේ මිරිදිය මත්ස්‍යයෙක් වන ට්‍රවුට්ටා ආරාබිවරුන් විසින් සුදු ගඟ ලෙස නම් කර ඇති ගඟෙහි ගහනව වෙසෙනවා.

ක්‍රිස්තු පූර්ව 133දී රෝමවරුන් විසින් එහි වාසය කරමින් සිටි සෙල්ටිබෙරියන් ලෙස හඳුන්වන ගෝත්‍රික ජනයාව යටත් කරගෙන එහි කුඩා ජනපද පිහිටෙව්වා. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී රෝම ඉන්ජිනේරුවන් විසින් කිලෝමීටර 18ක් දිග (1) වාරිමාර්ග පද්ධතියක් තනණු ලැබුවා. රෝමවරු මහජනයා වෙනුවෙන් කළ සංකීර්ණම ව්‍යාපෘතිය එය බවට සැලකෙනවා. රෝමවරු ඇදහූ ආගම එහි ව්‍යාප්තව තිබූ බවට සාක්ෂි සොයාගත හැකියි. රෝමානු සොහොන් කොතක කොටා තිබූ රූපවලින් එහි අධිරාජ්‍යයාට නමස්කාර කිරීමේ පිළිවෙත ඔවුන් අනුගමනය කළ බව පැහැදිලියි.

මුස්ලිම් පාලනය යටතේ සශ්‍රීකත්වය

නවවන සියවසේ පටන් මුස්ලිම්වරු මෙම නගරය තමන්ගේ පාලනයට නතු කරගත්තා. ඇල්බරසෙන් යන නමද එහි පදිංචියට ආ මුස්ලිම් වැසියන්ගෙන් පැමිණෙන්න ඇතැයි කියා විශ්වාස කරනවා. මධ්‍යකාලීන යුගයේදී මුස්ලිම්වරු, යුදෙව්වරු, ක්‍රිස්තියානීන් යැයි කියා ගන්නා අය එකට සාමයෙන් විසුවා. මේ නිසා ඇල්බරසෙන් ඉතිහාසයේ සෞභාග්‍යමත් සමය ලෙසට මෙම කාලය සැලකෙනවා.

එහි සිටි කලා ශිල්පීන් නොයෙකුත් අලංකාර නිපැයුම් තැනූ අතර වෛද්‍ය ක්ෂේත්‍රයේද දියුණක් තිබූ බව එහි සොයාගත් දේවලින් තහවුරු වෙනවා. කැණිම්වලින් සොයාගත් වෛද්‍ය උපකරණවලින් පෙනී යන්නේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් මෙහි සිදු කර තිබෙන බවයි. ඇල්බරසෙන් නගරය 12වන සියවසේ අගභාගයේදී රෝමානු කතෝලිකයන් අතට පත් වන තුරු එහි පාලනය පැවතියේ මුස්ලිම්වරුන් යටතේයි. ස්පාඤ්ඤයේ සාමකාමී දේශපාලනමය වෙනස් වීමක් සිදු වූ පළමු අවස්ථාව එයයි.

ඇල්බරසෙන් නගරය නවීකරණය වී නැති නිසා එහි යන සංචාරකයෙකුට මධ්‍යකාලීන යුගයේ තිබූ සුන්දරත්වය අදටත් දැකගත හැකියි.

මනබඳින දසුනක්

ස්පාඤ්ඤයේ දර්ශනවාදියෙක් වන හොසේ ඔර්ටේගා ගාසේට් (1883-1955) ඇල්බරසෙන් නගරය හැඳින්වූයේ ගිරි කුළයේ තැනුණු සුන්දර නගරය කියායි. ඔහු කියූ දේ සත්‍යයක්. මන්ද එම නගරය මුහුදු මට්ටමේ සිට අඩි 4,000ක් උසින් පිහිටා තිබීමයි. උස් කන්දක පිහිටි මෙම නගරය එක් පැත්තකින් තිබෙන්නේ ආගාධය නිසා මෙම නගරයට ස්වාභාවිකවම ආරක්ෂාව සැලසී තිබෙනවා.

ගල් ඔබ්බවන ලද පටු මාවත් දිගේ යන කෙනෙකුට ඉපැරණි කාලයේ විසූ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් දැකගත හැකියි. පින්තූරයේ පෙනෙන (2) බ්ලු හවුස් සහ (3) හුලිඇනේටා නිවස මීට කදිම උදාහරණයි. හුලිඇනේටා නිවස පිහිටා තිබෙන්නේ මාර්ග දෙකක් හමු වන ස්ථානයෙයි.

ඒ කාලයේ පටන් නිවාස ගොඩනඟනු ලැබුවේ දැව හා මැටි වර්ගයක් උපයෝගී කරගනිමිනුයි. මෙවැනි කඳු මත නිවාස තැනීමේදී ඒ සඳහා සැහැල්ලු අමුද්‍රව්‍ය භාවිත කිරීම වැදගත්. මෙම නිවාසවල ලේස් රෙදිවලින් සරසා තිබෙන කුඩා කවුළු හා (4) යකඩ දැල් සංචාරකයන්ගේ නෙත් වසඟ කරගැනීමට සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කැටයම් යොදා සාදා තිබෙන සඳළු තල, විවිධ සතුන්ගේ හැඩයෙන් සාදා ඇති දොරගුළු මෙන්ම ඉදිරියට නෙරා තිබෙන නිවෙස්වල පියස්ස කැපී පෙනෙන අංගයන් වෙයි.

මෙම නගරය පිහිටා තිබෙන්නේ කන්දේ සමතලා භූමි ප්‍රදේශයේයි. සමහරක් නිවෙස් කඳු ගැට්ට අද්දර තනා තිබෙනවා. මේ නිසා කැරකැවිල්ල හැදෙන කෙනෙක් කඳු ගැට්ට අද්දර ඇති නිවෙස්වලට යන විට පහළ නොබැලීමට වගබලා ගත යුතුයි.

මුස්ලිම්වරු තැණූ රජ මාලිගාව නගරයේ කැපීපෙනෙනම ගොඩනැඟිල්ලයි. දහවෙනි සියවසේ අරාබිවරුන් විසින් තැණූ පවුරේ සමහර කොටස් තවමත් දැක ගත හැකියි. දහසයවන සියවසේ ගොතික්වරු තැණූ පල්ලියක්ද අශ්ව ලාඩමක හැඩයෙන් හා ආරුක්කු සහිත නගර ශාලාවද තවමත් දැකගත හැකියි.

ස්වාභාවික සම්පත්

සොබා සෞන්දර්යට ඇලුම් කරන අයට ඇල්බරසෙන් නගරයේ නැරඹීමට තවත් බොහෝ දේ තිබෙනවා. කඳුකරයේ අවට තිබෙන දිය ඇළි ගහ කොළ මෙන්ම හරිත වර්ණයෙන් දිස් වන ඝන වනාන්තරය නෙත් සිත් වසඟ කරනවා. මෙහි එළිමහනේ රැයක් ගතකරන අයට තරු පිරි අහසේ සුන්දරත්වය විඳීමටද හැකි වෙනවා.

ඇල්බරසෙන් නගරයේ යෙහෝවා දෙවිට නමස්කාර කරන පවුල් කිහිපයක් වෙසෙනවා. ඔවුන් භුක්ති විඳින මේ අලංකාර පරිසරය දකින විට ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ අනාගතයේදී දෙවිගේ රාජ්‍ය යටතේ කීකරු මනුෂ්‍යයන්ට ලැබෙන ආශිර්වාදයි. ඔවුන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය තම අසල්වැසියන්ට දැනුම් දෙමින් සිටිනවා.—ගීතාවලිය 98:7-9; මතෙව් 24:14.

සෑම වසරකම දහස් සංඛ්‍යාත සංචාරකයන් මෙම නගරයේ පටු මංමාවත් දිගේ ඇවිද යන්නේ ඇල්බරසෙන් නගරයේ සොබා සෞන්දර්ය අගය කරමිනුයි. යම් දිනක ඔබටත් ස්පාඤ්ඤයට යන්න අවස්ථාවක් ලැබුණොත් සුන්දර නගරයක් වන ඇල්බරසෙන් නගරයේ සංචාරය කිරීමට අමතක කරන්න එපා.

[18වන පිටුවේ කොටුව/පින්තූර]

ඇල්බරසෙන් නගරයෙන් සොයාගත් කලා නිර්මාණ

රිදී මංජුසාව: මෙම මංජුසාව මුස්ලිම් ජාතික රජෙක් වූ අබ්ඩල්මෙලික් ඔහුගේ බිසව වන සාර්ට දුන් තෑග්ගක්. අරාබි භාෂාවෙන් සාර් යන්නෙහි තේරුම “පුෂ්පය” යන්නයි. එම මංජුසාවේ “සදාකාලික ආශීර්වාද ලැබේවා. ඔබට යහපත හා යුක්තිය ඉටු කිරීමට දෙවිගේ මඟ පෙන්වීම ලැබේවා” කියා රන් අකුරින් ලියා තිබෙනවා. මෙය අරාබි කලා කෘති අතරින් විශිෂ්ට කලා කෘතියක් ලෙසට සැලකෙනවා.

පළිඟු මත්ස්‍යයා: මෙම මත්ස්‍යයාගේ මුඛය රිදීයෙන් හා වරල් රත්තරනින් නිම කර තිබෙනවා. එමෙන්ම එය මුතුවලින් හා රතු මැණික්වලින් අලංකාර කර තිබෙනවා. මෙම නිර්මාණය කොතරම් සංකීර්ණද යත් මෙය එක් ශිල්පියෙකුගේ ජීවිත කාලය තුළදී නිම කළ නොහැකි කාර්යයක් බව ප්‍රවීණයන්ගේ විශ්වාසයයි.

[හිමිකම් විස්තර]

Jar: Museo de Teruel. Foto Jorge Escudero; crystal: Sta. Ma de Albarracín Foundation

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පෘතුගාලය

ස්පාඤ්ඤය

මැඩ්රිඩ්

ඇල්බරසෙන්

[17වන පිටුවේ පින්තූරය]

1 වාරිමාර්ග පද්ධතිය

[18වන පිටුවේ පින්තූර]

2 බ්ලු හවුස්

3 හුලිඇනේටා නිවස

4 යකඩ දැල්

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Ioseba Egibar/age fotostock