Skip to content

පටුනට යන්න

යමුද රවුමක් රික්ෂෝවේ

යමුද රවුමක් රික්ෂෝවේ

යමුද රවුමක් රික්ෂෝවේ

දහස් සංඛ්‍යාත ජන පිරිසක් වෙසෙන බංග්ලාදේශයේ ඩකා නුවරට පැමිණෙන කෙනෙකුට සුලභව දකින්න ලැබෙන දෙයක් තිබෙනවා. එය නම් පහසුවෙන් ගමන් බිමන් යෑමට යොදාගන්නා රික්ෂෝ සයිකලයයි. මිනිසුන් හා බඩු පටවාගෙන යන රික්ෂෝ සයිකල් කොතරම් ප්‍රමාණයක් එහි තිබෙනවාද කියනවා නම් එය ජන පිරිසට දෙවෙනි වන්නේ නැහැ.

ලියාපදිංචි කළ රික්ෂෝ සයිකල් 80,000ක් පමණ ඩකා නුවර තිබෙනවා. නමුත් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මහ මාර්ගයේ ගමනාගමනේ යෙදෙන බව බොහෝදෙනාගේ විශ්වාසයයි. ලෝකයේ රික්ෂෝ සයිකල්වල රාජධානිය ලෙස ඩකා නුවරට නම් පටබැඳී තිබෙන්නේ ඒ නිසයි.

රික්ෂෝවේ ආරම්භය

ප්‍රංශයේ 14වෙනි ලුවී රජුගේ කාලයේදී (1638-1715) එහා මෙහා රැගෙන යා හැකි පුටුවක් නිර්මාණය කර තිබුණා. නමුත් අතින් ඇදගෙන යන රික්ෂෝවක් මුලින්ම නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ජපානයේ සිටි ඇමරිකානු ජාතික මිෂනාරිවරයෙක් වන ජොනතන් ගැබල්ටයි. එය නිර්මාණය කළේ 1870 ගණන්වලදීයි. ඔහු එවැනි දෙයක් නිර්මාණය කිරීමට පෙලඹුණේ අසනීපයෙන් පෙළුණු ඔහුගේ භාර්යාවගේ ගමන් පහසුව නිසයි. එය ජපන් භාෂාවෙන් හඳුන්වනු ලැබුවේ ජින්රික්ෂා කියායි. එහි තේරුම මිනිස් බලයෙන් ඇදගෙන යන වාහනය යන්නයි. කාලයත් සමඟ එය ඉංග්‍රීසි බසින් රික්ෂෝව ලෙස හැඳින්වූවා. පසු කාලයේදී ආසියාව පුරා රික්ෂෝව ගමනාගමනය සඳහා ප්‍රචලිත වුණා. ඊට හේතුව එයින් අඩු වියදමකින් ගමන් බිමන් යා හැකි නිසයි. වර්ෂ 1912දී බයිබල් ශිෂ්‍යයන්ගේ (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එවකට හැඳින්වූයේ එලෙසයි.) ක්‍රියාකාරකම්වල පෙරමුණ ගෙන කටයුතු කළ චාල්ස් ටේස් රසල් (පහළ ඇති පින්තූරය) ජපානයට පැමිණි අවස්ථාවේදී ඔහුත් ඔහු සමඟ පැමිණි කණ්ඩායමත් ජපානය පුරා ගමන් බිමන් ගියේ රික්ෂෝවලිනුයි.

ඩකා නුවර මුල්ම රෝද තුනේ රික්ෂෝ සයිකලය භාවිතයට ගැනුණේ 1930 ගණන්වල අගභාගයේදීයි. වාහන තදබදයෙන් පිරුණු මාර්ග දිගේ පවා මඟීන්ව මෙන්ම බඩු තොග රැගෙන මෙම සයිකලය පැදගෙන යා හැකියි.

රික්ෂෝ සැරසිලි

ඩකා නුවර තිබෙන රික්ෂෝ සයිකල මුළුමනින්ම සැරසිලිවලින් පුරවා තිබෙනවා. මෙම සැරසිලි කලාව ආරම්භ වුණේ කොහොමද? රික්ෂෝ සයිකල ඩකා නුවර භාවිතටය ගැනුණු මුල් කාලයේදී අශ්ව කරත්තද බහුලව තිබුණා. එමනිසා රික්ෂෝ සයිකල්වලට මිනිසුන්ව ආකර්ෂණය කරගැනීම සඳහා ඒවා නොයෙකුත් සැරසිලිවලින් වර්ණවත් කළා. එලෙස අඳින සිත්තම් හා වෙළඳ දැන්වීම් කලාවක් බවට පත් වී තිබෙනවා.

ඇත්තෙන්ම මෙලෙස සිත්තම් කළ රික්ෂෝව දෑසට ප්‍රිය දසුනක්. බංග්ලාදේශයේ එක් චිත්‍ර ශිල්පියෙක් වන සයිඩ් මන්සූරුල් ඉස්ලාම් පැවසුවේ “මෙම සයිකල් එහා මෙහා යන කලාගාරයක්” කියායි. මේවායේ පින්තූර, විවිධ මෝස්තර රටා මෙන්ම විසිතුරු පබළු හා ගෙත්තම් සවි කර තිබෙනවා.

එක් එක් චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත්‍ර හා මෝස්තර නිර්මාණය කරනවා. සමහරක් ඒවා වෙළඳ දැන්වීමක ස්වරූපයක් ගන්නවා. ඉන්දියාවේ මෙන්ම බංග්ලාදේශයේ පැරණි හා නවීන චිත්‍රපටවල දර්ශන එහි ඇඳ තිබෙනවා. සමහරක් ඒවාවල පුරාණ ගැමි ජීවිතයේ තිබූ සුන්දරත්වය, සමාජ තත්වය හා දේශපාලනය චිත්‍රයට නඟා තිබෙනවා. මෙම දර්ශනවලට පාදක කරගෙන තිබෙන්නේ නොයෙකුත් සතුන්, කුරුල්ලන් හා සාරවත් කෙත් වතු යනාදියයි.

වර්ෂ 1950 ගණන්වල රික්ෂෝ සයිකල්වල චිත්‍ර අඳින අය සිටියේ අතළොස්සක් පමණයි. නමුත් අද වන විට එවැනි චිත්‍ර ශිල්පීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් සිටිනවා. ඒවායේ වහල තනා තිබෙන්නේ ඉවතලන තෙල් බැරල්වල තහඩු වැනි දේවලිනුයි. එම තහඩු සම්පූර්ණයෙන්ම වැසෙන සේ තීන්තවලින් චිත්‍ර අඳිනවා. රික්ෂෝ කලාව අද බංග්ලාදේශයේ ජන කලාවක් ලෙසට සලකනවා.

රික්ෂෝව පදවන්නා

රික්ෂෝව පදවන තැනැත්තා ගත කරන්නේ ඉතා වෙහෙසකර ජීවිතයක්. දවස පුරාම අනේක බර කන්දරාවක් දරාගෙන යන ඔහුගේ ජීවිතය කොතරම් කටුකද කියා සිතා බලන්න. ඔහු ගෘහණියන්ටද පාසැල් දරුවන්ටද ව්‍යාපාරිකයන්ටද සාප්පු සවාරි යන අයට හා ඔවුන්ගේ ගමන් මලු රැගෙන යෑමටද උපකාර කරයි. බොහෝ අවස්ථාවලදී දෙතුන්දෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ගෙන යන්න සිදු වෙනවා. මඟීන් ප්‍රවාහනය කරන්න විතරක් නෙවෙයි අල, හාල්, ලූණු හා වෙනත් ද්‍රව්‍ය වෙළඳපොළට ගෙන යන්නද රික්ෂෝ සයිකලය යොදාගන්නවා. සමහරුන් විශාල බඩු මුට්ටු කන්දරාවක් පටවා ඒ මත ඉඳගෙන යනවා. එය දකින කෙනෙකුට ඔහු එවැනි බරක් සයිකලය මත තබාගෙන පදවාගෙන යන්නේ කෙසේද කියා සිතෙයි. ඔහු ගිනි කාෂ්ටක අව්වේත් මොර සූරන වැස්සේත් දිගටම තම රාජකාරියේ යෙදෙනවා.

රික්ෂෝ පදවන්නන්ගෙන් බොහෝදෙනෙක් නගරයට පැමිණ තිබෙන්නේ තම ගමේ ගොවිතැන් බතක් කර තම පවුල නඩත්තු කරගැනීමටවත් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් සොයාගැනීමටවත් නොහැකි නිසයි. ජීවිතය ගැටගසා ගැනීමට ඔවුන් සෑම දවසකම ගත වෙහෙසා වැඩකරනවා.

තදබදයට පිළියමක්

ඩකා නුවර රික්ෂෝ සයිකලය දිනෙන් දින මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එය වාහන තදබදයෙන් පිරුණු මංමාවත්වල හා පටු වීථිවල පවා පහසුවෙන් පදවාගෙන යා හැකි නිසයි. එයින් පරිසර දූෂණයක්ද සිදු නොවන අතර එයින් ගමන් බිමන් යෑමත් විනෝදජනකයි.

නමුත් කනගාටුදායක දෙයක් වන්නේ ආසියාවේ බොහෝ නගරවල රික්ෂෝව ගමනාගමනය සඳහා යොදාගැනීම අඩු වී තිබීමයි. මෙයට හේතුව නවීන පන්නයේ ජීවන රටාවකට මිනිසුන් හුරු වී තිබෙන නිසා ඔවුන් සතුටු වන්නේ සැප පහසු ගමනාගමන සේවාවලටයි. බොහෝදෙනා සිතන්නේ මෙය අද කාලයට ගැලපෙන්නේ නැහැ කියයි. එමනිසා එය නවීකරණය කර දිගටම භාවිතයට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඔබ ඩකා නුවරට ගිය විට ගමනාගමනය සඳහා බස්, කුලී රථ, යතුරුපැදි, ත්‍රීරෝද රථ හෝ රික්ෂෝ සයිකලය තෝරාගත හැකියි. නමුත් රික්ෂෝ සයිකලයෙන් ඩකා නුවර වටේ ගමන් කරන්න ලැබුණා නම් එය ඔබට කිසිදා අමතක නොවන බව නිසැකයි.

[23වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]