Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

උතුරු අත්ලාන්තික් සාගර පතුළෙන් සොයාගත් මට්ටියෙක් “මෙතෙක් වැඩිම කාලයක් ජීවත් වූ ජීවියා ලෙස නම් කරනවා.” ඌ මේ වන විට අවුරුදු 405ක් ජීවත් වී තිබෙන බව විද්‍යාඥයන් උගේ කටුවෙන් නිගමනය කර තිබෙනවා.—SUNDAY TIMES, BRITAIN.

▪ “බිඳ වැටෙන ආර්ථිකය බෙහෙවින් ධනවත් අයට පවා බලපා තිබෙනවා.”—THE NEW YORK TIMES, U.S.A.

රූපවාහිනිය නිසා ඇති වන බලපෑම්

“යෞවනයන් ලිංගික දර්ශන ඇතුළත් වැඩසටහන් නැරඹීම නිසා ලිංගික කාරණා පිළිබඳව ඔවුන් දරන ආකල්පවලට හා හැසිරීම්වලට යම් බලපෑමක් සිදු වී තිබෙන බව” එක් සඟරාවක (Pediatrics) වාර්තා වෙනවා. මීට එක් හේතුවක් වන්නේ අනාචාරයේ යෙදෙන අයට අත්විඳීමට සිදු වන විපාක එනම් ලෙඩ රෝග හා අනවශ්‍ය ගැබ්ගැනීම්වල තිබෙන බරපතලකම රූපවාහිනි වැඩසටහන් තුළින් නොපෙන්වීමයි. එක් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ බොහෝ ලිංගික දර්ශන ඇතුළත් වැඩසටහන් නරඹන යෞවනියන්ගේ ගැබ්ගැනීමේ ප්‍රවණතාව එවැනි දර්ශන අඩුවෙන් නරඹන යෞවනියන්ගේ ගැබ්ගැනීමේ ප්‍රවණතාවට වඩා දෙගුණයකින් වැඩි බවයි. රූපවාහිනිය යෞවනයන් තුළ ලිංගික හැඟීම් අවුස්සන එක් මාධ්‍යයක් පමණයි. නමුත් අන්තර්ජාලය, සඟරා හා සංගීතය වැනි දේටද දැඩි අවධානයක් යොමු කළ යුතු බව පර්යේෂකයන් පවසනවා.

ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක්

එක්සත් ජනපදයේ ලාදුරු රෝගය හෙවත් හැන්සන්ගේ රෝගය සඳහා ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3,000යි. සෑම වසරකම 150දෙනෙක් පමණ මෙම රෝගීන්ගේ සංඛ්‍යාවට එකතු වෙනවා. මින් බොහෝදෙනෙක් වෙනත් රටවලින් පැමිණි අයයි. කෙසේවෙතත් ලුසියානා ප්‍රාන්තයේ බැටන් රූෂ් හි පිහිටි මධ්‍යස්ථානයේ (National Hansen’s Disease Program) “සෑම වසරකම දකුණු ලුසියානා ප්‍රාන්තයේ හා ටෙක්සාස් ගල්ෆ් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ මෙවැනි රෝගීන් 30දෙනෙකුට පමණ ප්‍රතිකාර කරනවා. මොවුන් වෙනත් රටකට කිසිදාක ගමන් කර නැති අය බව” එම රෝගය මර්ධනය කිරීමට වෙර දරන ඇමරිකාවේ සංගමයක් (American Society of Tropical Medicine and Hygiene) පවසනවා. මෙම රෝගය පැතිරෙන්නේ කෙසේද කියා පර්යේෂකයන්ට තවමත් ප්‍රශ්නයක්. මෙය කලින්ම හඳුනාගැනීමෙන් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වූවත් එම රෝගයෙන් ස්නායුවලට හානියක් වූ පසු එය සුව කළ නොහැකියි.

විකිරණශීලි ද්‍රව්‍ය අතුරුදහන් වීම

“ත්‍රස්තවාදීන් න්‍යෂ්ටික අමුද්‍රව්‍ය හෝ විකිරණශීලි අමුද්‍රව්‍ය ලබාගැනීමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා” කියා අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් පවසනවා. එම අමුද්‍රව්‍ය නැති වීම ගැන ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. වර්ෂ 2008 මුල් මාස හය ඇතුළත පමණක් එවැනි පැමිණිලි 250ක් පමණ එම අධිකාරියට ලැබී තිබෙනවා. මෙම ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් නැවත සොයාගැනීමට ලැබී නැහැ. මෙවැනි සිදු වීම්වලට හේතුව න්‍යෂ්ටික ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලුමද නැත්නම් වාර්තා කිරීමේ දෝෂයක්ද කියා නොදනියි.

ඊශ්‍රායෙලයෙන් ඉපැරණි ලියවිලි

මළ මුහුදේ ලියවිලිවලට වඩා අවුදුරු 1,000ක් පැරණි ලියවිල්ලක් ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එය තීන්තවලින් ලියවුන පේළි පහකින් යුත් මැටි කැබැල්ලක්. මෙය සොයාගනු ලැබුවේ ඊශ්‍රායෙලයේ ඛිර්බෙට් කියාෆා නගරයේ ක්‍රිස්තු වර්ෂ දහවන සියවසට අයත් යුදෙව් බලකොටුවක් අසල කළ කැණීම්වලදියි. මෙම ලියවිල්ලේ තිබෙන දේ සම්පූර්ණයෙන්ම වටහාගෙන නොතිබුණත් එය දක්ෂ ලියන්නෙකු විසින් කළ නීතිමය ලියවිල්ලක් බව විශ්වාස කරනවා. “එහි විනිසුරු, දාසයා, රජ යන යෙදුම්වලට සමාන යෙදුම් තිබෙන බව” යෙරුසලමේ හෙබ්‍රෙව් සරසවිය පවසනවා.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Gabi Laron/Institute of Archaeology/Hebrew University © Yosef Garfinkel