Skip to content

පටුනට යන්න

දෙමාපියන්ට කදිම ආදර්ශයක්

දෙමාපියන්ට කදිම ආදර්ශයක්

දෙමාපියන්ට කදිම ආදර්ශයක්

▪ දකුණු අප්‍රිකාවේ කඳුකර ප්‍රදේශයේ තිබෙන්නේ හිම මිදෙන තරම් සීතලක්. තුන්වන මහලේ තිබූ මගේ කාර්යාලයේ සිට කොළ හැලුණු ගසක් ශීත ඍතුවේ හමන තද සුළඟට ඒ මේ අත වැනෙන හැටි බලා සිටියේ එහි යමක් දුටු නිසයි. ගසෙහි බෙදුණු අත්තක කොබෙයියෙක් දින තුනක් වයසැති තම කුඩා පැටවුන් දෙදෙනෙකුව උණුසුමේ තබාගෙන සිටින අයුරු මට පෙනුණා.

කිරිල්ලි බිත්තර දැමීමට පෙර කුරුල්ලා රැගෙන ආ අතු රිකිලි ආදිය එකින් එක තබා කිරිල්ලි සවිමත් ලෙස කූඩුව තැණුවා. කුරුලු ජෝඩුව ඉතා සවිමත් ලෙස කූඩුව තැනුව නිසා තද සුළං හැමුවත් කූඩුවට හානියක් සිදු වුණේ නැහැ. උන් තැණුව කැදැල්ලේ රෑට බිත්තර රැක්කේ කිරිල්ලියි. දවල් කාලයේදී ඒ දේ කළේ කුරුල්ලායි. සති දෙකකට පසු එම බිත්තරවලින් පැටවුන් බිහි වුණා. මේ පැටවුන් තවත් සති දෙකක් ගත වීමට පෙර තනියම ඉගිලී යා හැකි තරම් ශක්තිමත් වුණා.

ඔබ කවදා හෝ කොබෙයියෙකුගේ නාදය අසා තිබෙනවාද? එය හරියට පහත් හඬින් නඟන සිනහවක් වගෙයි. මෙම කිරිල්ලිය තම පැටවුන්ට ආහාර රැගෙන එන්නේ තම ගොජුරේ පුරවාගෙනයි. එසේ ආහාර රැගෙනැවිත් ගසෙහි අත්තක වසා කිරිල්ලිය නාද කරන්නේ කුරුලු පියාට ඔහුගේ කාර්යය අවසන් බව ඇඟවීමටයි. ඉන්පසු කිරිල්ලි කුසගින්නේ සිටින පැටවුන්ව පෝෂණය කරනවා. පැටවුන්ට කැදැල්ලෙන් පිටතට ඉගිලී යෑමට හැකිකම තිබුණත් උන්ට තම ආහාර සොයාගැනීමට හැකි වන තුරු කුරුලු දෙමාපියන් උන්ව පෝෂණය කරනවා.

එම කුරුල්ලන් තම පැටවුන් රැකබලා ගන්නෙත් සහයෝගයෙන් වැඩ කරන්නෙත් උන්ට සහජයෙන් ලැබී තිබෙන හැකියාව නිසයි. එම හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙනවා. මේ දේවල් දකින විට මගේ මතකයට නැඟෙන්නේ බයිබලයේ සඳහන් මෙම වදන් පෙළයි. “යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි වෙන කිසිවක්ද නැත.”—ගීතාවලිය 86:8, නව ලොව පරිවර්තනය

යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයේ දෙමාපියන්ට දී තිබෙන මඟ පෙන්වීම් දෙවි එවන් කුරුල්ලන්ට දී තිබෙන සහජ හැකියාව තරම් විශ්වාසවන්තයි. බයිබලයේ මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ‘තම දරුවන්ට ප්‍රේම කරන්න’ කියායි. (තීතස් 2:4) පියවරුන්ට කියා තිබෙන්නේ ‘ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න’ කියායි. (එෆීස 6:4; 1 තිමෝති 5:8) දෙමාපියන් මෙලෙස ක්‍රියා කරනවා නම් ඇත්තෙන්ම එය දෙවිට ප්‍රසන්නයි.