Skip to content

පටුනට යන්න

වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව

වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව

වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව

පැවසුවේ ජොසෆින් ඉලයාස්

“භය වෙන්න එපා. එයාලා මාව මැරුවත් නැතත් මම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නවා” කියා සිරකුටියේ සිටි මගේ ස්වාමිපුරුෂයා මට පැවසුවා. මමත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගත්තා. අදටත් මට තියෙන්නේ ඒ අධිෂ්ඨානයමයි.

මම ඉපදුණේ 1916 ඉන්දුනීසියාවේ බටහිර ජාවා කඳුකරයේ තියෙන සුකාභූමි කියන කුඩා ගම්මානයේයි. මගේ දෙමාපියන් චීන ජාතිකයන්. ඔවුන් පොහොසත් අය නිසා ඔවුන්ට ලොකු නිවසක් තිබුණා. ඒ වගේම ගේදොර වැඩට සේවකයොත් හිටියා. මට අයියලා තුන් දෙනෙකුයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා. මම තමයි පවුලේ එකම ගැහැනු ළමයා. මමත් පොඩි කාලේ කොල්ලෙක් වගේ දඟ වැඩ කෙරුවා. වහලවල් උඩත් නැග්ගා. ක්‍රීඩාවටත් මම හරි ආසයි.

මගේ පාසැලේ ගුරුවරු කිව්වේ දඟ ළමයි නරකාදියට යනවා කියලයි. මමත් දඟ නිසා මට භය හිතුණා මම මැරුණාම නරකාදියට යයි කියලා. මේක මගේ හිතට ලොකු වදයක් වුණා. පාසැල් යන කාලෙදි මට අසනීප වුණා. ඒ දවස්වල මම නතර වෙලා හිටියේ ජකාර්තා නගරයේයි. වෛද්‍යවරු නම් හිතුවේ මම මැරෙයි කියලයි. ඒ වුණත් මම ස්වර්ගයට යයි කියා මම නතර වෙලා හිටිය ගෙදර අයිතිකාර කාන්තාව මාව සැනසුවා. ඒ කොහොමවුණත් මට නම් හිතුණේ මම අනිවාර්යයෙන්ම නරකාදියට යයි කියලයි.

මගේ අම්මයි ලොකු අයියා ඩුඩුයි මාව ගෙදර එක්කගෙන යන්න ආවා. ගෙදර යන ගමන් අයියා මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා දන්නවාද නිරය කියලා දෙයක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ කියලා?”

“ඔයා කොහොමද ඒක දැනගත්තේ?” කියලා මම ඇහුවා. මිය ගිය අය ඉන්නේ කිසිම දෙයක් නොදන්න තත්වයක බවත් ඔවුන්ට නැවත නැඟිටීමක් තියෙන බවත් අම්මා මට බයිබලයෙන් පෙන්නුවා. (දේශනාකාරයා 9:5, 10; යොහන් 5:28, 29) ඒවා ඉගෙනගත්තේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් කියලා අම්මයි අයියයි මට කිව්වා. මළවුන්ගේ තත්වය ගැන ලියැවිලා තියෙන පොඩි පොතක් එයාලා මට දුන්නා. * ඒ වෙලාවේදී මම ඉක්මනින්ම ඒ පොත කියෙව්වා. ගෙදරට එන්නත් කලින් “මේක තමයි සත්‍ය” කියලා මම කිව්වා.

මගේ විශ්වාසය ගැන කතා කරමින්

අපේ පවුලේ අය ඒ වෙද්දී බටහිර ජාවා ප්‍රදේශයේ විශාල නගරයක් වන බැංඩුංවල පදිංචියට ගියා. එහිදී මගේ තත්වය හොඳ අතට හැරෙන්න පටන්ගත්තා. ජකාර්තා ප්‍රදේශයේ සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික සාක්ෂිකරුවෙක් වන ක්ලෙම් ඩේෂොම්ප් 1937 මාර්තු මාසයේදී අපිව බැහැදකින්න ආවා. ඔහු පැමිණි දවස්වල මගේ අම්මත් ෆිලික්ස් සහ ඩුඩු කියන මගේ අයියලා දෙන්නත් මමත් අපේ කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම වුණා. ටික කාලයකට පස්සේ මගේ තාත්තාත් හාර්ටැන්ටෝ හා යූසාක් කියන මගේ මල්ලිලා දෙන්නත් බයිබල් සත්‍යය පිළිගත්තා. *

අපි බව්තීස්ම වුණාට පස්සේ සහෝදර ක්ලෙම් සමඟ දවස් නවයක විශේෂ දේශනා මෙහෙයුමක හවුල් වුණා. කෙටි බයිබල් පණිවිඩයක් ඇතුළත් කාඩ් පත් යොදාගෙන දේශනා කරන ක්‍රමය ඔහු අපට කියා දුන්නා. ඒ කාඩ් පත්වල භාෂා තුනකින් අපේ පණිවිඩය ලියා තිබුණා. මේ කාලයේදී අපි අපේ මිතුරන්ට හා නෑදෑයන්ටත් දේශනා කළා. වැඩි කල් යන්න කලින් බැංඩුංවල තිබුණු කුඩා කණ්ඩායම සභාවක් බවට පත් වුණා. ඒ සභාවට අමතරව ඉන්දුනීසියාවේ තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක් සභාවක් පමණයි.

ඒ වසරේ අග භාගයේදී පමණ අපේ පවුල ජකාර්තා නගරයේ වෙසෙන චීන ජාතිකයන් 80,000කට පමණ සාක්ෂි දෑරිමට එහි පදිංචියට ගියා. අම්මයි මමයි මගේ අයියා ෆිලික්ස් පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. මම බැංඩුං, සුරබයා සහ වෙනත් ප්‍රදේශවලත් සේවය කළා. හුඟක් අවස්ථාවල මම සේවය කළේ තනියමයි. තරුණ කාලයේදීම දෙවිට සේවය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒත් යුද්ධය නිසා තත්වය වෙනස් වෙන්න පටන්ගත්තා. දෙවිට තිබූ මගේ විශ්වාසය බිඳ දමන්න නොයෙකුත් පරීක්ෂා එල්ල වන බව මම දැනගෙන හිටියා.

යුද්ධ කාලයේදී පීඩා

වර්ෂ 1941 දෙසැම්බර් මාසයේදී ආසියාතික රටවල්ද දෙවන ලෝක මහා යුද්ධයට පැටළුණා. ඉන්දුනීසියාවත් ජපානයේ හමුදා පාලනයට යටත් වුණා. මේ නිසා අපේ පොත්පත් තහනම් කළ අතර ප්‍රසිද්ධියේ දේශනා කිරීමට හැකි වුණේ නැහැ. මම උනන්දුව දැක්වූ අයව හමු වෙන්න යන කොට දාම් ලෑල්ලක් අරගෙන යනවා. එතකොට කවුරුත් මාව සැක කරන්නේ නැහැ.

වර්ෂ 1943දී මම ආන්ඩ්‍රේ සමඟ විවාහ වුණා. ඔහු ඉතා නිර්භීත ගැඹුරු කටහඬක් තිබුණ දේවසේවකයෙක්. අපි දෙන්නම ජාවා නගරයේ හිටිය සාක්ෂිකරුවන්ට හොර රහසේ පොත්පත් බෙදා දුන්නා. හදිසියේවත් අපි අහු වුණා නම් අපිට දස වද දීලා මරණයට පත් කරන එක නම් ස්ථිරයි. අපි හුඟක් අවස්ථාවලදී බේරුණේ අනූනවයෙන්.

එක දවසක් අපි දෙන්නා දුම්රියට නඟින්න යන කොට ජපානයේ හමුදා භටයෙක් අපිව පරීක්ෂා කළා. මගේ ඇඳුම් බෑග් එකේ අඩියේම තිබුණේ පොත්පත්. හමුදා භටයා “බෑග් එකේ මොනවද තියෙන්නේ” කියලා ඇහුවා.

“ඇඳුම්” කියලා ආන්ඩ්‍රේ කිව්වා.

“ඇඳුම්වලට යටින් මොනවද තියෙන්නේ” කියලා ඔහු ඇහුවා.

“තවත් ඇඳුම්” කියලා ආන්ඩ්‍රේ කිව්වා.

“බෑග් එකේ අඩියේම තියෙන්නේ මොනවද?” කියා හමුදා භටයා ඇහුවා. මම හුස්මක් අල්ලලා හෙමින් යෙහෝවා දෙවිට යාච්ඤාවක් කළා. “ඔයාම පරීක්ෂා කරලා බලන්න” කියලා ආන්ඩ්‍රේ පැවසුවා.

හමුදා භටයාගේ සහයකයා බෑග් එක පරීක්ෂා කරන්න ඒක ඇතුළටම අත දැම්මා. ඔහු එකපාරටම කෑගහගෙන අත එළියට ගත්තා. ඔහුට එහෙම වුණේ ඔහුගේ අතට කටුවක් ඇනුණ නිසයි. ලැජ්ජාවට පත් වූ හමුදා භටයා අපිට එතැනින් ඉක්මනින් යන්න කිව්වා.

තව දවසක් අපි සුකාභූමි නගරයට යන කොට හමුදා භටයෙක් මම සාක්ෂිකාරියක් බව හඳුනාගෙන මට මූලස්ථානයට වාර්තා කරන්න කියා පැවසුවා. ආන්ඩ්‍රේ සහ මගේ අයියා ෆිලික්ස් මාත් එක්ක ආවා. එහිදී මුලින්ම ප්‍රශ්න කළේ ආන්ඩ්‍රේගෙන්. ඔහුගෙන් එක දිගටම මේ වගේ ප්‍රශ්න වැලක් ඇහුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කාටද? ඔයාලා ජපාන රජයට විරුද්ධව වැඩ කරනවා නේද? ඔයා මෙහෙ ආවේ ඔත්තු බලන්න නේද?”

එතකොට ආන්ඩ්‍රේ මෙහෙම පිළිතුරු දුන්නා. “අපි සියලු බලැති දෙවිගේ සේවකයෝ. අපි කාටවත් වරදක් කරලා නැහැ.” එතකොටම හමුදාවේ අණ දෙන නිලධාරියා බිත්තියේ එල්ලා තිබූ කඩුවක් ඇදලා අපේ ඉස්සරහට දික් කළා.

“මම ඔයාව දැන්මම මරලා දානවා. මොකද කියන්නේ?” කියා ඔහු කෝපයෙන් කිව්වා. ආන්ඩ්‍රේ මේසය මත ඔළුව තියාගෙන නිහඬව යාච්ඤා කළා. ඊට ටික වේලාවකට පස්සේ හමුදා නිලධාරියා මහ හයියෙන් හිනා වෙලා මෙහෙම කිව්වා. “ඔයා නම් හරිම නිර්භීතයි.” ඔහු ආන්ඩ්‍රේව නිදහස් කරලා මගෙනුයි ෆිලික්ස්ගෙනුයි ප්‍රශ්න අහන්න පටන්ගත්තා. අපි කිව්වෙත් ආන්ඩ්‍රේ කියපු දේවල්ම නිසා ඔහු කෑගහලා මෙහෙම කිව්වා. “උඹලා ඔත්තුකාරයෝ නෙවෙයි. වහාම මෙතනින් පිට වෙලා යනවා.”

අපි තුන්දෙනා හරිම සතුටෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් ගෙදර ගියා. ඉදිරියේදී මීටත් වඩා දරුණු පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

තවත් පීඩා

මාස කිහිපයකට පස්සේ ‘සහෝදරයෙක් විදියට බොරුවට මවා පෑ’ කෙනෙක් ආන්ඩ්‍රේව පාවා දුන්න නිසා ඔහුව සිරභාරයට ගත්තා. (2 කොරින්ති 11:26) මම ඔහුව බලන්න හිරගෙදරට ගියා. ඔහු හොඳටම කෙට්ටු වෙලා, දුර්වල වෙලයි හිටියේ. ඔහු කෑවේ හිරගෙදර කාණුවේ වැටිලා තිබුණු කෑමයි. ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නැති කරන්න නම් නිලධාරීන්ට හැකි වුණේ නැහැ. “භය වෙන්න එපා. එයාලා මාව මැරුවත් නැතත් මම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්නවා. මම කවදාවත් දෙවිට ද්‍රෝහි වෙන්නේ නැහැ. ඒ වගේ දෙයකට මාව පොලඹවන්න හැදුවොත් මගේ මිනිය තමයි ගෙනියන්න වෙන්නේ.” මේ ලිපියේ මුලින්ම සඳහන් වචන ඔහු මට පැවසුවේ ඒ අවස්ථාවේදීයි.

මාස හයකට පස්සේ ආන්ඩ්‍රේව ජකාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. එදා උසාවිය අපේ පවුලේ අයගෙනුයි හිත මිතුරන්ගෙනුයි පිරිලා තිබුණා. අපි හැමෝම හිටියේ භයෙන්.

“ඇයි ඔයා ජපන් හමුදාවට බැඳෙන්නේ නැත්තේ?” කියා විනිසුරු ප්‍රශ්න කළා.

“මම දැනටමත් දෙවිගේ රාජ්‍යයේ සේවය කරන සෙබළෙක්. ඒ නිසා මට හමුදා දෙකක සේවය කරන්න බැහැ” කියා ආන්ඩ්‍රේ පිළිතුරු දුන්නා.

“ඔයා අනික් අයටත් හමුදාවට බැඳෙන්න එපා කියලා කියනවාද?”

“නැහැ, ඒක ඒ අයගේ පෞද්ගලික තීරණයක්” කියලා ආන්ඩ්‍රේ පිළිතුරු දුන්නා.

ආන්ඩ්‍රේ දිගටම බයිබල් පද උපුටා දක්වමින් පිළිතුරු දුන්නා. විනිසුරු තම ආගමට ලැදි මුස්ලිම් භක්තිකයෙක් නිසා ඔහුට ආන්ඩ්‍රේ දුන් පිළිතුරු ගැන යම් පැහැදීමක් ඇති වුණා. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. “අපේ විශ්වාසයන් වෙනස් වුණාට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්න මම කාටවත් බල කරන්නේ නැහැ. මම ඔයාව නිදහස් කරනවා.”

අපි හැමෝටම ලොකු සහනයක් දැනුණා. මට දැනුණු සතුට විස්තර කරන්න වචන නැහැ. ආන්ඩ්‍රේ මගේ ළඟට ඇවිල්ලා මගේ අත තදින් අල්ලාගත්තා. අපේ පවුලේ අයයි මිතුරනුයි අපි වටේ ඉඳගෙන අපේ සතුට බෙදාගත්තා.

සැබෑ නිදහස

දෙවන ලෝක මහා යුද්ධයෙන් පස්සේ ලන්දේසි පාලනයට විරුද්ධව ඉන්දුනීසියාවේ අවුරුදු හතරක් පුරා විරුද්ධවාදිකම් පැවතුණා. දහස් සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුණා. බොහෝදෙනෙක් තමන්ගේ ගම්බිම් අත් හැර පලා ගියා. රජයට විරුද්ධව ක්‍රියා කළ කණ්ඩායම් ඔවුන්ගේ සටන් පාඨ කියන්න අපිට බල කළා. නමුත් අපි කාගෙවත් පැති ගෙන කටයුතු කරන්නේ නැහැයි කියා ඔවුන්ට පැහැදිලි කළා.

මොන තරම් කලබල තිබුණත් අපි දිගටම ගෙයින් ගෙට සේවයේ යෙදුණා. යුද්ධයට පෙර අපි භාවිත කළ බයිබලයේ පණිවිඩය අඩංගු කාඩ් පත් මෙන්ම පොත්පත් සුරක්ෂිතව තබාගෙන හිටිය නිසා අපිට ඒවා දේශනා සේවයේ යොදාගන්න පුළුවන් වුණා. ඉන්දුනීසියාවේ කලබලකාරී තත්වය ටිකක් අඩු වුණාම මමයි ආන්ඩ්‍රේයි 1948 මැයි මාසයේ සිට දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. අවුරුදු තුනකට පස්සේ ගිලියද් බයිබල් පාසැලෙන් (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සේවය සඳහා පුහුණු කරන පාසැලක්) පුහුණුව ලැබූ සාක්ෂිකරුවන් 14දෙනෙකුව ජකාර්තා ප්‍රදේශයේ සේවය කිරීම සඳහා එවා තිබීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වුණා. ඒ සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු පුහුණුව අපිට තවත් වගකීම් ඉසිලීමට මහත් ශක්තියක් ලබා දුන්නා.

වර්ෂ 1952 ජූනි මාසයේදී අපි දෙන්නට මධ්‍යම ජාවා ප්‍රදේශයේ සෙමරාංග්වල සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුද්දේ 22වෙනි ගිලියද් පාසැලට ඇතුල් වෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ පාසැලෙන් පුහුණුව ලැබූ පසු අපිට ඉන්දුනීසියාවේ ටිමෝරයේ කුපාංග් නගරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ නගරයේ කාලයක් සේවය කළ පසු දකුණු සුලවෙයි හා උතුරු සුලවෙයි නගරවල සේවය කරන්නත් අවස්ථාවක් ලැබුණා. මේ කාලයේදී අපේ සේවය නිසා අපිට ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා.

නැවතත් තහනම යටතේ

වර්ෂ 1965දී රාජ්‍ය විරෝධී කණ්ඩායමක් නිසා දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. සමහර පූජකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කොමිනියුස්ට්වාදීන් කියා හංවඩු ගහන්න පටන්ගත්තා. නමුත් අධිකාරීන් ඔවුන්ගේ එම චෝදනාව මුළුමනින්ම විශ්වාස කළේ නැහැ. පූජකයන්ද සාක්ෂිකරුවන්ට චෝදනා කිරීම අත් හැරියේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට 1976 දෙසැම්බර් 25වන දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා.

තහනම් නියෝගය පැන වූ වහාම මනැඩෝ ප්‍රදේශයේ රජයේ නීතිඥවරයා ආන්ඩ්‍රේට ඔහුව හමු වන්න කියා පණිවිඩයක් එවා තිබුණා. ඔහු ආන්ඩ්‍රේගෙන් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලා කියලා ඔයා දන්නවාද?”

“ඔව් මම දන්නවා” කියා ආන්ඩ්‍රේ පිළිතුරු දුන්නා.

“ඔයාගේ ආගම වෙනස් කරන්න ඔයා දැන් කැමතිද” කියලා නීතිඥවරයා ඇසුවා.

ආන්ඩ්‍රේ ටිකක් ඉස්සරහට නැවිලා ඔහුගේ පපුවට අත තියාගෙන උස් හඬින් මෙහෙම කිව්වා. “ඔබට පුළුවන් මගේ හදවත කපලා එළියට ගන්න. ඒත් ඔයාට කවදාවත් මගේ ආගම නම් වෙනස් කරන්න බැහැ.”

පුදුමයට පත් නීතිඥවරයා මෙහෙම ඇහුවා. “මම දැන් ඔයා ගැන වාර්තාවේ මොනවද ලියන්නේ?”

“මම තවමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බවත් මම කිසි වරදක් කර නැති බවත් ලියන්න” කියා ආන්ඩ්‍රේ කිව්වා.

“මම ඔයා ළඟ තියෙන ඔක්කොම පොත්පත් අරගන්නවා” කියා නීතිඥවරයා පැවසුවා.

එදා රෑම සාක්ෂිකරුවන් ඇවිත් අපේ ගෙදර තිබුණු ඔක්කොම පොත්පත් අරගෙන ගියා. හිස් පෙට්ටි විතරයි ඉතුරු වුණේ. අපි අපේ බයිබලය පාවිච්චි කරමින් දිගටම දේශනා කළා. ඒ නීතිඥවරයා ආයෙත් අපට කරදර කළේ නැහැ.

ලස්සන ජීවිතයක් නැවත ලැබුණා

ආන්ඩ්‍රේයි මමයි සුරබයා, ජාවා සහ සුමාත්‍රා දූපතට නිරිතදිගින් පිහිටි බැන්ග්කා දූපතේ සේවය කළා. නමුත් 1982දී අපි අසනීප වුණ නිසා නැවත ජකාර්තා නගරයේ පදිංචියට යන්න සිදු වුණා. වර්ෂ 2000දී ආන්ඩ්‍රේ මිය යන විට ඔහුට වයස අවුරුදු 85යි. ඔහු මිය යනතුරුම කඩිසර ලෙස පූර්ණකාලින සේවයේ හවුල් වුණා. ඊළඟ අවුරුද්දේදී සාක්ෂිකරුවන්ට දමා තිබූ තහනම ඉවත් කළා.

මම ගත කළේ මොන තරම් ලස්සන ජීවිතයක්ද! දැන් මට වයස අවුරුදු 93යි. මගේ කාලයෙන් අවුරුදු 70කට වඩා වැඩි කාලයක් දෙවිට පූර්ණකාලීනව සේවය කර තිබෙනවා. මම 1937දී බව්තීස්ම වෙන කොට ඉන්දුනීසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටියේ 25දෙනෙක් විතරයි. නමුත් මේ වන කොට 22,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ වර්ධනයට මටත් දායක වෙන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! ඒ වුණත් මට හිතෙන්නේ මම යෙහෝවා දෙවිට සේවය කරන්න පටන්ගත්තා විතරයි කියලයි. මගේ එකම පැතුම දෙවිට සදාකාලයටම විශ්වාසවන්තව සේවය කිරීමයි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. වෙයාර් ආ ද ඩෙඩ්? (සිංහලෙන් නැත) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

^ 9 ඡේ. ඔවුන්ගේ මුළු පවුලම දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. දැනට ජීවතුන් අතර සිටින්නේ ජොසෆින් සහ යූසාක් පමණයි. ඔවුන් ජකාර්තා නගරයේ තවමත් උද්‍යෝගයෙන් දෙවිට සේවය කරනවා.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම දැනටමත් දෙවිගේ රාජ්‍යයේ සේවය කරන සෙබළෙක්. ඒ නිසා මට හමුදා දෙකක සේවය කරන්න බැහැ”

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔයාට පුළුවන් මගෙ හදවත කපලා එළියට ගන්න. ඒත් ඔයාට කවදාවත් මගේ ආගම නම් වෙනස් කරන්න බැහැ”

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අපි ජීවත් වූ මෙන්ම දේශනා සේවයේ යෙදුණු තැන්

ඉන්දුනීසියාව

සුලවෙයි

මනැඩෝ

සුමාත්‍රා

බැන්ග්කා

ජාවා

ජකාර්තා

සුකාභූමි

බැංඩුං

සෙමරාංග්

සුරබයා

ටිමෝරය

කුපාංග්

[15වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1970 ගණන්වල ආන්ඩ්‍රේ සමඟ

[15වන පිටුවේ පින්තූර]

මට බයිබලය පිළිබඳ සත්‍යය තහවුරු වුණේ වයස අවුරුදු 15දී කියවූ මෙම කුඩා පොත නිසයි