Skip to content

පටුනට යන්න

කෝපය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

කෝපය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

යෞවන අය අසති

කෝපය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

ඔබ තුළ කෝපය ඇති වන වාර ගණන කොපමණද?

□ කොහෙත්ම නැහැ

□ මාසයකට වතාවක්

□ සෑම සතියකම

□ සෑම දවසකම

ඔබව බොහෝවිට කෝපයට පත් කරන්නේ කවුද?

□ කවුරුවත් නැහැ

□ පාසැල් මිතුරන්

□ දෙමාපියන්

□ සහෝදර සහෝදරියන්

□ වෙනත්

ඔබ තුළ නිතරම කෝපයක් ඇති වන අවස්ථාවක් ගැන පහත සඳහන් කරන්න.

□ ․․․․․

මෙම කොටුවේ අසා තිබෙන ප්‍රශ්නවලට “කවදාවත් නැහැ” හෝ “කවුරුවත් නැහැ” යන පිළිතුරුවලට ඉදිරියෙන් ✔ ලකුණ යොදන්න ඔබට හැකි නම් ඔබ සිටින්නේ ඔබේ කෝපය පාලනය කරගත හැකි තත්වයකයි.

කෙසේවෙතත් යම් පීඩනයන් යටතේ එක් එක් කෙනා ක්‍රියා කරන විදිහ එකිනෙකාට වෙනස් වන අතර ඔවුන් අතින් යම් අඩුපාඩුද සිදු විය හැකියි. “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු” කියා බයිබල් ලේඛකයෙක් වන යාකොබ්ද පැවසුවා. (යාකොබ් 3:2) සමහරවිට ඔබේ අදහස් 17 හැවිරිදි සරිනාගේ * අදහස්වලට සමාන විය හැකියි. ඇය මෙසේ පවසනවා. “මට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවට කවුරු හරි මට පොඩි දෙයක් කෙරුවත් ඇති. මට මාවම පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට මගේ කේන්තිය සමහරවිට අම්මා තාත්තා පිටින් හරි, නංගි පිටින් හරි එහෙමත් නැත්නම් බල්ලාගේ පිටින් හරි යවනවා.”

වැරදි මත බැහැර කරන්න

පාලනය කරගත නොහැකි තරම් කෝපයක් ඔබ තුළ ඇති වෙනවාද? එය පාලනය කිරීමට ඔබට හැකියි. ඒ කෙසේද කියා දැනගැනීමට පෙර ඒ පිළිබඳව තිබෙන වැරදි මත බැහැර කිරීමට පියවර ගැනීම අවශ්‍යයි.

මිථ්‍යාව: “මගේ කෝපය පාලනය කරගන්න මට බැහැ. ඒක අපේ පවුලේ හැමෝටම තියෙන දෙයක්.”

සෑබැව: ඔබේ ‘කෝපයට’ හේතුව ඔබේ පවුල, ජීවත් වන පරිසරය හෝ වෙනත් දෙයක් විය හැකියි. (හිතෝපදේශ 29:22, නව ලොව පරිවර්තනය, NW) නමුත් ඔබේ කෝපය ඔබට එය පාලනය කළ හැකියි. මේ ගැන සිතන්න. ඔබට කෝපයක් ඇති වූ විට ඔබ කෝපය පාලනය කරනවාද නැත්නම් කෝපය ඔබව පාලනය කරනවාද? බොහෝදෙනෙක් තම කෝපය පාලනය කිරීමට ඉගෙනගෙන තිබෙනවා. ඔබටත් එය කළ හැකියි.—කොලොස්සි 3:8-10.

බයිබලයේ සඳහන් උපදෙස: “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.”—එෆීස 4:31.

මිථ්‍යාව: “කේන්ති ගියාම කරන්න තියෙන හොඳම දේ තමයි ඒක හිර කරගෙන ඉන්නවාට වඩා පිට කරන එක.”

සෑබැව: කෝපය හිර කරගෙන සිටීම හා කෝපය පිට කිරීම යන දෙකම ඔබේ සෞඛ්‍යයට හානි කර විය හැකියි. යම් අවස්ථාවල ඔබට හැඟෙන දේ “නොසඟවා ප්‍රකාශ” කිරීම සුදුසුයි. (යෝබ් 10:1NW) එයින් අදහස් කරන්නේ සෑම සුළු කාරණයකටම ඉක්මනින් කෝප වීම නොවෙයි. ඔබ තුළ දැඩි කෝපයක් ඇති වුණත් ඔබගේ හැඟීම් සන්සුන්ව ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න ඔබට හැකියි.

බයිබලයේ සඳහන් උපදෙස: ‘ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. නපුර ඉවසා දරාගෙන සිටිය යුතුයි.’—2 තිමෝති 2:24.

මිථ්‍යාව: “මම ඕනෑවට වඩා ඔළුව පහත් කරන්න ගියොත් හැමෝම මගේ ඔළුවට අත හෝදයි.”

සෑබැව: ඔබ ඔබවම පාලනය කරගැනීමට දැඩි උත්සාහයක් දරනවා දකින අන් අය ඔබට තව තවත් ගෞරව කරයි.

බයිබලයේ සඳහන් උපදෙස: “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18.

කෝපය පාලනය කරන්න

“එයා මාව කේන්ති ගැස්සුවා” කියා ඔබ මේ වන තුරු අන් අයට චෝදනා කළා විය හැකියි. ඔබ එසේ පවසනවා නම් එයින් අදහස් වන්නේ ඔබව අනික් අය පාලනය කරන බවයි. නමුත් ඔබට ඔබව පාලනය කරගත හැකියි. ඒ සඳහා පහත සඳහන් යෝජනා උපකාරවත් වෙයි.

වරද පිළිගන්න. ඔබේ කෝපයට හේතුව ඔබමයි. ඒ නිසා ඔබට කෝපයක් ඇති වුණාම එයට හේතුව අන් අය කියා ඔවුන් පිට වරද පටවන්න එපා. “මාව කේන්ති ගැස්සුවේ එයා” කියා පවසනවා වෙනුවට ‘කේන්ති ගත්තේ මමයි’ කියා පිළිගන්න. එසේ ඔබ වරද පිළිගන්නවා නම් ඔබේ කෝපය පාලනය කරගත හැකියි.—ගලාති 6:5.

කල්පනාකාරීව සිටින්න. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියා බයිබලයේ පවසා තිබෙනවා. (හිතෝපදේශ 22:3NW) ඔබව කෝපයට පත් කරන දෙයක් ඕනෑම මොහොතක සිදු වෙයි යන අපේක්ෂාවෙන් සිටීම එය පාලනය කිරීමට උපකාරයක්. මේගන් නමැති යෞවනිය එය තේරුම්ගත්තා. ඒ ගැන ඇගේ අදහස මෙයයි. “මම රෑ වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ හුඟාක් මහන්සි වෙලයි. ඒ වගේ වෙලාවට මට පොඩි දේකටත් කේන්ති යනවා.” ඒ හා සමානව ඔබත් මෙසේ කල්පනා කර බලන්න. ‘මට කේන්ති යන්නේ කොයිවගේ වෙලාවටද?

ප්‍රශ්නය: ඔබට කේන්ති යන්නේ කුමන අවස්ථාවලදීද?

․․․․․

කියන්න පෙර සිතන්න. ඔබට කේන්ති ගිය විට ලොකු හුස්මක් ගන්න. උස් හඬින් කතා නොකර සන්සුන්ව කතා කරන්න. අනික් පුද්ගලයාට කෙළින්ම චෝදනා නොකර (“කාගෙන් අහලද මගේ සපත්තු දෙක ගත්තේ? ඔයා කරලා තියෙන්නේ හරිම හොර වැඩක්.”) ඔහු හෝ ඇය කළ දේ ගැන ඔබට හැඟෙන ආකාරය පැහැදිලි කරන්න. (“මම සපත්තු දෙක දාන්න යන කොට ඒක එතන නැහැ. පස්සෙයි මම දැන ගත්තේ ඔයා මටත් නොකියා සපත්තු දෙක අරගෙන කියලා. ඔයා කරපු දේ ගැන මට හරි කනගාටුයි.”)

කළ හැකි දේ: මෑතකදී ඔබ කෝප වූ අවස්ථාවක් මතක් කරගන්න.

1. කෝප වීමට හේතුව කුමක්ද?

․․․․․

2. ඒ අවස්ථාවේදී කටයුතු කළේ කෙසේද? (ඔබ කළ දේ හා කී දේ)

․․․․․

3. කෙසේ කටයුතු කරන්න තිබුණාද?

․․․․․

අත් වන ප්‍රතිඵල ගැන සිතන්න. ඔබට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් නම්:

▪ “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.” (හිතෝපදේශ 12:18NW) කේන්ති ගිය විට පවසන වචනවලින් අනිවාර්යයෙන්ම සිත් රිදවීමක් ඇති විය හැකි අතර ඔබට ඒ ගැන පසුතැවෙන්න වෙයි.

▪ “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.” (හිතෝපදේශ 29:11, NW) ඔබට කෝපය පාලනය කරගත නොහැකි වුණොත් ඉන් සිදු වන්නේ ඔබ මෝඩයෙක් බව ඔප්පු වීමයි.

▪ “සන්සුන් මනසක් ගතට සුවයකි.” (හිතෝපදේශ 14:30NW) නිතර නිතර කෝප වීම සෞඛ්‍යයට අහිතකරයි කියා ඇනීටා නම් යෞවනිය පවසනවා. “මගේ පවුලේ වැඩි දෙනෙකුට අධි රුධිර පීඩනය තියෙනවා. ඒ නිසා මම යම් පීඩනකාරී තත්වයන්ට මුහුණ දෙන කොට සන්සුන්ව ඉන්න හුඟක් උත්සාහ දරනවා.”

ඔබට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? ඔබ කියන හා කරන දේවල්වලින් අත් වන දේ ගැන සිතා බලන්න. වයස අවුරුදු 18ක් වන හෙදර් මෙසේ පවසනවා. “මම හැම තිස්සෙම මෙහෙම කල්පනා කරනවා. ‘මට මෙයත් එක්ක කේන්ති ගියොත් මොකක් වෙයිද? එයා මං ගැන මොනවා හිතයිද? අපි දෙන්නා අතර තියෙන මිත්‍රත්වයට මොකක් වෙයිද? කවුරු හරි මට ඒ විදිහට සලකනවාට මම කැමතිද?’” කෝප වූ අවස්ථාවකදී යමෙකුට කතා කිරීමට හෝ ඊ මේල් එකක් යැවීමට පෙර ඒ හා සමාන ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න.

ප්‍රශ්නය: ඔබව කෝපයට පත් කළ කෙනෙකුට ඔබත් ඔහුව කෝප කරවන පණිවිඩයක් යැවීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

․․․․․

උපකාර ලබාගන්න. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.” (හිතෝපදේශ 27:17NW) කෝප කරවන තත්වයන් යටතේ සන්සුන්ව කටයුතු කළේ කෙසේද කියා ඔබේ දෙමාපියන්ගෙන් හෝ දැනුම් තේරුම් ඇති මිතුරෙකුගෙන් අසන්න.

ඔබ ලබා ඇති දියුණුව ගැන සිතන්න. ඔබ කෝප වූ සෑම අවස්ථාවකම (1) සිදු වූ දේ (2) ඔබ ක්‍රියා කළ ආකාරය (3) ඊට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කළා නම් හොඳයි කියා ඔබට හැඟෙන ආකාරය සටහන් කරන්න. කාලයක් යන විට මුල් වතාවට වඩා කෝපය පාලනය කරගැනීමට ඔබ සමත් වී ඇති බව ඔබ තේරුම්ගනියි.

[පාදසටහන]

^ 17 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර තිබෙනවා.

සිතා බලන්න

සමහරවිට ආදර්ශවත් පුද්ගලයන් පවා යම් අවස්ථාවලදී කෝපයට පත් වී තිබෙනවා. පහත සඳහන් කර ඇති පුද්ගලයන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

▪ මෝසෙස්.—ගණන් කතාව 20:1-12; ගීතාවලිය 106:32, 33.

▪ පාවුල් හා බානබස්.—ක්‍රියා 15:36-40.

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

“මට හැඟෙන දේ ගැන පොතක ලිවීම හෝ මගේ අම්මත් එක්ක ඒ ගැන කතා කිරීම සන්සුන්ව ඉන්න මට උපකාර වෙලා තියෙනවා.”—එක්සත් ජනපදයේ ඇලෙක්සිස්.

“මම හොඳටම මානසිකව වැටිලා කියලා මට තේරුණොත් මම ගෙයින් පිට වෙලා වේගයෙන් ඇවිදිනවා. එතකොට මගේ මනස සන්සුන් වෙලා සිතුවිලිත් වෙනස් වෙනවා.”—අයර්ලන්තයේ එලිසබෙත්.

“යම් පීඩාකාරී තත්වයක් ඇති වුණාම මම මේ විදිහට හිතනවා. ‘මමත් කෑගහන්න පටන් ගත්තොත් මොකක් වෙයිද?’ එතකොට මම තේරුම් ගන්නවා කෑගහලා පලක් නැහැයි කියලා.”—ඕස්ට්‍රේලියාවේ ග්‍රේම්.

[18වන පිටුවේ කොටුව]

ඔබ දැන සිටියාද?

යෙහෝවා දෙවිද කෝප වූ අවස්ථාවන් තිබෙනවා. එසේ වීමට ඔහුට ඉතා සාධාරණ හේතු තිබූ අතර ඔහු ඒ සෑම අවස්ථාවකදීම කටයුතු කළේ නිවැරදි ආකාරයටයි.—නික්මයාම 34:6; ද්විතීය කතාව 32:4; සහ යෙසායා 48:9 බලන්න.

[19වන පිටුවේ පින්තූරය]

ඔබේ කෝපය පාලනය කරනවාද නැද්ද කියා තීරණය කළ හැක්කේ ඔබට පමණයි