Skip to content

පටුනට යන්න

ඉන්ජිනේරුවන් මවිත කළ රජෙක්

ඉන්ජිනේරුවන් මවිත කළ රජෙක්

ඉන්ජිනේරුවන් මවිත කළ රජෙක්

මීට අවුරුදු 2000කට පමණ පෙර යූදා දේශය තම රාජ්‍ය කොට ගත් ඔහු දශක තුනකට ආසන්න කාලයක් ඒ අවට ප්‍රදේශවල තම අණසක පතුරුවමින් පාලනය කළා. ඔහු වෙන කවුරුවත් නොව මහ හෙරොද් රජයි.

බොහෝදෙනා ඔහුව දන්නේ කෲර පාලකයෙකු ලෙසයි. ඊට එක් හේතුවක් නම් ඔහු තම පවුලේ සාමාජිකයන්ව ඝාතනය කිරීමයි. ඒ විතරක් නොවෙයි ඔහු අසරණ කුඩා දරුවන් ගණනාවක්ද අමු අමුවේ මරා දැමුවා. එය සිදු වුණේ මෙසේයි. යූදා දේශයේ අනාගත රජ උපත ලබා ඇති බව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් පිරිසක් හෙරොද්ට පැවසුවා. එවිට තමන්ද ඔහුට ගරුබුහුමන් කිරීමට යෑමට කැමති බව බොරුවට පවසා, දරුවා සම්බන්ධ තොරතුරු තමාටත් දන්වන්න කියා ඔහු ඔවුන්ට පැවසුවා. නමුත් දෙවි ඔවුන්ව වෙනත් පාරකින් යෑමට සැලැස් වූ නිසා හෙරොද්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වුණා. ඒ නිසා බෙත්ලෙහෙමේ සහ ඒ අවට ප්‍රදේශවල සිටින වයස අවුරුදු දෙක හා ඊට අඩු සියලුම පිරිමි දරුවන්ව මරා දමන්න කියා ඔහු අණ කළා.—මතෙව් 2:1-18.

නමුත් ඔහුගේ පාලනයේ මුල් කාලයේදී බොහෝදෙනාගේ ප්‍රසාදය දිනාගැනීමට ඔහුට හැකි වුණා. ඒ ඔහු කළ දැවැන්ත ඉදි කිරීම් ව්‍යාපෘති නිසයි. පූජනීය ස්ථාන, රංගභූමි, තුරඟ තරඟපිටි, නාට්‍ය හා රංගන ශාලා, වාරිමාර්ග මෙන්ම සුඛෝපබෝගී නාන කාමර සහිත තේජවත් මන්දිර ඊට ඇතුළත්. ඒවායෙහි පෞරාණික නටඹුන් අධ්‍යයනය කරන නවීන ඉන්ජිනේරුවන්ද එම ගොඩනැඟිලි ගැන මවිත වෙනවා.

හෙරොද් තම ඉදි කිරීම් සඳහා තෝරාගත්තේ ස්වාභාවික සුන්දරත්වයක් ඇති ස්ථානයි. ඔහු නිර්මාණ කළ මන්දිර විසිතුරු බිතුසිතුවම්වලින් හා බිත්ති මත කළ කැටයම්වලින් අලංකාර කළා. ගෙබිම් අලංකාරය සඳහා ඔහු මොසෙයික් කලාව යොදාගත්තා. රෝම ජාතිකයන් භාවිත කළ වාතයෙන් හෝ වාෂ්පයෙන් උණුසුම් කළ කාමර යූදා දේශයට හඳුන්වා දුන්නේ ඔහුයි. එමෙන්ම ඒවා උණුසුම් කිරීම සඳහා එම කාමරවල පොළොව යට විශේෂ පද්ධතියක්ද සකස් කළා. ඊට අමතරව ඔහු අංග සම්පූර්ණ නගර පවා ගොඩනැඟුවා. එයින් එකක ඔහු කෘතිම වරායක්ද ඉදි කළා.

වරාය නගරක් වූ සිසේරිය

හෙරොද් සිසේරියෙහි වරායක් ඉදි කළ අතර එය රෝම අධිරාජ්‍ය කාලයේ තිබූ විශාලතම වරායන්ගෙන් එකක්. එහි විශාලත්වය ගැන පුරාවිද්‍යාඥයන් තම විමතිය පළ කරනවා. එහි නැව් සියයක් පමණ එකවර නවතා තැබිය හැකියි. ඉන් පෙනෙන්නේ එය වරක් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව තිබූ බවයි.

ඔහු ඉදි කළ ජැටි සහ දිය කඩන හෙවත් මුහුදු රළ නවතන බැමි සඳහා ඒ කාලයේ පැවති ඉහළම තාක්ෂණය යොදාගෙන තිබෙනවා. කෙසේනමුත් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසිෆස් පවසන ලෙස සේවකයන් අඩි 50ක් දිග, අඩි 10ක් පලළ සහ අඩි 9ක් උසින් යුත් දැවැන්ත ගල් හා සමාන ඝන කුට්ටි එහා මෙහා රැගෙන ගිය ආකාරය ගැන විද්වතුන්ට තවමත් ප්‍රහේලිකාවක්. වරාය ඉදි කිරීම සඳහා භාවිත කළ එම කුට්ටි සාදා ඇත්තේ කොන්ක්‍රීට්වලින් බව මෑතකදී කිමිඳුම්කරුවන් සොයාගත්තා. ලීවලින් තැනූ පෙට්ටිවලට කොන්ක්‍රීට් පුරවා එම කුට්ටි සාදාගෙන පසුව ඒවා සවිමත් ලෙස මුහුදු පතුලට බැස්සුවා.

මනා සැලැස්මකට අනුව ඉදි කළ එම වරාය නගරයේ ඔහු සීසර් ඔගස්ටස්ට කැප කළ පූජනීය ස්ථානයක්, මාලිගාවක්, තුරඟ තරඟ සඳහා ක්‍රීඩාංගනයක්, 4,000කට අසුන් ගත හැකි රඟහලක් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා භූගත කාණු පද්ධතියක් ඉදි කළා. ඊට අමතරව එම නගරයට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි කර්මෙල් කන්දේ සිට නැවුම් ජලය ලබාගැනීම සඳහා නළ මාර්ගද ඉදි කළා.

යෙරුසලමේ කළ ඉදි කිරීම්

හෙරොද් කළ ව්‍යාපෘතීන් අතරින් ශ්‍රේෂ්ඨතම එක වන්නේ යෙරුසලමේ ඉදි කළ දේවමාලිගාවයි. එය මුලින්ම ඉදි කළේ සලමොන් රජ විසිනුයි. ඒ යෙහෝවා දෙවි ඔහුගේ පියා වූ දාවිත්ට දුන් මඟ පෙන්වීම්වලට අනුවයි. (1 රාජාවලිය 6:1; 1 ලේකම් 28:11, 12) නමුත් එය ගොඩනඟා අවුරුදු 420කට පමණ පසු බැබිලෝනිවරුන් විසින් එය විනාශ කළා. ඊට අවුරුදු 90කට පසුව යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් විසින් එය නැවතත් යම් දුරකට ගොඩනැඟුවා.

පසු කාලයේදී හෙරොද් විසින්ද එය තිබූ තැනම නැවත ඉදි කළා. ඒ ගැන ඉතිහාසඥ ජොසිෆස් මෙසේ වාර්තා කළා. “මෙම දේවමාලිගාවේ සෑම පැත්තක්ම විශාල රන් තහඩුවලින් ආවරණය කර තිබුණා. ඒ නිසා හිරු නැඟ එනවාත් සමඟම රන් තහඩුවලින් පරාවර්තනය වන හිරුරැස් නිසා ඒ දෙස බලා සිටින කෙනෙකුට ඉක්මනින්ම තම දෙනෙත් ඉන් අහකට ගැනීමට සිදු වෙනවා. ඈත සිට ඒ දෙස බලන කෙනෙකුට එහි රන්වලින් ආවරණය නොකළ කොටස් දිස් වුණේ හිමවලින් වැසුණු කඳු මුදුනක් ලෙසයි.”

දේවමාලිගාවේ පවුරු ඉදි කිරීම සඳහා දහස් ගණනක් පුරුෂයන් හවුල් වුණා. බටහිර දිගින් වූ පවුර අඩි 1,600ක් දිගින් යුක්තයි. ඒ සඳහා භාවිත කර තිබූ දැවැන්ත ගල් නැවතත් එක පිට එක තබා සම්බන්ධ කළේ කිසිම බදාම වර්ගයක් භාවිත නොකරයි. එහි එක් ගලක බර ටොන් 400කට ආසන්නයි. එමෙන්ම “එය ඉතිහාසයේ එතෙක් භාවිත කර තිබූ ගල්වලට වඩා විශාලයි” කියා එක් විශාරදයෙක් පැවසුවා. යේසුස්ගේ මුල් අනුගාමිකයන්ද ඒ ගැන පුදුම වීමට හේතුව අපට පැහැදිලියි. (මාක් 13:1) එම දේවමාලිගාව ගොඩනඟා තිබුණේ ඉතාමත් උස් බිමක් මතයි. විශාල වේදිකාවක් හා සමාන එම උස් බිම පාපන්දු ක්‍රීඩාංගන 25ක් තරම් විශාලයි.

හෙරොද් යෙරුසලමේ තවත් ගොඩනැඟිලි ඉදි කළා. දේවමාලිගාවට යාබදව තිබෙන ඇන්ටෝනියෝ නමැති බලකොටුවද ඔහුගේ ව්‍යාපෘතියක්. එමෙන්ම ඔහු මාලිගාවක් හා නගරයේ දොරටුව අසල එකිනෙකට වෙනස්, මහල් කිහිපයකින් සමන්විත කුලුනු තුනක්ද ගොඩනැඟුවා.

සමාරියේ හා යෙරිකෝවේ කළ ඉදි කිරීම්

ඔගස්ටස් සීසර් සමාරිය නගරය හෙරොද්ට තෑගි කළ අතර ඔහු එය සෙබස්ටේ ලෙස නම් කළා. එමෙන්ම එය තවත් අලංකාර කිරීමට විවිධ ගොඩනැඟිලි ඉදි කළ අතර සමාන දුරින් පිහිටා තිබෙන කුලුනු සහිත ක්‍රීඩාංගනයක්ද ඉදි කළ බවට සාක්ෂි තිබෙනවා. නානාප්‍රකාර බිතුසිතුවම් සහිතව ඔහු ඉදි කළ විශාල ගොඩනැඟිලි නිසා නගරය තවත් අලංකාර වුණා.

හෙරොද් යෙරිකෝවෙහිද බොහෝ ඉදි කිරීම් කළා. ඒ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 820ක් පමණ පහළින් නිසා ඒ අසල තිබෙන යොර්දාන් නිම්නයේ පවතින්නේ උණුසුම් දේශගුණික තත්වයක්. එමනිසා ශීත සෘතුවේ වාසය කිරීමට හෙරොද් විසින් එහි මාලිගාවක් ඉදි කළා. යෙරිකෝවේ භූමි ප්‍රමාණය අක්කර 2,500ක් වූ අතර එය උද්‍යාන නගරය කියා හැඳින්වූවා. එමෙන්ම ඔහු ඉදි කළ මාලිගා තුනක් එකට සම්බන්ධ කරමින් ඒ සෑම එකකම පිළිගැනීමේ ශාලාවක්, නාන කාමර, පිහිනුම් තටාක හා උද්‍යාන පිහිටෙව්වා. ශීත සෘතුවේදී යෙරිකෝවේ වාසය කිරීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීමට හේතුව සිතා ගත හැකියි.

බලකොටු මාලිගාවක්

ශීත සෘතුවේ වාසය කිරීමට හෙරොද්ට තවත් තැනක් තිබුණා. එය මළ මුහුදේ සිට අඩි 1,300ක් ඉහළින්, උස් කඳු මුදුනක පිහිටි මසාඩා නම් බලකොටුවයි. එය පඩි තුනක් ආකාරයට ඉදි කර තිබූ අතර ඊට මළුවක් මෙන්ම නාන තටාකද අයත් වුණා. එමෙන්ම රෝම ක්‍රමයට අනුව ඉදි කළ උණු වතුර සහිත නාන කාමර හා දියුණු වැසිකිළි පහසුකම් සහිත තවත් මාලිගාවක් ඔහු ඉදි කළා.

එම ප්‍රදේශයේ කටුක දේශගුණික තත්වයක් පැවතියත් හෙරොද් විවේක ගැනීමට විශේෂ තැනක්ද ඉදි කළා. ලීටර් ලක්ෂ හාරසියයක් දැමිය හැකි ලෙස විශාල ජල ටැංකි 12ක් ඔහු එහි ඉදි කළා. වැසි ජලය එකතු කර ගබඩා කර තැබීමට පහසුකම් එම බලකොටුවේ තිබූ නිසා වගාවන්ට මෙන්ම පිහිනුම් තටාකවලට ඇති තරම් ජලය තිබුණා.

හෙරොද් තවත් දක්ෂ නිර්මාණයක් කළා. එයත් බලකොටු මාලිගාවක්. ඔහු එය ඉදි කළේ බෙත්ලෙහෙමේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින් පිහිටි උස් කඳු මුදුනකයි. එය ඉහළ සහ පහළ ලෙස කොටස් දෙකකින් යුක්තයි. එහි ඉහළ කොටසෙහි ඉතා උස් වූ මෙන්ම මහල් පහකින් යුත් බලකොටු මාලිගාව පිහිටා තිබුණා. දැන් එහි දකින්න ලැබෙන්නේ නටබුන් පමණයි. මීට වසර දෙකකට ඉහතදී එහි ඉහළ කොටසේ තිබී හෙරොද්ගේ සොහොන් ගෙයි නටබුන් සොයාගත් බව ජාත්‍යන්තර පුවත් සේවයක් වාර්තා කළා. එමෙන්ම හෙරොද්ගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූයේ මාලිගාවේ ඉහළ කොටසෙහි බවට ජොසිෆස් වාර්තා කළ දෙය නිවැරදි බවද එම පුවත් සේවය සඳහන් කළා.

එම මාලිගාවෙහි පහළ කොටසෙහි ඊට සම්බන්ධ කළ කාමර සහ කාර්යයාල තිබූ බවද සඳහන් වෙනවා. එහි තිබූ සුවිශේෂි බව නම් විශාල තටාක හා එහි මැද රෝම ක්‍රමයට තැනූ කුලුනු සහිත උද්‍යානයක් දැකගන්න ලැබීමයි. එම තටාක නවීන දින ඔලිම්පික් ක්‍රීඩාව සඳහා යොදාගන්නා තටාක මෙන් දෙගුණයක් විශාලයි. ඒවා ජලය එක්රැස් කිරීමට භාවිත කළත් පිහිනීම හා බෝට්ටු පැදීමටද යොදාගත්තා. ඊට ජලය ලැබුණේ කිලෝමීටර් පහක් ඈතින් තිබූ උල්පතකිනුයි.

වරක් මෙහි පැමිණි සංචාරකයෙක් මෙම ප්‍රදේශයේ පිහිටීම ගැන මෙසේ පැවසුවා. “මෙතැන සිට බලද්දී නැඟෙනහිරින් අපිට මළ මුහුද දක්වා පේනවා. අපි ඉදිරියෙන්ම තියෙන මේ ප්‍රදේශය ගල් බිම් සහිත කඳු බෑවුම්වලින් පිරිලා. දාවිත් සාවුල්ගෙන් පලා ඇවිත් සුරක්ෂිතව සැඟව සිටියේ මේ පාළුකරයේයි. එසේ කිරීමට ඔහුට හැකි වුණේ ඔහු යෞවන කාලයේදී බැටළුවන් සමඟ මේ ප්‍රදේශයේ සැරි සැරූ නිසයි. සමහරවිට ඔහුත් අපි වගේම මේ කන්දට නැඟලා අවට සුන්දරත්වය විඳින්න ඇති.”

හෙරොද්ගේ ඉදි කිරීම් ව්‍යාපෘති ගැන පොත් පත් ගණනාවක් ලියැවී තිබෙනවා. ඔහුගේ එම ව්‍යාපෘතීන්ට හේතුව පිළිබඳව විවිධ මත පළ කර තිබෙනවා. සමහරුන්ගේ මතය නම් ඔහු ඒවා ඉදි කළේ කීර්ති නාමයක් ඇති කරගැනීමට හෝ දේශපාලන වාසි තකා බවයි. එක් පැත්තකින් ඔහු කෲර ඒකාධිපති පාලකයෙක් බව ඇත්තයි. ඒ වුණත් අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් තහවුරු වන්නේ ඔහු ව්‍යාපෘති රැසක් ඉදි කරමින් ඉංජිනේරුවන් මවිත කළ රජෙක් බවයි.

[25වන පිටුවේ පින්තූරය]

සිසේරිය

චිත්‍රයට නඟා ඇති අයුරු

[25වන පිටුවේ පින්තූරය]

යෙරුසලමේ මාලිගාවේ

ආකෘතියක්

[25වන පිටුවේ පින්තූරය]

හෙරොද් ඉදි කළ මාලිගාවේ

ආකෘතියක්

[26වන පිටුවේ පින්තූරය]

මසාඩා

පඩි තුනක ආකාරයෙන් ඉදි කළ මාලිගාවේ නටබුන්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[26වන පිටුවේ පින්තූරය]

ඉහළ සහ පහළ යන කොටස් දෙකකින් යුත් හෙරොද් ඉදි කළ බලකොටු මාලිගාව

කලාකරුවෙකුගේ නිර්මාණයක්

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Caesarea: Hiram Henriquez/​National Geographic Stock; Palace: Courtesy of Israel Museum, Jerusalem, and Todd Bolen/​Bible Places.com