Skip to content

පටුනට යන්න

පළමුවැන්න: නිසි දේට නිසි තැන දෙන්න

පළමුවැන්න: නිසි දේට නිසි තැන දෙන්න

පළමුවැන්න: නිසි දේට නිසි තැන දෙන්න

‘වඩා වැදගත් දේවල් සහතික කරගන්න.’—ෆිලිප්පි 1:10.

ඉන් අදහස් කරන දේ. සාර්ථක යුග දිවියක් ගත කරන යුවළක් නිතරම සැලකිලිමත් වන්නේ තමන්ට වඩා තම සහකරු හෝ සහකාරියගේ අවශ්‍යතා ගැනයි. තම රැකියාව, මිතුරන් හා නෑදෑයන්ටත් වඩා ඔවුන් වැඩි අවධානයක් දෙන්නේ ඔහුට හෝ ඇයටයි. ඔවුන් දෙදෙනා එකට කාලය ගත කරනවා වගේම දරුවන් සමඟද ප්‍රමාණවත් කාලයක් ගත කරනවා. පවුලේ සාර්ථකත්වය සඳහා කැප කිරීම් කිරීමටද ඔවුන් සූදානම්.—ෆිලිප්පි 2:4.

එය වැදගත් වීමට හේතුව. සෑම පවුලක්ම යෙහෝවා දෙවි ඉදිරියෙහි ඉතා අනර්ඝ බව බයිබලයේ සඳහන් වෙනවා. තම පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්නේ නැති කෙනෙකුව එහි විස්තර කර තිබෙන්නේ “නොඇදහිලිකරුවෙකුට වඩා නරක” කෙනෙකු ලෙසයි. (1 තිමෝති 5:8) කෙනෙක් මුලදී තම පවුලේ කටයුතු වැදගත් ලෙස සැලකුවත් පසුව එම ආකල්පය වෙනස් විය හැකියි. උදාහරණයකට එක් පවුල් උපදේශකයෙක් සඳහන් කළ දේ බලන්න. ඔහුගේ දේශනයකට සහභාගි වූ වැඩි දෙනෙකුට අවශ්‍ය වුණේ ‘තම පවුලේ අවශ්‍යතාවන් සඳහා අඩු කාලයක් වැය කර වැඩි අවධානයක් රැකියාවට ලබා දෙන්නේ කෙසේද කියා ඉගෙනගැනීමටයි.’

මෙය අත්හදා බලන්න. පහත සඳහන් ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඔබ මූලිකත්වය දෙන දේවල් ගැන හොඳින් කල්පනා කර බලන්න.

මගේ භාර්යාවට (හෝ ස්වාමිපුරුෂයාට) හෝ දරුවන්ට මා සමඟ කතා කිරීමට අවශ්‍ය විට ඒ සඳහා මම හැකි ඉක්මනින්ම ඔවුන්ට අවධානය දෙනවාද?

අන් අය සමඟ කරන කතාබහේදී, මම වැඩියෙන්ම කතා කරන්නේ මගේ පවුලේ අය සමඟ කරන දේවල් ගැනද?

මගේ පවුලේ අයට වැඩි අවධානයක් දීමට අවශ්‍ය වන විට (රැකියාවෙන් හෝ වෙනත් දෙයකින්) මට ලැබෙන අමතර වගකීම් මම ප්‍රතික්ෂේප කරනවාද?

ඊට ඔබේ පිළිතුරු ‘ඔව්’ නම් ඔබ නිසි දේට නිසි තැන දී තිබෙනවා කියා නිගමනය කළ හැකියි. නමුත් අපට අපි ගැන හැඟෙන ආකාරයෙන් පමණක් එය තීරණය කළ නොහැකියි. එම ප්‍රශ්නවලට ඔබේ පවුලේ සාමාජිකයන් ලබා දෙන පිළිතුරු ගැන කල්පනා කිරීමත් වැදගත්. මෙම ලිපි මාලාවේ සාකච්ඡා කරන අනිකුත් යෝජනා සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්තියම අදාළයි.

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. ඔබේ පවුලේ අයට මූලික අවධානය දීම සඳහා ඔබට කළ හැකි දේවල් එකක් හෝ දෙකක් සිතා බලන්න. (උදාහරණයකට වෙනත් දේවලට යොදවන කාලය අඩු කර ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හෝ දරුවන් සමඟ ඒ කාලය ගත කළ හැකි ආකාරය කල්පනා කරන්න.)

ඔබගේ අධිෂ්ඨානය ගැන පවුලේ අයට පවසන්න. එක් සාමාජිකයෙක් පවුලේ යහපත වෙනුවෙන් යම් වෙනසක් කරන විට සෙසු සාමාජිකයනුත් බොහෝවිට ඊට දායක වෙයි.

[3වන පිටුවේ පින්තූරය]

තම පවුල ගැන සැලකිලිමත් කෙනෙක් තමාගේ සහකරුට හෝ සහකාරියට මෙන්ම දරුවන්ටද වැඩි අවධානයක් දෙනවා