Skip to content

පටුනට යන්න

ප්‍රයෝජනදායකද නැත්නම් හානිදායකද?

ප්‍රයෝජනදායකද නැත්නම් හානිදායකද?

ප්‍රයෝජනදායකද නැත්නම් හානිදායකද?

රියදුරුට තම වාහනය පාලනය කරගත නොහැකි වීමෙන් එය ලයිට් කණුවක ගැටෙන්නේ එහි සිටි මඟියෙකුටද බරපතල තුවාල සිදු කරමිනුයි. රියදුරා වහාම තම ජංගම දුරකථනයෙන් කිසිවෙකු අමතා උපකාර පතයි. නමුත් එම අනතුරට හේතුව ඔබ දන්නවාද? දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සඳහා ඔහු තම ඇස් මොහොතකට ඉවතට ගැනීමයි.

ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? එවන් උපකරණ අප යොදාගන්නේ අපගේ ප්‍රයෝජනයටද නැත්නම් හානියටද යන්න අප සතු තීරණයක්. බොහෝදෙනා ආශා කරන්නේ නවීනතම තාක්ෂණික උපකරණ භාවිත කිරීමටයි. පරිගණකය ගැන මදකට සිතන්න. යම් යාන්ත්‍රික කටයුතු කරගැනීමට, අන්තර්ජාලය හරහා බැංකු ගනු දෙනු කිරීමට, යම් දේවල් මිල දී ගැනීමට මෙන්ම ඊ-මේල් පණිවිඩ යැවීම ඇතුළු දහසකුත් දේ ඒ මගින් කරගත හැකියි.

මීට දශක කිහිපයකට පෙර නම් පවුලක සාමාජිකයන් උදෑසන නිවසින් පිටව ගිය පසු නැවත ගෙදර එන තුරු එකිනෙකා සමඟ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් දැන් “ජංගම දුරකථනය නිසා තත්වය ඊට වඩා වෙනස්. විවාහක යුවළයන්ගෙන් සියයට 70ක්ම එය යොදාගෙන සෑම දවසකම එකිනෙකාගේ සුව දුක් විමසනවා. එමෙන්ම සියයට 64ක් එය උපයෝගි කරගනිමින් තමන්ගේ වැඩකටයුතු සැලසුම් කරගන්නවා. දෙමාපියන්ගෙන් සියයට 42ක්ද ජංගම දුරකථන භාවිත කරමින් දිනපතාම තම දරුවන්ගේ සුව දුක් විමසනවා” කියා එක් වාර්තාවක සඳහන් වෙනවා.—USA Today.

එහි ඇති අනතුරු හඳුනාගන්න

නවීන සංනිවේදන උපකරණ භාවිතයෙහි ඇලීගැලී සිටීමෙන් මානසිකව හා ශාරීරිකව හානි සිදු විය හැකිද? එය තේරුම්ගැනීමට අලුත විවාහ වූ යුවළකගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් “රිය පදවන විට, ව්‍යායාම් කරන ස්ථානයේදී විතරක් නෙමෙයි එකම ගෙදර ඉඳලත් කතා කරන්නේ දුරකථනයෙන්මයි.” සාමාන්‍යයක් හැටියට මේ දෙදෙනා මාසයකට පැය 66කට වඩා දුරකථනයෙන් කතා කරනවා. ඔවුන් පවසන්නේ ජංගම දුරකථනය නැතුව කිසිම දෙයක් කරන්න බැරි බවයි. ඒ ගැන එක් වෛද්‍යවරයෙක් පැවසුවේ “මේ දෙදෙනා ඒකට ඇබ්බැහි වෙලා තියෙන බවට මේක හොඳම සාක්ෂියක්” කියායි.

ඒ වගේ අයත් සිටිනවාද කියා ඔබට සිතෙන්න පුළුවන්. ඔව්, බොහෝදෙනා අතර එවැනි රැල්ලක් තිබෙනවා. ජංගම දුරකථනය නැතුව අඩුම තරමින් පැයක් ඉන්නවා කියන එක ඔවුන්ට හිතාගන්නවත් බැරි දෙයක්. විසි ගණන්වල පසුවන තරුණියක් ඒ ගැන මෙසේ පැවසුවා. “අපිට හැම තිස්සේම ඕනේ ඊ-මේල් බලන්නයි, අන්තර්ජාලයට යන්නයි, යාළුවන්ට කෙටි පණිවිඩ යවන්නයි. මේවා කරන්නේ නැතුව නම් අපිට ඉන්න බැහැ.”

ඔබ එවන් උපකරණවලට ඇබ්බැහි වෙලා නම් “ඉන් සිදු වන්නේ ඔබගේ කාලය වැඩි වැඩියෙන් ඊට වැය වීම හා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් පසකට තල්ලු වීමයි. එමෙන්ම ඔබ අනතුරුදායක තත්වයක පසුවන බවට එය පැහැදිලි සාක්ෂියක්” කියා වෛද්‍ය බ්‍රයන් යොන් පවසනවා. ඒ විතරක් නෙවෙයි, පැය ගණන් එවැනි උපකරණ සමඟ ගතකරන අයට ප්‍රමාණවත් ව්‍යායාම නොලැබෙන නිසා හෘදයාබාධ, දියවැඩියාව හෝ වෙනත් බරපතල රෝග ඇති වීමේ අවධානමක ඔවුන් පසු වෙනවා.

තවත් භයානක පැත්තක් නම් එහි ප්‍රතිඵල ක්ෂණිකව අද්දකින්න සිදු වීමයි. නිදසුනකට රිය පදවන අතරතුර ජංගම දුරකථනය භාවිතය නිසා සිදු වී තිබෙන හානි, බීමත්ව රිය පැදවීමෙන් අත්වන ප්‍රතිඵල තරම්ම භයානක බව එක් අධ්‍යයනයකින් හෙළි වුණා. රිය පදවන අතරතුර කෙටි පණිවිඩ යැවීමද ඉතා අනතුරුදායක විය හැකියි. එක් සමීක්ෂණයකින් හෙළි වුණේ වයස අවුරුදු 16ත් 27ත් අතර රියදුරන්ගෙන් සියයට 40ක් පමණ එසේ කරන බවයි. පුද්ගලයන් 25දෙනෙකුට මරු කැඳවමින් 2008දී එක්සත් ජනපදයේ සිදු වූ දුම්රිය අනතුරට හේතුව වූයේ එහි රියදුරු ඊට තත්පර කිහිපයකට පෙර කෙටි පණිවිඩයක් යෑවීම සඳහා තම ජංගම දුරකථනය භාවිත කර තිබීමයි. අනතුර වන විට දුම්රියේ තිරිංග තද කිරීමටවත් ඔහුට හැකි වී නැහැ. ඔබ රිය පදවන අතරතුර ජංගම දුරකථනය භාවිත කිරීම නිසා අනතුරක් සිදු වුණා කියා සිතන්න. පොලිස් නිලධාරීන් සහ රක්ෂණ නියෝජිතයන් සමහරවිට ඔබගේ දුරකථනය පරීක්ෂා කළ හැකියි. එවිට අනතුර සිදු වීමට ආසන්න කාලයේදී ඔබ එය භාවිත කර තිබුණා නම් එය බරපතල දඬුවමකට හේතුවක් විය හැකියි! *

වර්තමානයේ දරුවන් බොහෝමයක් සතුව ජංගම දුරකථන, පරිගණක මෙන්ම විනෝදය සඳහා භාවිත කරන වෙනත් තාක්ෂණික උපකරණ තිබෙනවා. එමනිසා ඒවා ඥානවන්තව මෙන්ම පාලනයකින් යුතුව භාවිත කිරීමට ඔවුන් ඉගෙනගැනීම අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද? ඊට පිළිතුරු සඳහා ඊළඟ ලිපිය බලන්න.

[පාදසටහන]

^ 9 ඡේ. බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට උත්සාහ කරන අය තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතය අනතුරේ දැමිය හැකි ඕනෑම දෙයකින් වැළකී සිටිය යුතුයි.—උත්පත්ති 9:5, 6; රෝම 13:1.

[5වන පිටුවේ පින්තූරය]

මෙවන් උපකරණ භාවිතය නිසා ඔබගේ කාලය නාස්ති වෙනවාද?