Skip to content

පටුනට යන්න

වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද?

වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද?

බයිබලයෙන් පිළිතුරක්

වෛර කරන අයට ප්‍රේම කරන්න අපිට පුළුවන්ද?

“මම ඔබට කියමි: ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.”—මතෙව් 5:44, 45.

ඔබ සිතන්නේ කුමක්ද? අද තිබෙන ආගම් මිනිසුන්ව පොලඹවන්නේ එකිනෙකා සමඟ ප්‍රේමයෙන් හා සාමයෙන් සිටීමටද? එසේත් නැත්නම් එකිනෙකාට වෛර කිරීමට හා සැහැසික ක්‍රියාවල යෙදීමටද? බොහෝදෙනා එකඟ වන්නේ දෙවනුවට සඳහන් කළ කාරණය සමඟයි. ඒ වුණත් ‘දෙවිගේ පුත්‍රයන්’ එනම් දෙවි මෙන් අන් අයට ප්‍රේම කරන අය, තමන්ට වෛර කරන අයටත් ප්‍රේම කරන බව යේසුස් පැවසුවා.

ඒ වගේම දෙවිගේ තවත් සේවකයෙක් මෙසේද පැවසුවා. ‘ඔබේ සතුරා බඩගිනිව සිටිනවා නම්, ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම්, ඔහුට බොන්න යමක් දෙන්න. නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.’ (රෝම 12:20, 21) නමුත් මෙතරම් වෛර සහගත ලෝකයක එවන් ප්‍රේමයක් පෙන්වන අය සිටිනවාද? ඔව් කියා නොබියව පවසන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හැකියි. ඔවුන් ආදර්ශයට ගන්නේ යේසුස්ව හා ඔහුගේ අනුගාමිකයන්වයි. එය තේරුම්ගැනීමට එදා ඔවුන් කටයුතු කළ ආකාරය දැන් අපි සලකා බලමු.

ඔවුන්ට විරුද්ධ වූ අයට පවා ප්‍රේම කළා

යේසුස්, යෙහෝවා දෙවි ගැන ජනයාට සත්‍යය ඉගැන්වූ අතර බොහෝදෙනෙක් ඊට හොඳින් සවන් දුන්නා. තවත් අය ඔහුට සවන් නොදුන් අතර ඔහුට විරුද්ද වූ අයද සිටියා. (යොහන් 7:12, 13; ක්‍රියා 2:36-38; 3:15, 17) ඒ වුණත් යේසුස් එම ජීවිත ගලවන පණිවිඩය තමාට වෛර කළ අය ඇතුළු සියල්ලන්ටම දිගටම ප්‍රකාශ කළා. (මාක් 12:13-34) ඒ ඇයි? ඔවුන්ගෙන් කිහිපදෙනෙකු හෝ තම ජීවිත වෙනස් කරගෙන බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වන බව ඔහු දැන සිටියා.—යොහන් 7:1, 37-46; 17:17.

එමෙන්ම යේසුස්ට වෛර කළ, ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි අයටද ඔහු ප්‍රේමය පෙන්නුවා. පේතෘස් විසින් ඔවුන්ගෙන් කෙනෙකුට තුවාල සිදු කළා. පසුව යේසුස් ඒ පුද්ගලයාව සුව කළ අතර ඒ අවස්ථාවේදී වැදගත් දෙයක් පැවසුවා. “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය.” (මතෙව් 26:48-52; යොහන් 18:10, 11) ඔව්, එය අද දක්වා සිටින ඔහුගේ අනුගාමිකයන් අදාළ කරගන්නා ඉතා වටිනා ප්‍රතිපත්තියක්. ඊට අවුරුදු 30කට පසු පේතෘස් මෙවැනි දෙයක් ලිව්වා. ‘ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, තමන්වම [දෙවිට] භාර දුන්නේය.’ (1 පේතෘස් 2:21, 23) යේසුස්ගේ අනුගාමිකයන් තමන්ට වෛර කරන අයටත් ප්‍රේම කළ යුතු බව පේතෘස් හොඳින් අවබෝධ කරගත්තා. ඒ බව ඔහු ලියූ එම දෙයින් පැහැදිලියි.—මතෙව් 5:9.

යේසුස්ගේ “අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන” සියලුදෙනාම ඔහු මෙන් ප්‍රේමණීය හා කාරුණික අය විය යුතුයි. එමෙන්ම ‘ස්වාමීන්ගේ [යේසුස්ගේ] දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත කියාත් ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය බවත් නපුර ඉවසා දරාගත යුතු’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 2:24) යේසුස්ගේ අනුගාමිකයන්ගේ ජීවිත තුළ එවන් ගුණාංග තිබිය යුතු අතර සාමය ඉන් එක් ගුණාංගයක්.

ක්‍රිස්තුස්ගේ සාමකාමී තානාපතියන්

යේසුස්ගේ අනුගාමිකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන පාවුල් නමැති බයිබල් ලේඛකයා පැවසූ දෙයින්ද අපට තවත් දේවල් ඉගෙනගත හැකියි. ඔහු මෙසේ පැවසුවා. “අපි ක්‍රිස්තුස් වෙනුවට තානාපතියන් වන්නෙමු. අපි ක්‍රිස්තුස් වෙනුවට පෙනී සිටින්නන් ලෙස, ‘දෙවි හා සමඟි වන්න’ යයි අයැදිමු.” (2 කොරින්ති 5:20) සාමාන්‍යයෙන් තානාපතියන් ඔවුන් සිටින රටේ දේශපාලන හා යුදමය කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. ඔවුන්ගේ කාර්යය වන්නේ තම රට නියෝජනය කරමින් එහි දියුණුව උදෙසා කටයුතු කිරීමයි.

යේසුස්ගේ අනුගාමිකයන්ද තානාපතියන් හා සමාන කාර්යයක් කරනවා. දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ව පිළිගන්නා ඔවුන් එම රාජ්‍ය ගැන ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (මතෙව් 24:14; යොහන් 18:36) ඔවුන්ගේ කාර්යය පිළිබඳව පාවුල් මෙසේ පැවසුවා. ‘අප යුද්ධ කරන්නේ මාංසික ලෙස නොවේ. මන්ද, අප කරන යුද්ධයේ ආයුධ මාංසික ඒවා නොව, දෙවි නිසා බලවත් වූ ඒවාය. දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව පැනනැඟුණු සියලු උඩඟු දේවල් හා තර්ක බිඳ හෙළන්න’ ඒවාට හැකියි.—2 කොරින්ති 10:3-5; එෆීස 6:13-20.

පාවුල් එම වචන ලියූ කාලයේදී බොහෝ ක්‍රිස්තියානීන් විවිධ විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. ඔවුන්ට සතුරුකම් කළ අයගෙන් පළිගැනීමට හෝ එකට එක කිරීමට ඔවුන්ටද හැකියාව තිබුණා. නමුත් ඒ වෙනුවට ඔවුන් තම විරුද්ධවාදීන්ට පවා එම ශුභාරංචිය ප්‍රකාශ කරමින් දෙවි සමඟ සමගි වෙන්න කියා ආරාධනා කළා. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “තමන්ට සතුරුකම් කළ අයට පවා ප්‍රේම කරන්න කියා යේසුස් ඉගැන්වූ ප්‍රතිපත්තිය නිසා ඔහුගේ මුල් අනුගාමිකයන් හමුදාවට බැඳීම හෝ තවත් පිරිසකට විරුද්ධව යුද්ධ කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.” *

මුල් ක්‍රිස්තියානීන් මෙන් අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දේවරාජ්‍යයයේ රජු ලෙස යේසුස්ව පිළිගන්නවා. එමෙන්ම පොළොවට සදාකාලික සාමය හා සුරක්ෂිතභාවය ලැබෙන්නේ එම රාජ්‍යයයෙන් බවත් ඔවුන් පිළිගන්නවා. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) එමනිසා ඔවුන් එම රාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද ගැන අන් අයට පවසනවා. ඒ අතරම ඔවුන් තමන් ජීවත් වන රටෙහි ආණ්ඩුවලට කීකරු වෙමින් යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට උත්සාහ කරනවා. දෙවිගේ ප්‍රමිති නොකැඩෙන තාක් කල් ඔවුන් එම ආණ්ඩුවලට යටත් වෙනවා.—ක්‍රියා 5:29; රෝම 13:1, 7.

නමුත් මුල් ක්‍රිස්තියානීන් මෙන් මොවුන්වත් වරදවා වටහාගැනීම නිසා ඔවුන් බොරු චෝදනාවලට හා විවිධ හිරිහැරවලට ලක් වී තිබෙනවා. ඒ වුණත් ඔවුන් ඒ අයගෙන් පළිගැනීමට නම් උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” උත්සාහ කරන අතර ඔවුන්ට විරුද්ධ වන අයගෙන් කිහිපදෙනෙක් හෝ දෙවි ගැන ඉගෙනගෙන දේවරාජ්‍යය යටතේ ආශීර්වාද ලබයි යන්න ඔවුන්ගේ බලාපොරොත්තුවයි. *රෝම 12:18; යොහන් 17:3.

[පාදසටහන්වල]

^ 13 ඡේ. එම විශ්වකෝෂයේම මෙසේද සඳහන් වෙනවා. “කොන්ස්ටන්ටයින්ගේ පාලනයට පෙර (ක්‍රිස්තු වර්ෂ 306-337) සිටි ක්‍රිස්තියානි ලේඛකයන් යුද්ධ කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දැක්කා.” නමුත් සැබෑ දෙවිට නමස්කාර කිරීම අත්හැර ගිය අය වර්ධනය වෙත්ම එම ආකල්පය වෙනස් වීමට පටන්ගත්තා.—ක්‍රියා 20:29, 30; 1 තිමෝති 4:1.

^ 15 ඡේ. මුල් සියවසේ ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අවශ්‍ය විට තම ආගමික නිදහස වෙනුවෙන් නීතිමය පියවර ගන්නවා.—ක්‍රියා 25:11; ෆිලිප්පි 1:7.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ක්‍රිස්තියානීන් තමන්ට වෛර කරන්නන්ට සැලකිය යුත්තේ කෙසේද?—මතෙව් 5:43-45; රෝම 12:20, 21.

▪ පීඩා හමුවේ යේසුස් කටයුතු කළේ කෙසේද?—1 පේතෘස් 2:21, 23.

▪ මුල් ක්‍රිස්තියානීන් යුද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේ ඇයි?—2 කොරින්ති 5:20; 10:3-5.