Skip to content

පටුනට යන්න

ලොකු පොඩි සැමට අවශ්‍ය සෙනෙහස

ලොකු පොඩි සැමට අවශ්‍ය සෙනෙහස

ලොකු පොඩි සැමට අවශ්‍ය සෙනෙහස

මුල් වරට මව් පදවිය ලැබූ මවක් තම නිවුන් දරුවන්ව හදා වඩා ගන්නා හොඳම ආකාරය ගැන ළමා මනෝචිකිත්සකවරයෙකුගෙන් විමසුවා. ඔහුගේ පිළිතුර වුණේ මෙයයි. “ඔවුන්ට වැඩි වැඩියෙන් ආදරය හා සෙනෙහස පෙන්වන්න. එය කළ හැකි ආකාර බොහොමයක් තිබෙනවා. ඔවුන්ව ආදරයෙන් තුරුළු කරගෙන සිප වැලඳගන්න. ඔවුන්ව තේරුම්ගන්න, සතුටින් තබන්න, ත්‍යාගශීලීවන්ත වන්න. එමෙන්ම සමාව දෙන්න. අවශ්‍ය විට සුදුසු අයුරින් හික්මවන්න. ඔබ ඔබේ දරුවාට ආදරය හා සෙනෙහස පෙන්වන්නේ නැතුව ඔවුන් ඔබේ ආදරය තේරුම්ගනී කියා නම් බලාපොරොත්තුවෙන්න එපා.”

ඔහුගේ අදහස සත්‍යය බව ඇමරිකාවේ එක් ආයතනයක අධ්‍යක්ෂිකා වන ටිෆනි ෆීල්ඩ් පැවසූ දෙයින්ද තහවුරු වෙනවා. ඇය පැවසුවේ “දරුවෙකුගේ මනා වර්ධනයට ආහාර හා ව්‍යායාම අවශ්‍ය වන්නා සේම ඔහුව ආදරයෙන් වැලඳගැනීමත් අත්‍යවශ්‍යයි” කියායි.

එය අවශ්‍ය දරුවන්ට පමණක්ද? නැහැ. අප කුමන වයසක පසුවුණත් අපගේ මානසික සුවය සඳහා අන් අයගේ ප්‍රශංසාව, දිරිගැන්වීම වගේම ස්පර්ශ කිරීම හා වැලඳගැනීම අවශ්‍ය බව මනෝ වෛද්‍ය ක්ලව්ඩි ස්ටේන කළ සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. වැඩිහිටි නිවාසයක සේවය කරන සාත්තු සේවිකාවක් වන ලෝරාද එය මෙසේ තහවුරු කරනවා. “මම මෙහේ ඉන්න මහලු අයව ආදරයෙන් ස්පර්ශ කර ඔවුන්ට කරුණාවෙන් සලකද්දී ඔවුන් තුළ විශාල වෙනසක් මම දකිනවා. මම එහෙම කරද්දී ඒ අය කැමැත්තෙන්ම මම කියන දේ කරනවා. අනික් අතට මම ඔවුන්ට ගරු කරනවා කියලත් ඔවුන් තේරුම්ගන්නවා.”

ආදරය හා සෙනෙහස පෙන්වීමෙන් එය ලබන පුද්ගලයා වගේම පෙන්වන පුද්ගලයාත් ප්‍රයෝජන ලබනවා. වරක් යේසුස්ද එය මෙසේ තහවුරු කළා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) ආදරය හා සෙනෙහස මෙන්ම කාරුණික ස්පර්ශය අවශ්‍ය කරන විශේෂ පිරිසක් සිටිනවා. ඔවුන් නම් මානසික පීඩනයෙන්, කනස්සල්ලෙන් හෝ බියෙන් පසු වන අයයි. එවැනි අය උපකාර ලැබූ බොහෝ අවස්ථා ගැන බයිබලයේද සඳහන් වෙනවා.

එක් අවස්ථාවකදී සමාජයෙන් කොන් කර තිබූ ලාදුරු රෝගියෙකුව යේසුස් කාරුණිකව ස්පර්ශ කරමින් සුව කළා. යේසුස් දැක්වූ දයානුකම්පාව ගැන ඒ අසරණ තැනැත්තාට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!—ලූක් 5:12, 13; මතෙව් 8:1-3.

දානියෙල් නමැති මහලු මිනිසාද දුර්වලව සිටි අවස්ථාවකදී දෙවිගේ දූතයෙකු පැමිණ ඔහුව දිරිගන්වමින් තුන්වරක්ම ඔහුව ස්පර්ශ කළා. මානසිකව හා ශාරීරිකව අධික වෙහෙසට පත්ව සිටි ඔහුට අවශ්‍යව තිබූ එම දිරිගැන්වීම ලැබීමෙන් ඔහු නැවතත් ශක්තිමත් වුණා.—දානියෙල් 10:9-11, 15, 16, 18, 19.

එක් අවස්ථාවකදී දෙවිගේ සේවකයෙක් වූ පාවුල්ව හමු වීමට ඔහුගේ මිතුරන් පිරිසක් එෆීසයේ සිට මිලේටසය නමැති නගරයට කිලෝමීටර් 50ක් පමණ දුර ගෙවාගෙන පැමිණියා. ඔවුන් තමන්ව නැවත නොදකින බව පාවුල් එහිදී ඔවුන්ට පැවසුවා. එවිට ඔවුන් ඔහුගේ “බෙල්ල බදාගෙන ඔහුව ආදරයෙන් සිඹගත්” විට ඔවුන් පාවුල්ට දැක්වූ සෙනෙහස ඔහුට මොන තරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද!—ක්‍රියා 20:36, 37.

එකිනෙකාට ආදරය හා සෙනෙහස පෙන්වීමේ වැදගත්කම ගැන මෑතකදී කරන ලද පරීක්ෂණවලින් අවධාරණය කරන අතර බයිබලයේද එය තහවුරු කර තිබෙනවා. අප එම සෙනෙහස අද්දකින විට ශාරීරිකවත් මානසිකවත් ලබන සහනය කියා නිම කළ නොහැකියි. එමනිසා ආදරය හා සෙනෙහස ලැබීමේ අවශ්‍යතාව තිබෙන්නේ දරුවන්ට පමණක් නොවන බව අප මතක තබාගනිමු.