Skip to content

පටුනට යන්න

ඔබ වැඩවලින් හෙම්බත් වෙලාද?

ඔබ වැඩවලින් හෙම්බත් වෙලාද?

ඔබ වැඩවලින් හෙම්බත් වෙලාද?

පවුලේ කටයුතු හා රැකියාව සමබරව කරගෙන යෑම අද බොහෝදෙනාට විශාල ගැටලුවක්. ඊට හේතුව එක් වාර්තාවක සඳහන් වන්නේ මෙසේයි. ‘ගෝලීයකරණය, නවීන තාක්ෂණය, අධික වැඩ හා දැඩි මානසික පීඩනය නිසා පවුලට හා රැකියාවට දිය යුතු නිසි තැන දැන් වෙනස් වී තිබෙනවා.’ එවන් වෙනස් වීමක් තුළින් මිනිසුන්ට විශාල ධනස්කන්ධයක් උපයාගැනීමට හැකි වී තිබුණත් එහි අනිසි ප්‍රතිඵල ඔවුන් අද්දකිනවා. එක් කර්තෘවරයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “ලොව පුරා බොහෝදෙනෙකුට ඔවුන්ගේ රැකියා ස්ථානයේ කරගන්න බැරි තරම් වැඩ ගොඩ ගැහිලා. ඒ නිසා ඔවුන් ඉන්නේ හොඳටම හෙම්බත් වෙලයි.”

ඒත් සමඟම මෑතකදී මුළු ලෝකයම මුහුණ දුන් ආර්ථික බිඳ වැටීම නිසා කාර්යාලවල මෙන්ම ක්ෂේත්‍රයේ වැඩ කරන බොහෝදෙනෙකුට ඔවුන්ගේ රැකියා සහ උන්හිටි තැන් පවා අහිමි වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පහත සඳහන් තත්වයන් ගැන සලකා බලන්න.

▶ යුරෝපයේ ජීවත් වන දහදෙනෙකුගෙන් හයදෙනෙකුම රැකියා ස්ථානයේ වැඩ නිසා මානසික පීඩනයෙන් පෙළෙනවා.

▶ ඇමරිකාවේ ජීවත් වන තුන්දෙනෙකුගෙන් එක් අයෙක් තමන් අධික වැඩවලින් වෙහෙසට පත් වී සිටින බව පවසනවා.

▶ කැනඩාවේ ජීවත් වන ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකට රැකියාව හා පවුලේ කටයුතු සමබරව කරගෙන යෑම දුෂ්කර වී තිබෙනවා.

▶ ලොව පුරා වැඩ කරන ජනයාගෙන් සියයට 22ක් එනම් මිලියන 600ක්ම සතියකට පැය 48කට වඩා රැකියාවේ නියැලෙනවා.

එම වාර්තාවලින් පෙනෙන්නේ මිනිසා මුහුණ පා තිබෙන දුක්මුසු තත්වයයි. එවන් අධික වැඩ නිසා සෞඛ්‍ය දුර්වල වීම, පවුල් බැඳීම් කඩාකප්පල් වීම, දරුවන්ට නිසි පුහුණුවක් නොලැබීම මෙන්ම වෙන් වීමට හා දික්කසාදයට මඟ පාදන බව අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙනවා.

ඔබත් රැකියාව නිසා පීඩා විඳින කෙනෙක්ද? නැත්නම් මිලියන ගණනක්දෙනා මෙන් රැකියාවක් නොමැතිව සිටින කෙනෙක්ද? රැකියාවක් කරන අතරතුර පවුලේ කටයුතුවලටත් හොඳ අවධානයක් දෙන්නේ කෙසේද කියා ඔබ දැනගන්න කැමතිද?

[3වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“දෙවන වැඩ මුරය”

රැකියාවක යෙදෙන කාන්තාවක් මෙසේ පැවසුවා. “මම වැඩ ඇරිලා ගෙදර ආව ගමන් රෑ කෑම හදන්න ඕනේ. ගෙවල් අස් කරන්න ඕනේ. ඒ මදිවට ඇඳුම් හෝදන්නත් ඕනේ. ඊට පස්සේ ළමයින්ව පන්තිවලින් අරගෙන ඇවිල්ලා එයාලාගේ ඉස්කෝලේ වැඩවලට උදව් කරන්න ඕනේ. එයාලට කවලා පොවලා නිදි කරවන්න ඕනේ. ඒවා ඔක්කොම කරලා ඉවර වෙද්දී මට නැඟිට ගන්නවත් පණ නැහැ.” ඔව්, ලොව පුරා සිටින බිලියන 1.2ක් වන රැකියාවල නියුතු කාන්තාවන් බොහෝදෙනෙකුගේ අද්දැකීම එයයි. බොහෝ පුරුෂයන් මෙන් ඔවුන්ද වෙහෙසී වැඩ කරනවා. නමුත් සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ පුරුෂයන් ගෙදරදොරේ වැඩ කරන්න එතරම් කැමැත්තක් නොදක්වන බවයි. එහෙත් කාන්තාවන්ට නම් රැකියාවක් කළත් නැතත් ගෙදරදොරේ වැඩ කරන්න සිදු වෙනවා.