Skip to content

පටුනට යන්න

රැකියාව ගැන සමබරව සිතන්න

රැකියාව ගැන සමබරව සිතන්න

රැකියාව ගැන සමබරව සිතන්න

දැඩි ආර්ථික පරිහානියකට මුහුණ දෙමින් සිටින මේ කාලයේ බොහෝදෙනාගේ මූලිකම ඉලක්කය වන්නේ හොඳ රැකියාවක් සොයාගැනීමයි. නමුත් දහස් ගණනකට ඔවුන්ගේ රැකියා අහිමි වන මේ කාලයේ එය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඔබටත් හදිසියේම ඔබේ රැකියාව අහිමි වුණා නම් ඉක්මනින්ම අලුත් රැකියාවක් සොයාගැනීම අභියෝගයක් විය හැකියි.—8වන සහ 9වන පිටුවල ඇති කොටු බලන්න.

නමුත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ග්ලෙන් මෙවැනි දෙයක් පවසනවා. “කෙනෙක් රැකියාවේ වැඩිපුර කාලයක් ගත කළේ නැහැ කියා ඔහු මිය යන මොහොතේ කනගාටු වෙන්නේ නැහැ.” ජීවත් වෙන්න රැකියාවක් අවශ්‍යයි. නමුත් ජීවිතය කියන්නේ රැකියාවම නෙවෙයි. හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම, විනෝද වීම, ආගමික කටයුතුවල හවුල් වීම වැනි දේවලුත් ජීවිතයට අත්‍යවශ්‍යයි. එසේනම් ඒ දේවලුත් සමඟ ඔබේ රැකියාව සමබරව කරගෙන යන්න ඔබට පුළුවන් කොහොමද?

ඔබ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න

පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේවල් සැපයීම සඳහා මහන්සි වී වැඩ කරන්න කියා පවුල් මූලිකයන්ට බයිබලයේ දිරිගන්වා තිබෙනවා. (එෆීස 4:28) ඒ වගේම ‘අප වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳිමින් කා බී සතුටින් සිටින්න’ කියාත් එහි සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:13) නමුත් කිසිම විවේකයක් නැතුව වැඩ කිරීමෙන් සිදු වන්නේ ඔබේ ජීවිතයේ සතුට අහිමි වීමයි. එමෙන්ම ඉන් ඔබ බරපතළ ලෙස අසනීප වීමටද ඉඩ තිබෙනවා.

එක දිගට බොහෝ වේලාවක් වැඩ කිරීමෙන් තරබාරු වීම, මත්පැන්වලට ඇබ්බැහි වීම, හෘදය රෝග, රැකියා ස්ථානයේ සිදු වන අනතුරු, ඖෂධවලට ඇබ්බැහි වීම, කනස්සල්ල, තෙහෙට්ටුව හා මානසික පීඩනය වැනි තත්වයන්ට ගොදුරු විය හැකි බව සොයාගෙන තිබෙනවා. අධික වැඩ ජීවිත හානිවලටද හේතු වෙයි. ජපානයේ වාර්ෂිකව රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව හා සමාන සංඛ්‍යාවක් එනම් 10,000ක් පමණ අධික වැඩ හේතුවෙන් මිය යන බව වාර්තා වෙනවා. එම තත්වය වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

නමුත් ඊට වෙනස්ව බයිබලයේ දී ඇති මෙම උපදෙස මොන තරම් ඥානවන්තද කියා බලන්න. “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.” (දේශනාකාරයා 4:6) ඔව්, වැඩ කිරීමේදී සමබර වීම ඉතා වැදගත්. ඒ නිසා ඔබේ ශාරීරික හා මානසික ශක්තිය රැකියාව සඳහා පමණක්ම වැය කරන්න එපා. ඒ වෙනුවට ඔබට අවශ්‍ය විවේකය ලබාගැනීමටද අමතක නොකරන්න. එමෙන්ම ඔබ කරන වැඩවලින් සතුටක් ලබන්නත් උත්සාහ කරන්න.

තිදරු පියෙක් වන ඇන්ඩෘ මෙහෙම කියනවා. “ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕනේ. නමුත් අපි ජීවත් වෙන්නේ රැකියාවක් කරන්න නෙවෙයි.” ප්‍රමාණවත් විවේකය හා විනෝදය සමඟ රැකියාවේ කටයුතු සමබර කරගැනීමෙන් පවුලේ වගකීම්ද හොඳින් ඉටු කිරීමට ඔබට හැකි වෙයි. නමුත් පවුලේ වියහියදම් දරන්න සිදු වන්නේ ඔබට නම් එසේ කිරීම අභියෝගයක් විය හැකියි.

රැකියාව හා පවුලේ වගකීම්

අද දින බොහෝදෙනාට තිබෙන අධික වැඩ නිසා පවුලක් හැටියට එකට ඉඳගෙන ටිකක් කතා කරන්නවත් ඔවුන්ට වේලාවක් නැහැ. එංගලන්තයේ ජීවත් වන එක් මවක් මෙසේ කියමින් දුක් වුණා. “මගේ කාලයෙන් හා ශක්තියෙන් හොඳම හරිය රැකියාවට ගියාම මගේ දුවයි පුතයි වෙනුවෙන් ඉතුරු වෙන්නේ බොහොම ටික කාලයයි.” ඇමරිකාවේ නහඹරයන් පස්දෙනෙකුගෙන් එක් කෙනෙකු, ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන ප්‍රශ්නය හැටියට සලකන්නේ “දෙමාපියන් ඔවුන් සමඟ ප්‍රමාණවත් කාලයක් ගත නොකිරීම” බව එක් සමීක්ෂණයකින් හෙළි වුණා. එහි කළ තවත් අධ්‍යයනයකින් හෙළි වුණේ රැකියාවක නියුතු යුවළක් එකිනෙකා සමඟ කතා කරන්නේ දවසටම විනාඩි 12ක පමණ කාලයක් බවයි.

අධික වැඩවලින් ඇති වන පීඩනය නිසා බොහෝදෙනා එහි යම් යම් වෙනස්කම් කිරීමට කල්පනා කර තිබෙනවා. දෙදරු පියෙක් වන තිමෝති ඒ ගැන මෙහෙම කියනවා. “මම ඉස්සර වැඩිපුර පැය ගණනක් රැකියාවේ නියැලුණා. මගේ බිරිඳ සති අන්තවලත් වැඩ කළා. ඒ නිසා අපි එකිනෙකාව දැක්කෙත් කලාතුරකින්. අපි ඒ ගැන හිතලා අපේ වැඩ ටිකක් වෙනස් කරගත්තා. දැන් අපි ඉන්නේ ඉස්සරට වඩා සතුටින්.” ගබඩා කළමනාකරුවෙක් වූ බ්‍රයන් පවසන දේ බලන්න. “මගේ බිරිඳට දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්න කොට ඇයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න පුළුවන් විදිහේ රැකියාවක් මම හොයාගත්තා. ඒ නිසා මගේ වාර්ෂික වැටුපෙන් ඇමරිකානු ඩොලර් 10,000ක් අඩු වුණා. ඒ වුණත් මගේ පවුලේ අයත් එක්ක ගත කරන කාලය මට ඊට වඩා වටිනවා.” මෙලීනා නමැති කාන්තාව තම පළමු දරුවා බිහි වුණායින් පසු රැකියාවට යන එක නතර කළා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “එක පඩියකින් ජීවත් වෙන්න පුරුදු වෙන එක ලෙහෙසි වුණේ නැහැ. නමුත් අපේ දුවව වෙන කෙනෙකුට බලාගන්න දෙනවාට වඩා මමම බලාගන්න එක හොඳයි කියලා අපි දෙන්නටම තේරුණා.”

කෙසේනමුත් බොහෝ පවුල් ඔවුන්ගේ මාසික වියහියදම් ගැට ගසාගන්නේ බොහොම අමාරුවෙන්. සමහර විවාහකයන් වියදම් පිරිමසන්න රැකියාවන් දෙකක් කරනවා. තවත් පවුල්වල දෙදෙනාටම රැකියා කිරීමට සිදු වී තිබෙන අතර ඔවුන් තම දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථානවල තබා රැකියාවට යනවා.

රැකියාව හා පවුලේ වගකීම් සමබර කරගන්නා ක්‍රම ගැන සමහරවිට ඔබ දන්නවා ඇති. ඒවා ක්‍රියාත්මක කිරීමේදී මේ දෙය මතක තබාගන්න. පවුලේ සන්තෝෂය පරිත්‍යාග කරමින් ඔබේ මුළු කාලයම රැකියාවට වැය කරන්න එපා!

ඔබේ රැකියාව, විවේකය හා පවුල් වගකීම් සමබරව ඉටු කරද්දී ඉන් බොහෝ ප්‍රයෝජන ලැබෙන බව මතක තබාගන්න. ඒ වගේම තෘප්තිමත් මෙන්ම සමබර ජීවිතයක් ගත කිරීමට ඔබට අත්‍යවශ්‍ය තවත් දෙයක් තිබෙනවා. ඒ ගැන අපි අවසාන ලිපියෙන් සලකා බලමු.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබේ ශාරීරික හා මානසික ශක්තිය රැකියාව සඳහා පමණක්ම වැය කරන්න එපා

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පවුලේ සන්තෝෂය පරිත්‍යාග කරමින් ඔබේ මුළු කාලයම රැකියාවට වැය කරන්න එපා!

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මුදල්ද? කාලයද?

දියුණු තාක්ෂණය නිසා අධික වැඩවලින් මිනිසුන්ට නිදහස ලැබී ‘නිදහසේ කල් ගෙවිය හැකි යුගයක් උදා වෙයි’ කියා 20වන සියවසේ සිටි සමහර විශාරදයන් විශ්වාස කළා.

වර්ෂ 1930 ගණන්වල සිටි මහාචාර්යවරයෙක් වූ ජූලියන් හක්ස්ලි පැවසුවේ දියුණු තාක්ෂණය නිසා අනාගතයේදී කිසිම කෙනෙකුට සතියකට දවස් දෙකකට වඩා වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියායි. එමෙන්ම ව්‍යාපාරිකයෙකු වූ වෝල්ටර් ගිෆර්ඩ්ද මෙවැනි අදහසක් පළ කළා. “නවීන තාක්ෂණය නිසා මිනිසුන්ට තමන් කැමති දෙයක් කරන්න අවස්ථාව ලැබෙයි. ජීවත් වීමේ කලාව මෙන්ම සිතට හා ගතට සුව ගෙන දෙන ආකාරයේ දේවල්වල නියැලීමටද අවශ්‍ය තරම් කාලය තිබෙයි.”

එමෙන්ම සමාජ විද්‍යාඥයෙක් වූ හෙන්රි ෆෙයාචයිල්ඩ් මෙසේ උදම් ඇනුවා. ‘තාක්ෂණික දියුණුව නිසා කර්මාන්ත ශාලාවලින් බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන්ගනිද්දී ඒවා කොහොම පාවිච්චි කරන්නද කියලා හිතාගන්නවත් බැරි වේවි. ඒ කාලයේදී කෙනෙකුට වැඩ කරන්න සිදු වන්නේ දිනකට පැය හතරකටත් වඩා අඩු කාලයක්.’

ඔවුන් පැවසූ දේ සැබෑ වී තිබෙනවාද? විසිවන සහ විසිඑක්වන සියවස අතරතුරේදී දැවැන්ත ආර්ථික වර්ධනයක් සිදු වුණා. එම වර්ධනයත් සමඟ බලද්දී මේ වන විට මිනිසුන්ට කරන්න තිබෙන වැඩ ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩු වී තිබිය යුතුයි. නමුත් සිදු වී තිබෙන්නේ කුමක්ද? ජෝන් ඩි ග්‍රාෆ් ඒ ගැන මෙහෙම කියනවා. “තාක්ෂණික දියුණුව නිසා කාලය ඉතුරු කරගැනීමට මිනිසුන්ට හැකි වී තිබුණත් ඔවුන් ඒ කාලයත් වැය කරන්නේ මුදල් ඉපැයීම සඳහායි.”