Skip to content

පටුනට යන්න

සරල මෙන්ම සමබර ජීවිතයකට මඟ

සරල මෙන්ම සමබර ජීවිතයකට මඟ

සරල මෙන්ම සමබර ජීවිතයකට මඟ

සරල මෙන්ම සමබර ජීවිතයක් ගත කිරීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පළමු පියවර නම් ඔබේ ජීවිතයේ මුල් තැන ගෙන තිබෙන දේවල් ගැන හොඳින් කල්පනා කර බැලීමයි. එය කළ හැක්කේ කෙසේද?

මේ ගැන සිතන්න: ‘මා මේ දක්වා අත් කරගෙන තිබෙන්නේ මොනවාද? අත් කරගැනීමට තව ඉතුරුව තිබෙන්නේ මොනවාද?’ ඒවා පහත සඳහන් කරන්න.

1. .....

2. .....

3. .....

බොහෝදෙනා උත්සාහ කරන්නේ ජීවත් වන මේ කෙටි කාලය තුළ හැකි තරම් ධන සම්පත් රැස් කරගැනීමටයි. ඔවුන්ට තිබෙන්නේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” යන ආකල්පයයි. (1 කොරින්ති 15:32) එමනිසා පුළුවන් තරම් දේවල් මිල දී ගැනීම සඳහා ඔවුන් වැඩි මුදලක් උපයාගැනීමට වැඩි වේලාවක් රැකියාවේ යෙදෙනවා. නමුත් එහි ඇති නිෂ්ඵලකම ගැන බයිබලයේ පැහැදිලි කර තිබෙනවා.

තමාගේ ජීවිත කාලයටම අවශ්‍ය දේවල් රැස් කරගත් නමුත් ඒවා භුක්ති විඳීමටත් පෙර මිය ගිය ධනවත් මිනිසෙකු ගැන උපමාවක් යේසුස් පැවසුවා. “තමාගේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට තමාගේ සැප පහසුව සඳහා වස්තු රැස් කරගන්නා තැනැත්තාට සිදු වන්නෙත් ඒ දේමයි” කියා යේසුස් අවධාරණය කළා. (ලූක් 12:16-21) තමාට අවශ්‍ය දේවල් ලබාගැනීම සඳහා ඒ මිනිසා වෙහෙසී වැඩ කළ එක වැරදිද? කොහෙත්ම නැහැ. නමුත් එහි තිබූ වරද වූයේ ඔහු ඒ දේවල් ගැන පමණක්ම අවධානය යොමු කිරීමයි. ඔහුගේ එදිනෙදා වැඩකටයුතුවලදී දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් ඔහු කිසිම කාලයක් වෙන් කළේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ ඔහු මහන්සි වී රැස් කරගත් වස්තුව වැඩි කාලයක් භුක්ති විඳින්න ඔහුට නොහැකි වීමයි. එය මොන තරම් කනගාටුදායකද!—දේශනාකාරයා 2:17-21; මතෙව් 16:26.

එමනිසා යේසුස් අප සැමට ආරාධනා කළේ සැමදාටම පවතින දෙයක් අත් කරගැනීම සඳහා වැඩ කරන්න කියායි. ඔහු එය පැවසුවේ මෙසේයි. ‘නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා. ඒ වෙනුවට සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.’ (යොහන් 6:27) ඊට පෙර ඔහු මෙසේද පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) එය මොන තරම් කදිම බලාපොරොත්තුවක්ද!

කනස්සල්ලෙන් ගොඩ එන ආකාරය

සාමාන්‍යයෙන් අපි කවුරුත් අපේ අවශ්‍යතාවන් ගැන කනස්සලු වෙනවා. ඒ ගැන දැන සිටි යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ උනන්දු කළා. “කන බොන දේ ගැනවත් අඳින පළඳින දේ ගැනවත් සිතසිතා කනස්සලු වෙන්න එපා. ලෝකයේ සිටින බොහෝ මිනිසුන් මහත් උනන්දුවකින් හඹා යන්නේ ඒ දේවල් පසුපසයි. නමුත් ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න. එහෙයින් ඔහුගේ රාජ්‍යයට නොකඩවා මුල් තැන දෙන්න. එවිට අවශ්‍ය දේවල් ඔබට දෙනු ලබයි.”—ලූක් 12:29-31.

යේසුස්ගේ එම වදන් විශ්වාස කළ බොහෝදෙනෙක් තම ජීවිත සරල කරගෙන තිබෙනවා. මලයාසියාවේ ජීවත් වන ජුලියට් ඉන් එක් අයෙක්. ඇය මෙහෙම කියනවා. “රැකියාව නිසා මම ගොඩක් වෙහෙසට මෙන්ම කලකිරීමට පත් වුණා. ඒ නිසා අපේ ජීවිත සරල කරගන්න උපකාර ඉල්ලා මමයි මගේ ස්වාමිපුරුෂයයි යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මාසයක් ඇතුළත දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා. ආබාධිත දරුවන්ට ඉගැන්වීම සඳහා මට අර්ධකාලීන රැකියාවක් ලැබුණා.” ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කොන්ත්‍රාත්කරුවෙක් වන ස්ටීව්ටද එවැනිම අද්දැකීමක් තිබෙනවා. ඔහු පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහාත් නමස්කාර කටයුතු සඳහාත් රැකියාවේ වැඩකටයුතු ටිකක් සරල කරගත්තා. ඒ ගැන ඔහුගේ බිරිඳ මෙසේ පවසනවා. “දැන් එයා ඉන්නේ ඉස්සරට වඩා ගොඩක් සතුටින්. මමත් එහෙමයි. අපේ දරුවන්ටත් ඒ ගැන හරිම සතුටුයි. ඇත්තම කියනවා නම් ජීවිතය සරල වෙද්දී පවුල් ජීවිතයත් හරිම සාර්ථකයි.”

නමුත් මෑතකදී ඔබේ රැකියාව අහිමි වූ නිසා ඔබේ නිවසත් අහිමි වීමට ආසන්න නම් ඉහත සඳහන් යේසුස්ගේ උපදෙස ක්‍රියාත්මක කිරීමට ඔබට දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. එසේ ඔබ දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහුට කරන නමස්කාර කටයුතුවලට මුල් තැන දෙනවා නම් සරල මෙන්ම සමබර ජීවිතයක් ගත කළ හැකියි. එසේ කිරීමෙන් බයිබලයේ “සැබෑ ජීවිතය” කියා හඳුන්වන යෙහෝවා දෙවි අනාගතයේදී ධර්මිෂ්ඨ මිනිසුන්ට ලබා දෙන සදාකාල ජීවනයට හිමිකම් කියන්න ඔබටත් හැකියි. ඒ කාලයේදී මිනිසුන් කරන සියලු වැඩවලින් ඔවුන්ට විශාල ප්‍රීතියක් ලැබෙන අතර ඔවුන්ගේ වෙහෙස කිසිසේත් අපතේ යන්නේ නැහැ.—1 තිමෝති 6:17-19; යෙසායා 65:21-23.

එම සැබෑ ජීවිතය ගැන තව තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එසේනම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසන්න. නැත්නම් මෙම සඟරාවේ පස්වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට ලියන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි ලබා දෙන සදාකාල ජීවිතයේදී මිනිසුන් කරන සියලු වැඩවලින් ඔවුන්ට විශාල ප්‍රීතියක් අත් වෙයි

[8වන පිටුවේ කොටුව]

ඔබට නිවසින් පිටතදී කළ හැකි රැකියාවන්

විරැකියාවෙන් ගොඩ ඒම සඳහා ඔබට ක්‍රියාත්මක කළ හැකි යෝජනා කිහිපයක් පහත දැක්වෙයි:

● නිවෙස් මුර කිරීම (නිවෙස් හිමියන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා හෝ නිවාඩුවක් සඳහා නිවසින් බැහැරව යන විට ඔවුන්ගේ නිවස ආරක්ෂා කිරීම)

● පිරිසිදු කිරීම: ගබඩා, කාර්යාල හා නිවාස; නිවෙස් සහ ගොඩනැඟිලි අලුතින් ඉදි කළ පසු හෝ ගින්නකට හසු වූ පසු, නිවසක හෝ කාර්යාලයක සිටි අය පදිංචිය හැරගිය පසු පිරිසිදු කිරීම; ව්‍යාපාරික ස්ථානවල හෝ නිවෙස්වල ජනෙල් පිරිසිදු කිරීම

● අලුත්වැඩියා කිරීම: පාපැදි ඇතුළු විදුලි හා ඕනෑම උපකරණයක්. (යමක් අලුත්වැඩියා කරන ආකාරය ගැන සඳහන් පොත් සමහර පුස්තකාලවලින් ලබාගත හැකියි)

● කුලී වැඩ: නිවෙස්වල සුළු සුළු අලුත්වැඩියා කිරීම්, තීන්ත ආලේප කිරීම, ලී බඩු පොලිෂ් කිරීම, පුටු විවීම, වැටවල් සකස් කිරීම, වහලවල් සෑදීම

● වගා කටයුතු කර දීම: පලදාව නෙළීම, ගොයම් කැපීම

● ගෘහ අලංකරණය හා පැළවලට සාත්තු කිරීම: කාර්යාලවල, බැංකුවල, පිළිගැනීමේ ශාලාවල, වෙළඳ සංකීර්ණවල

● දේපළ කළමනාකරණය: ආයතනවල හෝ නිවාස සංකීර්ණවල නඩත්තු කටයුතු, අධීක්ෂණ කටයුතු (සමහර අයට එහි නවාතැන් පහසුකම්ද සපයනු ලබයි)

● කාපට් ඇතිරීම, පිරිසිදු කිරීම

● පුවත්පත් බෙදාහැරීම හෝ වෙනත් බෙදාහැරීමේ සේවාවන්

● ප්‍රවාහන හෝ ගබඩා කිරීමේ සේවාවන්

● ගෙවතු අලංකරණය, නඩත්තු කිරීම, ගස් කැපීම

● පාසැල් දරුවන් ප්‍රවාහනය කිරීම

● ඡායාරූප ගැනීම, මංගල උත්සව පටිගත කිරීම, මනාලියන් හැඩගැන්වීම

● මාළු විකිණීම

● සේවා හුවමාරු කරගැනීම: තමන්ගේ වාහනයක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් විදුලි කාර්මික වැඩක් කර දීම හෝ ජල නළ අලුත්වැඩියා කර දීම

තවත් තොරතුරු දැනගැනීම සඳහා 2005 ජූලි 8 පිබිදෙව්! කලාපයේ 3-11 දක්වා පිටු බලන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට නිවසේදීම කළ හැකි රැකියාවන්

ඔබේ ප්‍රදේශයේ අවශ්‍යතාවන් මොනවාද කියා හොඳින් කල්පනා කර බලන්න. අසල්වාසීන්ගෙන් ඒ ගැන විමසන්න. එය ක්‍රියාත්මක කරන්න.

● දරුවන් බලාගැනීම සහ ඔවුන්ට ඉගැන්වීම: (දිවා සුරැකුම්)

● නිවසේ වගා කළ එළවළු, පලතුරු හෝ මල් විකිණීම, පලතුරු බීම විකිණීම

● ඇඳුම් මැසීම: (ඇඳුම් ලොකු කුඩා කිරීමද ඇතුළත්)

● ආයතනවල, කර්මාන්ත ශාලාවල නිම නොකළ භාණ්ඩ හෝ ඇඳුම් රැගෙනවිත් නිම කර දීම

● කෑම පිළියෙල කර විකිණීම

● ඇඳ ආවරණ මැසීම, රේන්ද ගෙතීම, මැක්‍රම් සෑදීම, මල් පෝච්චි සෑදීම ඇතුළු වෙනත් අත්වැඩ

● කුෂන් වැඩ

● ගිණුම් පොත් තැබීම, යතුරුලියනය, පරිගණක අලුත්වැඩියා කිරීම

● දුරකථන ඇමතුම් සඳහා පහසුකම් ලබා දීම

● කොණ්ඩා කැපීම, මනාලියන්ව හැඩගැන්වීම

● කාමර කුලියට දීම

● ආයතනවල යම් නිෂ්පාදන සම්බන්ධ දැන්වීම් අඩංගු පත්‍රිකා ලියුම් කවරවල දමා අදාළ ලිපිනයන්ට තැපැල් කිරීමට භාරගැනීම

● කාර් සේදීම හා පොලිෂ් කිරීම

● සුරතල් සතුන්ව රැකබලා ගැනීම

● යතුරු කැපීම හා අගුළු අලුත්වැඩියා කිරීම

ඉහත සඳහන්එවන් සේවාවන් ගැන වෙළඳ සංකීර්ණවල හා කඩසාප්පුවල නොමිලේ හෝ අඩු මුදලකට දැන්වීම් පළ කළ හැකියි.