Skip to content

පටුනට යන්න

දිනෙන් දින හැඩ වන ඕකිඩ්

දිනෙන් දින හැඩ වන ඕකිඩ්

දිනෙන් දින හැඩ වන ඕකිඩ්

ඕකිඩ් වගා කිරීමට පටන්ගත් කෙනෙකුට නම් එය කවදාවත් නතර කරන්න හිතෙන්නේ නැහැ. සමහරුන් ඒවාට කොතරම් ආශාවක් දක්වනවාද කියනවා නම් ඒවාට ලතින් භාෂාවෙන් ඇති නම් පවා මතක තබාගැනීමට දැඩි උත්සාහයක් දරනවා. ඇත්තෙන්ම බොහෝදෙනෙක් ඊට එතරම් ආශාවක් දක්වන්නේ ඇයි?

ඕකිඩ් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. වනාත්තරවල වැවෙන ඕකිඩ් වර්ග 25,000ක් පමණ තිබෙනවා. ඒ වගේම මිනිසා විසින් “දෙමුහුන් කළ” ඕකිඩ් වර්ග 1,00,000ක් පමණ තිබෙන බවත් නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. දෙමුහුන් ශාක ලෙස හඳුන්වන්නේ උද්භිත විද්‍යාඥයන් විසින් වාතය, ජලය සහ පස් උපයෝගී කරගෙන අලුතින්ම බිහි කළ ශාක නොවෙයි. ඒ වෙනුවට ඔවුන් ඒවා නිපදවා තිබෙන්නේ පරපරාගනයෙනුයි. එනම් ඕකිඩ් මල්වල ඇති පරාග එකිනෙකට මුසු කිරීමෙනුයි.

වනාන්තරවල වැවෙන ඕකිඩ් සහ කෘතිම පරාගනය මගින් නිපදවා ඇති ඕකිඩ් වර්ග විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තයි. සාමාන්‍ය ප්‍රමාණයේ මෙන්ම විශාලක කාචයකින් බැලිය යුතු තරම් කුඩා ප්‍රමාණයේ ඕකිඩ් වර්ගද තිබෙනවා. ඉන්දුනීසියාවේ වැසි වනාන්තරවල වැවෙන එක් ඕකිඩ් විශේෂයක් කිලෝග්‍රෑම් 500ක් පමණ බරින් යුත් බව වාර්තා වෙනවා!

විවිධ වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුත් සිත් ඇද ගන්නා ඕකිඩ් විශේෂ තිබෙනවා. සමහර ඒවා මීමැස්සන් වගෙයි. තවත් ඒවා සලබයන් හා කුරුල්ලන්ට සමානයි. එමෙන්ම අප මින් පෙර කෙදිනකවත් දැක නැති විවිධ හැඩයන්ගෙන් යුත් ඕකිඩ් වර්ග තිබෙන අතර ඒවාට වැඩි ඇල්මක් දක්වන්නේ ඒවා වගා කරන අයයි.

වැඩි වන උනන්දුව

සියවස් ගණනාවක සිට ඕකිඩ්වලට මිනිසුන් දක්වන්නේ පුදුමාකාර ආශාවක්. ඒ වුණත් ඒවා වගා කරන සාර්ථක ක්‍රම ගැන බොහෝදෙනා ඉගෙනගෙන තිබෙන්නේ මෑතක සිටයි. මිනිසා විසින් දෙමුහුන් කරන ලද මුල්ම ඕකිඩ් ශාකයේ මල් හටගත්තේ 1856දීයි. කෙසේනමුත් ඉතා අලංකාර මෙම ශාකය වගා කිරීමේදී ඊට වැඩි අවධානයක් දිය යුතු නිසා එය ඇත්තෙන්ම වෙහෙස කර ක්‍රියාවක්.

ඕකිඩ් ශාකයේ බීජ ඉතා කුඩයි. සමහර ඒවා දූවිලි අංශු වගෙයි. එමනිසා ඒවා ලබාගැනීම ඉතා දුෂ්කරයි. නමුත් ඊටත් වඩා දුෂ්කර කාර්යය වන්නේ ඒවා රෝපණය කිරීමයි. එම බීජ මුල් ඇද වර්ධනය වීමට අවශ්‍ය මූලද්‍රව්‍ය සංයෝගයන් හා පාරිසරික තත්වයන් පිළිබඳව ඕකිඩ් වගා කරන්නන් දශක ගණනාවක් පුරා අත්හදා බැලීම් කර තිබෙනවා. අවසානයේදී ඇමරිකාවේ කොනෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලුවිස් නුඩ්සන් විසින් 1922දී ඊට විසඳුමක් සොයාගත්තා. එනම් ජලය, සීනි හා විශේෂ ජෙලටීන් වර්ගයක එකතුවෙන් සාදාගත් මිශ්‍රනයක එම කුඩා බීජ තැන්පත් කළ විට ඒවා ඉතා හොඳින් මුල් ඇද වර්ධනය වුණා. පසුව ඒ ගැන උනන්දුවක් දැක්වූ අය විසින් දෙමුහුන් ඕකිඩ් වර්ග වැඩි වැඩියෙන් නිපදවන්න පටන්ගත්තා. අදටත් එම උනන්දුව අඩු වී නැහැ. සෑම අවුරුද්දකම දෙමුහුන් කළ අලුත්ම අලුත් ඕකිඩ් වර්ග අපට දකින්නට ලැබෙන්නේ ඒ නිසයි.

නමුත් මිනිසා විසින් දෙමුහුන් ඕකිඩ් වර්ග බිහි කිරීමට බොහෝ කලකට පෙර සිටම වනාන්තරවලත් එවන් දෙමුහුන් වර්ග බිහි වුණා. ඒ කෙසේද?

වනාන්තරවල වැඩෙන ඕකිඩ්

එකම ප්‍රදේශයක් තුළ එකිනෙකට කිට්ටු සමානකම් තිබෙන ඕකිඩ් වර්ග දෙකක හෝ කිහිපයක මල් හටගන්නා විට දෙමුහුන් වර්ග බිහි වීමේ හැකියාවක් තිබෙනවා. එය සිදු වන්නේ කෘමීන් හා වෙනත් කුඩා සතුන් මගිනුයි. ඔවුන් මල්පැණි බීමට එක් ඕකිඩ් මල් වර්ගයකට වසන විට එහි ඇති පරාග උන්ගේ ශරීරයේ තැවරෙනවා. උන් මල්පැණි බීමට යන ඊළඟ මලේ ඒවා තැවරෙන අතර ඒ තුළින් එම පරාග සංසේචනය වී ඩිම්බකෝෂය තුළ බීජ හටගන්නවා.

ටික කලකට පසු ඩිම්බකෝෂය තුළ ඇති එම බීජ මෝරන්න පටන්ගනියි. ඉන්පසු එම බීජකෝෂය විවෘත වී දහස් ගණනින් හෝ මිලියන ගණනින් බීජ මුදාහරියි. ඉන් සමහර ඒවා පොළොවට වැටෙන අතර තවත් බොහෝ බීජ සුළඟින් ගසාගෙන යයි. බිමට වැටුණු සමහරක් බීජ මුල් ඇද්දත් මේරූ ශාකයක් දක්වා වැඩෙන්නේ ඉන් කිහිපයක් පමණයි. ඒ අනුව එක් වර්ගයක පරාග තවත් වර්ගයක් සමඟ සංසේචනය වීමෙන් බිහිවන ඕකිඩ් වර්ග ස්වභාවික දෙමුහුන් වීම ලෙස හැඳින්විය හැකියි. නමුත් මිනිසුන් විසින් එය කෘතිමවද සිදු කරනවා. ඒ කෙසේද?

කෘතිම දෙමුහුන් වර්ග

දෙමුහුන් වර්ගයක් කියන්නේ ඕකිඩ් වර්ග දෙකෙහිම ලක්ෂණ ඇතිව බිහිවන්නක්. එවැනි ශාකයක් නිපදවීමේදී තමන් බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ මලක්ද එහි සුවඳ කොයි ආකාර විය යුතුද කියා ඒවා කෘතිමව දෙමුහුන් කරන්නන් කලින්ම තීරණය කරනවා. ඔහු සමහරවිට තිත් වැටුණු, ඉරි සහිත හෝ නිශ්චිත වර්ණයකින් යුත් කුඩා හෝ විශාල මලක් බලාපොරොත්තු වෙනවා විය හැකියි. එම අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහු ඕකිඩ් වර්ග දෙකක් තෝරාගනියි. උදාහරණයකට එවැනි කෙනෙක් එක් මව් ශාකයක් ලෙස ගෝල්ඩන් ස්ලිපර් (Paphiopedilum armeniacum) නමැති වර්ගය තෝරාගත හැකියි. එය 1979දී මුල්වරට හඳුනාගත්තේ චීනයෙනුයි. එම වර්ගය වෙනත් ශාකයක් සමඟ මුහුන් කිරීමෙන් ලබාගන්නා ශාකවලින් බොහෝවිට රන්වන් පාටින් යුත් තද කහ වර්ණය සහිත මල් හටගනියි. ඒවා ඇත්තෙන්ම පුදුමාකාර අලංකාරයකින් යුක්තයි.

සුදුසු ඕකිඩ් වර්ග දෙකක් තෝරාගත් පසු ඔහු ගිනි කූරක් වැනි කුඩා උපකරණයක් භාවිත කරමින් මව් ශාකයේ ඇති පරාග සියල්ලම ඉවත් කරයි. ඉන්පසුව ඔහු අනික් ශාකයේ ඇති පරාග මව් ශාකයේ මල මත තැන්පත් කරයි. පසුව ඔහු එම ඕකිඩ් වර්ග දෙකේ නම් සහ පරාගනය කළ දිනය සටහන් කරගනියි.

ඉවසීම අත්‍යවශ්‍යයි

පරාග සංසේචනය වී ඇත්නම් මලෙහි ඩිම්බකෝෂය තුළ පුදුමාකාර ක්‍රියාවලියක් සිදු වීමට පටන්ගනියි. මලෙහි උභයාංග ස්තම්භයෙන් හටගන්නා කෙඳි වැනි යමක් ඩිම්බකෝෂය දෙසට විහිදෙයි. පසුව ඩිම්බකෝෂය ක්‍රමානුකූලව විශාල වී ඒ තුළ බීජකෝෂයක් සෑදෙන්න පටන්ගනියි. එහි සිය දහස් ගණනක් බීජ වර්ධනය වන අතර එම සෑම බීජයක්ම තනි පරාග නාළයකට සම්බන්ධ වෙයි. එම බීජ මේරූ තත්වයට පැමිණීම සඳහා මාස ගණනාවක් හෝ සමහරවිට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙයි. නිසි කල පැමිණෙන විට ඒවා බීජ කෝෂයෙන් පිටතට ගත හැකියි. ඉන්පසු ජීවානුහරනය කළ භාජනයකට විශේෂ ජෙලටීන් මිශ්‍රණයක් දමා ඒ මත එම බීජ තැන්පත් කරනවා. එම බීජවලින් කුඩා පැළ මතු වී තිබේ නම් එය දිස් වන්නේ අලංකාර තණ නිල්ලක් ලෙසයි.

මාස කිහිපයකට පසු ඔහු එම බීජාංකූර ගෙන සමූහ බඳුන්වල සිටුවයි. ඉන්පසුව ඒවායෙහි තෙතමනය රඳවාගැනීම සඳහා ඔහු ඊට නිතර නිතර ජලය සපයයි. කලකට පසු ඔහු ඒවා තනි පැළ වශයෙන් සිටුවයි. එතැන් සිට මල් හටගන්නා තෙක් ඉවසීම අත්‍යවශ්‍යයි. ඊට හේතුව එම පැළ වර්ධනය වී මල් හටගැනීම සඳහා අවුරුදු කිහිපයක් හෝ දශකයකට වැඩි කාලයක් බලා සිටීමට සිදු වීමයි.

නමුත් තමා බලාපොරොත්තු වූ ආකාරයේ මලක් හටගන්නවා දැකීම ඔහුට මොන තරම් තෘප්තියක් ගෙන දෙයිද කියා සිතා බලන්න. එම වර්ගය මින් පෙර නොතිබූ වර්ගයේ එකක් නම් එය තමන් කැමති නමක් යටතේ ලියාපදිංචි කළ හැකියි. එමෙන්ම ඔහු භාවිත කළ ඕකිඩ් වර්ග දෙක භාවිත කරමින් වෙනත් කෙනෙක් එම ඕකිඩ් විශේෂයම නිපදවුවහොත් එයටද දිය යුත්තේ කලින් ලියාපදිංචි කළ නාමයමයි.

සමහර අවස්ථාවලදී කෙනෙකු නිපදවන ඕකිඩ් වර්ගයක් ඉතාමත් ජනප්‍රිය එකක් බවට පත් විය හැකියි. ඒ සඳහා ඔහුට සම්මානද හිමිවිය හැකි අතර එම විශේෂය ඉහළ මිලකට අලෙවි කිරීමටද හැකි වෙයි. ඔහුට එමගින් අත් වන ලාභ ප්‍රයෝජන කුමක් වුණත් තමන් විසින්ම නිපදවූ ඒ සිත් ඇදගන්නා මල් දැකීමෙන් ලැබෙන තෘප්තිය හා සතුට ඒ කිසිවකට සම කළ නොහැකියි!

ඔබ බොහෝ සේ ප්‍රිය කරන අලංකාර ඕකිඩ් මල් නිපදවීමට මොන තරම් කාලයක් හා ඉවසීමක් අවශ්‍යද කියා දැන් ඔබ දන්නවා. නමුත් ඇත්තටම එවන් මල් වර්ග මුලින්ම නිර්මාණය කළ යෙහෝවා දෙවිගේ ක්‍රියා සමඟ සසඳන විට මිනිසුන් දෙමුහුන් ඕකිඩ් වර්ග නිපදවීමට දරන වෑයම ඉතා සරල ක්‍රියාවක්. විවිධ අලංකාරයෙන් යුත් මල් හටගැන්වීමට මිනිසුන්ට හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවි සෑම ශාකයක් තුළම සංකීර්ණ ජාන සැකැස්මක් ඇති කළ නිසයි. අපගේ නෙත් සිත් ඇද ගන්නා නානාප්‍රකාර වර්ගයන්ගෙන් යුත් ඕකිඩ් මල් අපගේ නිර්මාතෘ අපට ප්‍රේම කරන බවට මනා සාක්ෂියක්. පුරාණයේ සිටි දාවිත් නමැති රජ මෙසේ ගායනා කළේ ඒ නිසයි. “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.”—ගීතාවලිය 104:24.

[17වන පිටුවේ පින්තූරය]

“බීල්ලාරා” දෙමුහුන් ඕකිඩ්

[17වන පිටුවේ පින්තූරය]

“ඩොරිටීනොප්සිස්” දෙමුහුන් ඕකිඩ්

[18වන පිටුවේ පින්තූරය]

“බ්‍රාසිඩිඅම්” දෙමුහුන් ඕකිඩ්