Skip to content

පටුනට යන්න

පළමුවන එළිසබෙත් රැජිනගේ පාලන සමය ඇත්තටම රන්වන් යුගයක්ද?

පළමුවන එළිසබෙත් රැජිනගේ පාලන සමය ඇත්තටම රන්වන් යුගයක්ද?

පළමුවන එළිසබෙත් රැජිනගේ පාලන සමය ඇත්තටම රන්වන් යුගයක්ද?

ඇය ඒ කාලයේ ඉතාමත් කැපීපෙනුණු චරිතයක්. බොහෝ ලේඛකයන්, කවියන් හා නාට්‍ය රචකයන් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයන්ද ඇගේ කීර්තිය කැපීපෙනෙන්න සලස්වා තිබෙනවා. එමෙන්ම මෑත කාලයේදී පළ වූ බොහෝ පොත් පත්වල හා ප්‍රදර්ශනවලද ඒ බව හුවා දක්වා තිබෙනවා. ජාත්‍යන්තර සමීක්ෂණයකින්ද හෙළි වුණේ බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් දසදෙනාට ඇයද ඇතුළත් බවයි. ඇය වෙන කවුරුවත් නොව එංගලන්තයේ පළමුවන එළිසබෙත් රැජිනයි.

ඇයව කන්‍යා රැජින ලෙසත් යහපත් රැජින ලෙසත් පොදු ජනයාගේ මතකයේ රැඳුණා. ඒ ඇයි? ඇගේ පාලනය සමය ඇත්තටම රන්වන් යුගයක්ද?

අප්‍රමාණ ප්‍රශ්න ගැටලු

එළිසබෙත් ටියුඩ නම් වූ ඇය උපන්නේ 1533දීයි. නමුත් ඇගේ උපත තම පිය වූ අටවන හෙන්රි රජතුමාගේ බලාපොරොත්තු සුන්කරමින් ඔහුව දැඩි කලකිරීමකට පත් කළා. ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ තම රජකම උරුම කරගැනීමට පිරිමි දරුවෙකු උපදියි කියායි. එහෙත් ඔහුගේ දෙවන භාර්යාව වූ ඈන් බොලින් ඔහුට පිරිමි දරුවෙකු ලබා දීමට අසමත් වුණා. ඒ නිසා හෙන්රි රජ විසින් බොරු චෝදනා මත ඇගේ හිස ගසා දැමු බව බොහෝදෙනාගේ මතයයි. ඒ වන විට කුඩා එළිසබෙත්ට වයස අවුරුදු දෙකක් පිරුණා විතරයි.

ඒ කාලය වන විට හෙන්රි රජ රෝමය සමඟ තිබූ සෑම බැඳීමකින්ම ඉවත් වී තිබුණා. එමෙන්ම එංගලන්ත සභාවේ උත්තරීතර නායකයා ලෙස ඔහු තමාවම පත් කරගත්තා. වර්ෂ 1547දී ඔහුගේ මරණයෙන් පසු රජ වූයේ ඔහුගේ පුත් හයවන එඩ්වඩ් රජුයි. ඔහුගේ ආගමික උපදේශකයන් උත්සාහ කළේ මුළු එංගලන්තයේම රෙපරමාදු ආගම ව්‍යාප්ත කිරීමටයි. කෙසේනමුත් හයවන එඩ්වඩ් රජුට පාලනය කිරීමට හැකි වූයේ අවුරුදු හයක් පමණයි. ඉන්පසු බලයට පත් පළමුවන මේරි රැජිනගේ පාලන සමයේදී නැවතත් රෝමානු කතෝලික ආගම හිස එසවූවා. ඇගේ පාලනය කෙටි නමුත් එය ලෙයින් නැහැවී ගිය යුගයක් වුණා. * ඉන්පසු 1558දී 25හැවිරිදි එළිසබෙත් රැජින සිංහාසනයට පැමිණෙන විට එංගලන්තය ආගමික වශයෙන් බෙදී තිබුණා. එමෙන්ම එහි ආර්ථිකයද බිඳ වැටී තිබුණා. ඔවුන් යටත් කරගෙන සිටි ප්‍රංශයද ඔවුන්ට අහිමි වූ අතර ස්පාඤ්ඤයේ ප්‍රබල සතුරුකම්වලටත් ඔවුන්ට මුහුණ දීමට සිදු වුණා.

එළිසබෙත් රැජිනගේ පාලන සමයේ ඇයට ඉතා දක්ෂ උපදේශකයන් සිටි අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අවුරුදු 44ක ඇගේ පාලන සමය මුළුල්ලේම ඇය ළඟින් සිටියා. ඇයට මුහුණ දීමට තිබූ මුල්ම අභියෝගය වූයේ ආගමයි. ඒ ගැන එක් මූලාශ්‍රයක සඳහන් වන්නේ ඇය “නැවතත් එංගලන්ත සභාව ගොඩනඟන්න කටයුතු කළ නමුත් ඇයට අවශ්‍ය වුණේ කතෝලිකත් නොවන අන්ත රෙපරමාදුත් නොවන ආගමක් පිහිටුවීමටයි.” තමන් එහි උත්තරීතර නායකයා ලෙස පෙනී සිටිනවා වෙනුවට ඒ හා සමාන වෙනත් පදවියකින් එම තනතුරේහිම සිටියා. එසේ කළේ ස්ත්‍රියක්ව සභාවේ නායකයා හැටියට පිළිගැනීමට අකමැති වූ අයගේ ප්‍රසාදය දිනා ගැනීමටයි. ඊළඟට ඇය කළේ පාර්ලිමෙන්තුව හරහා එංගලන්ත සභාවේ ඉගැන්වීම් සහ චාරිත්‍ර වාරිත්‍ර සම්මත කරගැනීමයි. නමුත් කතෝලික සභාවේ උත්සව කිහිපයක්ද එලෙසම පැවතුණා. ඒ වුණත් එම මධ්‍යස්ථ ඇදහිලි ක්‍රමය බොහෝ කතෝලික භක්තිකයන්ගේ මෙන්ම අන්තවාදී රෙපරමාදු භක්තිකයන්ගේද අප්‍රසාදයට හේතු වුණා.

එළිසබෙත් රැජිනට තිබූ තවත් අභියෝගයක් වූයේ පළමුවන මේරි රැජිනගේ පාලනය නිසා කලකිරීමට පත්ව සිටි රට වැසියන්ගේ ගෞරවය හා අවනතභාවය දිනා ගැනීමයි. ඒ සඳහා ඇය තම ස්ත්‍රීත්වය ප්‍රයෝජනයට ගත්තා. ඒ ගැන ඉතිහාසඥ ක්‍රිස්ටෝෆ හෙයිග් මෙසේ වාර්තා කළා. “සිංහාසනයේදී ඇය කන්‍යා රැජිනක් ලෙසත් භක්තිවන්තයන්ට මවක් ලෙසත් විවිධ නිලයන් දැරූ අයට වැඩිමහල් සොහොයුරියක් ලෙසත් තම උපදේශකයන්ට කන්කෙඳිරිගාන බිරිඳක් ලෙසත් මාලිගාවේ සේවකයන්ගේ සිත් ඇදගන්නියක් ලෙසත් කටයුතු කළා.” රට වැසියන් කෙරෙහි තමන් තුළ විශේෂ ආදරයක් හා ඇල්මක් තිබෙන බව ඇය නිතර නිතර ප්‍රකාශ කළා. එය විශ්වාස කළ ජනයාද ඇයට ආදරය කරන්න පටන්ගත්තා. ඇගේ සාර්ථකත්වයේ රහස එයයි.

එළිසබෙත් රැජින විවාහ වී රජකමට උරුමක්කරුවෙකු බිහි කරනවා දැකීම පාර්ලිමෙන්තු නිලධාරීන්ගේ ආශාව වුණා. ඒ සඳහා ඇයට විවාහ යෝජනා කිහිපයක්ම පැමිණියා. ඇය සමහරුන්ට කැමති බව ඇඟෙවූ අතර එවන් සම්බන්ධකම් සමහරවිට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පවත්වාගෙන ගියා. නමුත් දේශපාලනික වශයෙන් එය අවාසිදායක බව ඇයට හැඟුණ විට ඇය ඒවා නතර කර දැමුවා.

ඇය භක්තිවන්ත කාන්තාවක් ලෙස ජීවත් වුණත් අන් අයගේ කුමන්ත්‍රණවලට ලක් නොවී සිටියේ නැහැ. ඇයට තිබූ තර්ජනවලින් එකක් වූයේ ස්කොට්ලන්තයේ රැජින වූ මේරි ස්ටුවට් නමැති ඇගේ ඥාති සහෝදරියයි. වර්ෂ 1568දී ඇය ස්කොට්ලන්තයෙන් එංගලන්තයට පළා ආ නිසා එම තර්ජනය තවත් වැඩි වුණා. යුරෝපයේ කතෝලිකයන් විශ්වාස කළේ පළමුවන මේරි රැජිනගෙන් පසු රජකම හිමිවිය යුත්තේ මේරි ස්ටුවට්ට බවයි. ඇය එංගලන්තයේ නිවාස අඩස්සියේ සිටියදී එළිසබෙත් රැජිනව බලයෙන් පහ කිරීම සඳහා කතෝලිකයන් ඇයව කුමන්ත්‍රණයකට හවුල් කරවා ගත්තා. නමුත් එළිසබෙත් රැජිනට එය දැනගන්න ලැබුණත් තවත් රැජිනක්ව මරණයට පත් කිරීමට ඇය කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ වුණත් 1570දී එළිසබෙත් රැජිනට තිබූ තර්ජන තවත් දෙගුණ තෙගුණ වුණේ ඇයව කතෝලික සභාවෙන් නෙරපා ඇති බවත් ජනයා තවදුරටත් ඇයට කීකරු විය යුතු නැති බවත් සඳහන් කරමින් පස්වන පයස් පාප්වරයා නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. පසුව අටවන ග්‍රෙගරි පාප්වරයාද දැඩි පියවරක් ගනිමින් ප්‍රකාශ කළේ එංගලන්තය ආක්‍රමණය කර එළිසබෙත් රැජිනව බලයෙන් පහ කිරීම පාපයක් නොවන බවයි. මේ අතර ඇන්තනි බැබින්ටන් නමැති පුද්ගලයා එළිසබෙත් රැජිනව ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නය පිටුපස මේරි ස්ටුවට්ද සිටි බව ඔප්පු වුණා. ඒ නිසා 1587දී පාර්ලිමේන්තුවේ බලකිරීම මත මේරි ස්ටුවට්ව මරණයට පත් කිරීම සඳහා අනුමැතිය දීමට ඇයට සිදු වුණා. යුරෝපයේ කතෝලිකයන්ද විශේෂයෙන්ම ස්පාඤ්ඤයේ දෙවන ෆිලිප් රජද ඒ ගැන පසු වූයේ දැඩි කෝපයකිනුයි.

ෆිලිප් රජුගෙන් තර්ජනයක්

ඒ කාලයේ යුරෝපයේ බලවත්ම පාලකයා වූයේ කතෝලික භක්තිකයෙක් වූ ෆිලිප් රජයි. එංගලන්තයේ කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ යටි අරමුණද ඇතුව ඔහු එළිසබෙත් රැජිනට විවාහ යෝජනාවක් ගෙන ආවා. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබුණා. එමෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ එංගලන්ත නාවිකයන් විසින් ස්පාඤ්ඤයේ නැව් හා වරායන් කොල්ල කෑ අතර වෙනත් රටවල් කෙරෙහි ඔවුන්ට තිබූ පාලන බලයටද එය තර්ජනයක් වුණා. එමෙන්ම ස්පාඤ්ඤය යටතේ තිබූ ඕලන්දයට නිදහස ලබාගැනීමට එංගලන්තය සහය වූ නිසා ෆිලිප් රජගේ කෝපය තවත් උත්සන්න වුණා. නමුත් යුද්ධයක් සඳහා ෆිලිප් රජව පෙලඹ වූයේ මේරි ස්ටුවට් රැජිනගේ ඝාතනයයි. පාප්වරයාගේ පෙලඹවීම මත යුද නැව් 130කින් සමන්විත ආමඩා ලෙස හැඳින්වූ ස්පාඤ්ඤ නාවික හමුදාව ඔහු සැලසුම් කළා. ඉන්පසුව ඔහුගේ සැලසුම වුණේ නෙදර්ලන්තයට යාත්‍රා කර එහි සිටි විශාල හමුදාවක් මෙම ගමනට එකතු කරගෙන, පසුව ඉංග්‍රීසි ඕඩය දිගේ ගොස් එංගලන්තය ආක්‍රමණය කිරීමයි. කෙසේනමුත් ඔවුන් එම හමුදාව සම්පූර්ණයෙන්ම රැස් කරගැනීමට පෙර ඒ ගැන එංගලන්තයට සැල වුණා. වහාම ක්‍රියාත්මක වූ එළිසබෙත් රැජින නැව් 30ක් සමඟ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රෙක්ව කාඩීස් නමැති ස්පාඤ්ඤ වරායට පිටත් කර යැවූ අතර එහිදී ඔවුන් ප්‍රබල ස්පාඤ්ඤ නැව් ගණනාවක්ම විනාශ කළා. ඒ නිසා ආමඩා නාවික හමුදාව එංගලන්තයට පැමිණීම අවුරුද්දකින් ප්‍රමාද වුණා.

කෙසේනමුත් 1588දී ස්පාඤ්ඤ හමුදාව එංගලන්තය බලා පිටත් වූ අතර ඒ වන විට එංගලන්තයද යුද්ධයට සැරසී සිටියා. දැඩි ප්‍රහාර මධ්‍යයයේ වුණත් ස්පාඤ්ඤ හමුදාව ඉංග්‍රීසි ඕඩය දිගේ පැමිණ ප්‍රංශයේ කැලැයිස් වරායට සේන්දු වුණා. පසු දින රාත්‍රියේදී එංගලන්තය විසින් පුපුරන ද්‍රව්‍ය පිරවූ නෞකා අටක් සතුරු හමුදා දෙසට යවා ඒවා පිපිරීමට සැලැස්වූවා. එයින් බොහෝ සෙයින් කලබලයට පත් ස්පාඤ්ඤ හමුදාව ඒ මේ අත විසිරෙන්න පටන්ගත්තා. ඒ සමඟම සිදු වූ දරුණු සටන්වලින් පසු නිරිත දිගින් හමා ආ දැඩි සුළඟ නිසා ඔවුන්ව එංගලන්තයේ සිට ස්කොට්ලන්තයේ උතුරු දෙසට ගසාගෙන ගියා. ස්කොට්ලන්තය අවට හා අයර්ලන්තයේ බටහිර වෙරළ තීරයේ පැවති කුණාටු නිසා ස්පාඤ්ඤ නැව්වලින් අඩක්ම විනාශ වුණා. ඉන් බේරුණු නෞකා දැඩි දුෂ්කරතා මැද යාන්තමින් ස්පාඤ්ඤයට ළඟා වුණා.

රන්වන් යුගය ඇරඹෙයි

එළිසබෙත් රැජිනගේ පාලනයේ ආරම්භයේදී එංගලන්තය කිසිම රටක් යටත් කරගෙන සිටියේ නැහැ. නමුත් ස්පාඤ්ඤය නම් උතුරු, මධ්‍යම හා දකුණු ඇමරිකාවේ විශාල ප්‍රදේශයක් යටත් කරගෙන එයින් මහත් ධනස්කන්ධයක් අත් පත් කරගනිමින් සිටියා. එංගලන්තයටත් අවශ්‍ය වුණේ එවන් තත්වයක් අත් කරගැනීමටයි. එමනිසා බොහෝදෙනා ධනය, කීර්තිය හා නව වෙළඳ මාර්ග සොයා චීනයට හා නැඟෙනහිර ඈත ප්‍රදේශ දක්වා යාත්‍රා කළා. මුල් වතාවට තමාගේම නැවකින් ලොව වටා යාත්‍රා කළ කපිතාන්වරයා ලෙස ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රෙක් ඉතිහාසගත වුණා. ඔහු උතුරු සහ දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ යාත්‍රා කරද්දී ඔහුට හමු වූ ස්පාඤ්ඤ නැව් කොල්ලකමින් එහි වටිනා සම්පත් අත් පත් කරගත්තා. ස්පාඤ්ඤය විසින් තනි පාලනයක් ගෙන ගිය ප්‍රදේශවලට එය තර්ජනයක් වුණා. ශ්‍රීමත් වෝල්ට රැලේ විසින් උතුරු ඇමරිකාවේ නැඟෙනහිර මුහුදු තීරයේ ජනපදයක් පිහිටෙවූ අතර ඔහු එය එංගලන්තයේ කන්‍යා රැජිනට ගෞරව පිණිස කන්‍යාව නම් වූ අර්ථය ඇති වර්ජිනියා යන නම තැබුවා. එවන් ජනපද පිහිටු වීම මුලදී එතරම් සාර්ථක නොවුණත් නව ප්‍රදේශ සොයා යෑම සඳහා එය එංගලන්තය තුළ නව පිබිදීමක් ඇති කළා. ස්පාඤ්ඤයේ ප්‍රබල නාවික බලය පරාජය කිරීම නිසා එංගලන්තය පන්නරයක් ලැබූ අතර ගිනිකොන දිග ආසියාවේ නව වෙළඳ කටයුතු සඳහා එළිසබෙත් රැජිනගේද සහය ලැබුණා. බ්‍රිතාන්‍ය, අධිරාජ්‍යයක් බවට පත් වීමට මාර්ගය විවෘත වුණේ ඒ ආකාරයටයි. *

මේ කාලයේදී එංගලන්තය තුළ අධ්‍යාපනයට වැඩි අවධානයක් දීමට පටන්ගත්තා. එමනිසා නව පාසැල් විවෘත වුණා. මුද්‍රණ යන්ත්‍ර හඳුන්වා දීමත් සමඟ සාහිත්‍යය සඳහා වූ උනන්දුව තව තවත් වැඩි වුණා. එමෙන්ම සංස්කෘතියද විශාල වශයෙන් පුළුල් වීමට පටන්ගත්තා. විලියම් ෂේක්ස්පියර් හා විශිෂ්ට ගණයේ නාට්‍ය රචකයන් බිහි වුණේද මේ යුගයේදීයි. මේ කාලය තුළදී නව නාට්‍ය ශාලා බොහොමයක් විවෘත වූ අතර ඔවුන්ගේ නාට්‍යයන් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන් සියදහස් ගණනින් ඒවාට එක් රොක් වුණා. කවියන් ඉතා දක්ෂ නිර්මාණ බිහි කළා. රචකයන් නව පන්නයේ සංගීත රිද්ම හඳුන්වා දුන්නා. ඒ වගේම දක්ෂ සිත්තරුවන් එළිසබෙත් රැජිනවත් රජ මාලිගාවත් අලංකාරවත් ලෙස චිත්‍රයට නැගුවා. නව බයිබල් පරිවර්තන බිහි වූ අතර පල්ලිවල මෙන්ම නිවෙස්වලද එය දැකගන්න ලැබීම ඒ කාලයේ කැපීපෙනෙන්නක් වුණා. නමුත් එම රන්වන් යුගය පැවතියේ වැඩි කලකට නම් නොවෙයි.

රන්වන් යුගයෙන් අඳුරු යුගයට

එළිසබෙත් රැජිනගේ පාලන සමයේ අවසාන භාගය ප්‍රශ්න ගැටලුවලින් පිරි එකක් වුණා. ඇය උසස් තනතුරු ලබා දුන්නේ තම උපදේශකයන්ගෙන් තෝරාගත් කිහිපදෙනෙකුට පමණයි. ඒ නිසා සමහරුන් ඇය සමඟ කෝපයෙන් සහ වෛරයෙන් පසු වූ අතර සමහරුන් ඇයට විරුද්ධව කැරලිගැසුවා. නැවතත් ඇගේ රාජ්‍ය තුළ ආගමික බෙදීම් ඇති වීමට පටන්ගත්තා. රෙපරමාදු පල්ලිවල පැවැත්වූ පූජාවන්ට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ කතෝලිකයන් බොහෝදෙනෙක් විවිධ පීඩාවන්ට ලක් වුණා. ඇගේ පාලනය අවසාන භාගයේදී පූජකයන් සහ කතෝලික භක්තිකයන් 200ක් පමණ මරණයට පත් කළා. කතෝලිකයන්ව පමණක් නොව අන්තවාදී රෙපරමාදු භක්තිකයන්ගෙන් සමහරුන්වද සිරගත කළ අතර තවත් අයව මරණයටද පත් කළා. පසුව ඇගේ පාලනයට විරුද්ධව අයර්ලන්තයේද කැරළි හටගත් අතර ස්පාඤ්ඤය සමඟ ගැටුම්ද දිගටම පැවතුණා. එමෙන්ම එක දිගටම අවුරුදු හතරක් පුරා ඉතාමත් අඩු අස්වැන්නක් ලැබීම නිසා රට පුරා විරැකියාව මෙන්ම මිනිසුන්ට උන්හිටි තැන් පවා අහිමි වෙන්න පටන්ගත්තා. ආහාර මිල ඉහළ යෑම නිසා ජනයා විරෝධතා පවත්වන්නත් පටන්ගත්තා. එවන් තත්වයන් නිසා එළිසබෙත් රැජින ජීවත්ව සිටියදීම ඇය ලබා තිබූ ජනප්‍රියත්වයත් රට වැසියන්ගේ ආදරයත් ඇයට අහිමි වුණා.

පසු කාලයේදී එළිසබෙත් රැජිනට ජීවත් වීමට තිබූ ආශාව පවා නැති වී ගිය අතර ටියුඩ පවුලේ අවසන් පාලකයා වූ ඇය 1603 මාර්තු 24වන දින මිය ගියා. එය ආරංචි වූ වැසියන් ඒ ගැන ඉමහත් කම්පනයට පත් වුණත් එදින සවස ඔවුන් නව රජෙකු පත් කිරීම ගැන වීථි බැස ප්‍රීති ඝෝෂා පැවැත්වූවා. ඔවුන්ගේ නව රජ වූයේ මේරි ස්ටුවඩ්ගේ පුත් හයවන ජේම්ස් රජුයි. නමුත් ඔහු එංගලන්තයේ රජ වූයේ පළමුවන ජේම්ස් රජ හැටියටයි. රෙපරමාදු භක්තිකයෙකු වූ ඔහු එළිසබෙත් රැජිනට කළ නොහැකි දෙයක් කළා. එනම් එංගලන්තය හා ස්කොට්ලන්තය යන රාජ්‍ය දෙක එක රජෙක් යටතේ එක්සේසත් කළා. මුලදී ජනයා ඔහු ගැන ඉතා ඉහළින් වර්ණනා කළත් එළිසබෙත් රැජිනගේ පාලන සමයේ වටිනාකම සිහි වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ.

ඇත්තෙන්ම එය රන්වන් යුගයක්ද?

එළිසබෙත් රැජිනගේ පාලන සමය ගැන මුල් ඉතිහාසඥයන් ඉතා ඉහළින් කතා කළා. උදාහරණයකට ඇගේ මරණයෙන් අවුරුදු කිහිපයකට පසුව සිටි ඉතිහාසඥ විලියම් කැම්ඩන් පැවසුවේ ඇගේ පාලන කාලයේදී ඇය තම යටත්වැසියන්ට දියුණුවක් අත් කරගැනීමටත් රටට කීර්තියක් ලබා දීමටත් කටයුතු කළ බවයි. ඒ අනුව එය ඇත්තෙන්ම රන්වන් යුගයක් කියා ඔහු තවදුරටත් පැවසුවා. බොහෝ කාලයක් යන තුරු කිසිවෙකු එම මතයට විරුද්ධ වුණේ නැහැ. දහනවවන සියවසේ අවසාන භාගය වන විට බ්‍රිතාන්‍ය බලවත් රාජ්‍යයක් වූ අතර ලෝකයේ හතරෙන් එකක ප්‍රදේශයක් පාලනය කරමින් සිටියා. එම තත්වයට මූලික අඩිතාලම දැමූ තැනැත්තිය ලෙස කීර්තියට පත් වුණේ එළිසබෙත් රැජිනයි.

නමුත් සමහර නූතන ඉතිහාසඥයන් නම් ඇගේ පාලන සමය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ නැහැ. එක් පොතක සඳහන් මේ දෙයින් ඒ බව පැහැදිලියි. “එළිසබෙත් රැජිනගේ මරණින් පසු ඇයට එතරම් කීර්තියක් ලැබුණේ ඇය අත් කරගෙන තිබූ දේවල්වලට වඩා ඇය විසින් කළ අතිශෝක්ති ප්‍රචාර නිසයි. ඇය දිගු කාලයක් ජීවත් වුණා. ඇයගේ පාලන කාලය තුළදීම ෂේක්ස්පියර් නිසා ලැබූ ජනප්‍රියත්වයත් අහම්බෙන් වගේ ස්පාඤ්ඤයේ යුද නැව් පරාජය කිරීමත් යන සියල්ල එකට සිදු වූ නිසා ඇයට එංගලන්තය පාලනය කරගන්න බැරි වුණා යන කාරණය යටපත් වෙනවා.” (The Oxford Illustrated History of Britain.) සමහරුන් එළිසබෙත් රැජිනව වර්ණනා කිරීමට හේතුව ගැන කලින් සඳහන් කළ ඉතිහාසඥ හෙයිග් මෙසේ විස්තර කරනවා. “ජනයා 1603දී ස්ටුවට් පෙළපතින් රජෙකුව බලාපොරොත්තුවෙන් සිටි විට ඔවුන් ඇයව දැක්කේ වයසක මෙන්ම මෝඩ ගැහැනියක් ලෙසයි. නමුත් 1630 පමණ වන විට ස්ටුවට් පෙළපතේ රජවරුන් ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත් වූ විට ජනයා නැවතත් එළිසබෙත් රැජිනගේ පාලනය වර්ණනා කරන්න පටන්ගත්තා.”

බුද්ධිමත් මෙන්ම ධෛර්යවත් කාන්තාවක් වූ ඇය තම උපදේශකයන්ගේ නොමද සහය ඇතුව තම යටත් වැසියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට සමත් වුණා. තම ජාතිය ඇමතීමේදී හා ඇඳුම් පැළඳුම් තේරීමේදී මෙන්ම ඇයව චිත්‍රයට නඟන විට ඇය සිටිය යුතු ඉරියව් හා පසුබිම් ගැනද ඇයට උපදෙස් දුන්නේ ඇගේ ළඟින්ම සිටි එම උපදේශකයනුයි. රජවරුන් පාලනය කළ ලෝකයක රැජිනක් ලෙස ඇය ඇත්තෙන්ම කැපීපෙනුණ කාන්තාවක් බව නිසැකයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. වර්ෂ 2000 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ 28 සිට 30 දක්වා පිටුවල සඳහන් “ආගමික අසාධාරණකම් දැන් පිළිගනියි” යන ලිපිය බලන්න.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“එළිසබෙත් රැජිනගේ මරණින් පසු ඇයට එතරම් කීර්තියක් ලැබුණේ ඇය අත් කරගෙන තිබූ දේවල්වලට වඩා ඇය විසින් කළ අතිශෝක්ති ප්‍රචාර නිසයි”

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජෝන් ඩී සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා

  එළිසබෙත් රැජිනගේ දර්ශනවාදියා වූයේ ජෝන් ඩී (1527-1608/9) නැමැත්තායි. ඔහු දක්ෂ ගණිතාඥයෙක්, භූගෝල විද්‍යාඥයෙක් මෙන්ම තාරකා ශාස්ත්‍රාඥයෙක්. එමෙන්ම ඔහු ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා භූතවාදී ක්‍රියාවලට දැඩි ඇල්මක් දැක්වූ පුද්ගලයෙක්. එළිසබෙත් රැජිනගේ ඔටුනු පැළඳවීමට සුබ දවස තෝරා දුන්නෙත් ඔහු විසින් වූ අතර රජමාලිගාවේ ඔහු තම ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වූවා. “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන නාමය ප්‍රසිද්ධ කිරීමට මුල් වුණෙත් ඔහුයි. එමෙන්ම මහ සයුරෙන් එහා තිබෙන දේශවලටත් තම බලය ව්‍යාප්ත කරන මහ රැජින ලෙස ඇයව සලකන්න කියා ඔහු ඇයව දිරිගැන්වූවා. එම අරමුණ අත් කරගැනීම සඳහා වෙනත් රටවල් අල්ලා ගැනීමට, විශේෂයෙන්ම ඊසාන දිග හා වයඹ දිග ප්‍රදේශ අල්ලා ගැනීමටත් උතුරු ඇමරිකා මහද්වීපය යටත් කරගෙන ජනපද පිහිටු වීමටත් උපදෙස් දුන්නේ ඔහුයි.

[හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum

[20, 21වන පිටුවේ පින්තූර]

1. ස්පාඤ්ඤ යුද නැව් විනාශ කිරීමට එංගලන්තයෙන් යැවූ පුපුරන ද්‍රව්‍ය පිරවූ නැව් 2. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රෙක් 3. එළිසබෙත් රැජින 4. ග්ලෝබ් රඟහල 5. විලියම් ෂේක්ස්පියර්

[හිමිකම් විස්තර]

A: From the book The History of Protestantism (Vol. III); B: ORONOZ; C: From the book Heroes of the Reformation; D: From the book The Comprehensive History of England (Vol. II); E: Encyclopædia Britannica/11th Edition (1911)

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© The Bridgeman Art Library International