Skip to content

පටුනට යන්න

පිරිමි ළමයි මට අකමැති ඇයි?

පිරිමි ළමයි මට අකමැති ඇයි?

යෞවන අය අසති

පිරිමි ළමයි මට අකමැති ඇයි?

ගොඩක් පිරිමි ළමයි මාත් එක්ක යාළු වෙන්න උත්සාහ කරනවා කියලා එයා දන්නවා. මම ඒක එයාට කියලත් තියෙනවා. මගේ සමහර යාළුවෝ කරන පිස්සු වැඩ ගැන එයාට කිව්වාම එයා හිනා වෙනවා. ඒ විතරක් නෙමෙයි එයා කිව්ව සමහර දේවල් මම නිවැරදි කරලත් තියෙනවා. ඒ නිසා එයා දන්නවා මම මෝඩ කෙල්ලෙක් නෙවෙයි කියලා. ඒත් එයා මට කවදා කැමති වෙයිද?

ඒ ගැහැනු ළමයා ලස්සනයි තමයි. ඒ වුණාට එයාව තේරුම්ගන්න නම් හරිම අමාරුයි. මට වචනයක්වත් කතා කරන්න බැහැ, එයා මැද්දට පැනලා ඒක හරිගස්සන්න හදනවා! ඉතිං මං බලන්නේ කොහොමහරි එතනින් ලිස්සලා යන්නයි.

ඔබ සිටින්නේ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමට සුදුසු වයසකද? පිරිමි ළමයින් ඔබට අකමැතියි කියා සමහරවිට ඔබට සිතෙනවා ඇති. ඒ ගැන ඔබ සිටින්නේ කනගාටුවෙන්ද? බොහෝදෙනෙකුට හැඟෙන්නේත් ඒ ආකාරයටමයි. ලස්සන පෙනුමක් තිබෙනවා කියා ඔබ සිතන අය පවා එසේ කනගාටු වෙනවා. උදාහරණයකට ජොඈන් ගැන සලකා බලන්න. ඇය රූමත් මෙන්ම උගත් කෙනෙක්. ඒ වුණත් ඇය මෙහෙම කියනවා. “මට ගොඩක් වෙලාවට හිතෙන්නේ පිරිමි ළමයි මට කැමති නැහැ කියලයි. මගේ හිත ගිය කිහිපදෙනෙක් මුලදී මට කැමැත්තක් පෙන්නුවත් ටික දවසක් යද්දී එයාලා මාත් එක්ක කතා කරන එකත් නැවැත්තුවා!”

පිරිමි ළමයින් කැමති සහ අකමැති මොන වගේ ගැහැනු ළමයින්ටද? ඔබේ හොඳ නම රැකගනිමින් නිසි වයසට පැමිණි විට ගුණ යහපත් පිරිමි ළමයෙකුගේ සිත දිනාගන්න ඔබට පුළුවන් කොහොමද?

කළ යුතු දේ

මුලින් ඔබවම හොඳින් තේරුම්ගන්න. ඔබ වැඩිවියට පත් වූ මුල් කාලයේදී පිරිමි ළමයින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වූ බව ඔබට දැනෙන්න ඇති. පිරිමි ළමයින් කිහිපදෙනෙකුටම ඔබේ සිත ඇදී යන්නත් ඇති. එය සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ ඉක්මන් වී ඔබේ සිත ගිය මුල්ම කෙනාට ඔබේ ආදරය පුද කළොත් තත්වය කුමක් විය හැකිද? යහපත් ගතිගුණ වර්ධනය කරගැනීමට, ජීවිතයේ වඩා වැදගත් දේවලට හොඳ අවධානයක් දීමට, ඔබේ ඉලක්ක අත් කරගැනීමට මෙන්ම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට එය බාධාවක් වෙයි.—රෝම 12:2; 1 කොරින්ති 7:36; කොලොස්සි 3:9, 10.

පිරිමි ළමයින් වැඩි පිරිසක් කැමති වන්නේ අහිංසක හෝ අද්දැකීම් අඩු ගැහැනු ළමයින්ට බව ඇත්තයි. ඔවුන් මූලිකවම අවධානය යොමු කරන්නේ ගැහැනු ළමයින්ගේ ගුණාංග හා ගතිපැවතුම්වලට නොව ඔවුන්ගේ ශරීරයටයි. නමුත් විවාහය ගැන ගැඹුරින් කල්පනා කරන කෙනෙක් බලාපොරොත්තු වන්නේ තම විවාහ බන්ධනය ශක්තිමත් කිරීමට දායක වන කෙනෙකුටයි.—මතෙව් 19:6.

පිරිමි ළමයින් පවසන දේ: “මම නම් කැමති තමන් කළ යුතු දේ මොකක්ද කියලා තනිවම තීරණය කරලා ඒක කරන්න පුළුවන් කෙනෙකුටයි.”—ජේම්ස්.

“මම කැමති මම කියන හැම දේටම එකඟ වෙන්නේ නැති, තමන්ට හැඟෙන දේ අවංකව හා ගෞරවනීයව කතා කරන ගැහැනු ළමයෙකුටයි. එයා ලස්සන වෙන්න පුළුවන්. හැබැයි එයා හැමතිස්සේම මාව සතුටු කරන දේවල්ම කියන කෙනෙක් නම් එයා ටිකක් භයානකයි.”—ඩැරන්.

“මම සාමාන්‍යයෙන් කැමති ලස්සන ගැහැනු ළමයින්ට කියලා මම පිළිගන්නවා. ඒ වුණත් එයාට ජීවිතයේ පැහැදිලි අරමුණක් හෝ ඉලක්කයක් නැත්නම් මට එයාව ඉක්මනින්ම එපා වෙනවා. නමුත් අනික් අතට ඇය දැනටමත් ඇගේ ජීවිතයේ යම් ඉලක්ක අත් කරගෙන තිබෙනවා නම් ඇය තවත් ආකර්ෂණීය කෙනෙක් බවට පත් කරනවා.”—ඩේමියන්.

අන් අයට ගෞරව කරන්න ඉගෙනගන්න. ඔබ ආදරය ලබන්න ආශාවක් දක්වනවා හා සමානව පිරිමි ළමයින් කැමති ගෞරවය ලබන්නයි. බයිබලයේ සඳහන් වන්නේ ස්වාමිපුරුෂයා තම භාර්යාවට ආදරය කළ යුතු බව සහ භාර්යාව තම ස්වාමිපුරුෂයාට “ගැඹුරු ගෞරවයක්” දැක්විය යුතු බවයි. (එෆීස 5:33) ඒ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට පිරිමි ළමුන්ගෙන් සියයට 60කට වැඩි පිරිසක් පැවසුවේ තමන් ආදරය ලැබීමට වඩා ගෞරවය ලබන්න කැමති බවයි. ඒ වගේම වැඩිහිටියන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් පැවසුවේද එම අදහසමයි.

ඔබ ඔහුගේ අදහස්වලට පටහැනි මතයක් දරනවා විය හැකියි. එය ප්‍රකාශ කිරීම ඔහුට කරන අගෞරවයක් නෙවෙයි. (උත්පත්ති 21:10-12) නමුත් ඉන් ඔහුට අගෞරවයක් වෙනවාද නැද්ද කියා තීරණය වන්නේ ඔබ එම මතය පවසන ආකාරය අනුවයි. අනික් අතට ඔබ ඔහු පවසන සෑම දෙයකටම පටහැනි දෙයක් පවසනවා නම් හෝ නිතරම ඔහුව නිවැරදි කරනවා නම් එයද ඔහුට ගෞරව නොකිරීමක් කියා ඔහුට සිතෙන්න පුළුවන්. නමුත් ඔහු පවසන දේ තේරුම්ගෙන, අගය කළ යුතු දේවල් ගැන ප්‍රශංසා කරනවා නම් ඔබගේ මතයන්ටත් ගරු කිරීමට ඔහු පෙලඹෙයි. එමෙන්ම ඔබ ඔබේ පවුලේ අයට සහ වෙනත් අයටත් ගෞරව කරනවාද කියා එවැනි කෙනෙක් සැලකිලිමත් වෙයි. *

පිරිමි ළමයින් පවසන දේ: “තමන්ගේ අදහස් ගැන අනික් අය සැලකිලිමත් වෙනවාට පිරිමි ළමයින් හරි කැමතියි. විශේෂයෙන්ම ඒ අයගේ හිත ගිය ගැහැනු ළමයි එහෙම කරනවාට ඒගොල්ලන් ගොඩක් කැමතියි.”—ඇන්තනි.

“ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍ය මූලිකම දේ ගෞරව කියලයි මම හිතන්නේ. ආදරයක් ඇති වෙන්නේ ඊට පස්සෙයි.”—ඒඩ්‍රියන්.

“මට ගෞරව කරන්න ගැහැනු ළමයෙකුට පුළුවන් නම් ඇත්තටම මට ආදරය කරන්නත් එයාට පුළුවන් කියලා මම දන්නවා.”—මාක්.

විනීතව ඇඳ පැළඳ සිටින්න, පිරිසිදුකම ගැන සැලකිලිමත් වන්න. ඔබ අඳින පළඳින ආකාරය මගින් ඔබගේ සිතුවිලි හා ආකල්ප රාශියක් හෙළි වෙයි. ඔබ පිරිමි ළමයෙකු සමඟ කතා කරන්නත් පෙර ඔබ ඇඳ පැළඳ සිටින ආකාරයෙන් ඔබ ගැන බොහෝ දේ ඔහු තේරුම්ගනියි. ඔබ ඉතා පිළිවෙලකට ඇඳ පැළඳ සිටිනවා නම් ඉන් ඔබ ගැන යහපත් පණිවිඩයක් ඉදිරිපත් වෙයි. (1 තිමෝති 2:9) නමුත් ඔබේ ඇඳුම් හැඟීම් අවුස්සන හෝ අපිළිවෙලකින් යුත් ඒවා නම් ඉන් ඉදිරිපත් වන්නේ ඔබ ගැන වැරදි පණිවිඩයක්.

පිරිමි ළමයින් පවසන දේ: “ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් අඳින පළඳින විදිහෙන් එයා ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඇය අඳින්නේ හැඟීම් අවුස්සන හෝ අපිළිවෙලකින් යුත් ඇඳුම් නම් ඉන් අදහස් කරන්නේ අන් අයගේ අවධානය ඇදගන්න ඇය ලොකු උත්සාහයක් ගන්නා බවයි.”—ඒඩ්‍රියන්.

“මගේ හිත ඇදී යන්නේ තමන්ගේ හිස කෙස් ගැන සැලකිලිමත්, පිරිසිදු හා සෞම්‍ය ලෙස කතාබහ කරන කෙනෙකුටයි. කලින් මගේ හිත ගිය ලස්සන ගැහැනු ළමයෙක් හිටියා. ඒත් එයා ටිකක් අපිරිසිදු නිසා මම ඒ සම්බන්ධය නතර කරලා දැම්මා.”—රයන්.

“අනික් අයගේ අවධානය ගන්න ඇඟ පේන, එහෙමත් නැත්නම් හිරට ඇඳුම් අඳින්නේ නැති විච්චූරන කරන්නේ නැති ගැහැනු ළමයෙකුට තමයි මම කැමති.”—ඊතන්.

“ගැහැනු ළමයෙක් ටිකක් ඇඟ පේන්න, හිරට ඇඳගෙන යද්දී කැපිලා පේනවා තමයි. ඒත් මට නම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න ඕනේ ඒ වගේ කෙනෙක් එක්ක නෙවෙයි.”—නිකලස්.

නොකළ යුතු දේ

ඉඟි බිඟි පාන්න එපා. පුරුෂයන්ව ආකර්ෂණය කරගැනීමේ ප්‍රබල හැකියාවක් ස්ත්‍රීන් සතුයි. එම හැකියාව හොඳට හෝ නරකට යොදාගැනීමට ඔවුන්ට හැකියි. (උත්පත්ති 29:17, 18; හිතෝපදේශ 7:6-23) ඔබ දකින දකින පිරිමි ළමයින් කෙරෙහි එම හැකියාව අත්හදා බලන්න උත්සාහ කළොත් ඔබේ නමට කැළැලක් ඇති වෙයි.

පිරිමි ළමයින් පවසන දේ: “ලස්සන ගැහැනු ළමයෙක් ළඟ ඉඳගෙන ඇඟේ වැදි වැදි ඉන්න කොට පිරිමි ළමයෙකුට අමුතුම ආශ්වාදයක් ලැබෙනවා තමයි. ඒත් ගැහැනු ළමයෙක් උවමනාවෙන්ම ඇඟේ වැදි වැදි ඉන්නවා නම් ඒ වගේ කෙනෙක් ගැන මට ඒ තරම් හොඳ ආකල්පයක් ඇති වෙන්නේ නැහැ.”—නිකලස්.

“හැම පිරිමි ළමයෙකුගේම අතින් අල්ලන, දකින දකින හැම පිරිමියෙක් දිහාම හොරැහින් බලන කෙනෙකුට නම් මම කොහොමටවත් කැමති නැහැ.”—ජෝසේ.

“හැම පිරිමි ළමයෙකුගේම අතින් අල්ලන්න උත්සාහ කරන, තමන් ගැන වැඩි උනන්දුවක් දක්වන පිරිමි ළමයෙකුව දැක්ක ගමන් එයා පස්සෙන් යන ගැහැනු ළමයෙකුට නම් මම කැමති නැහැ.”—ඊතන්.

ඔබේ සීමාව තේරුම්ගන්න. බයිබලයේ සඳහන් වන ලෙස යුවළක් විවාහ වන විට ඔවුන් දෙදෙනාම “එක් කෙනෙකු මෙන්” වෙනවා. (උත්පත්ති 2:24) එම බැඳීම ඇති කරගැනීමේදී, තනිකඩව සිටි කාලයේ නිදහසේ කළ කී දේවල් බොහොමයක් පරිත්‍යාග කිරීමට ඔවුන් දෙදෙනාටම සිදු වෙනවා. එමෙන්ම ඔවුන් එකිනෙකාට වගකීමෙන්ද බැඳෙනවා. (1 කොරින්ති 7:32-34) නමුත් ඔබ තවමත් විවාහ වී නැත්නම් එවන් වගකීමකින් බැඳී නැහැ. ඒ නිසා ඔබ පෞද්ගලිකව කරන කියන සෑම දෙයක්ම අනික් තැනැත්තාට පැවසීමට බැඳී නැහැ. එවන් දෙයක් කිරීමට බලකිරීමෙන් සිදු වන්නේ ඔබ අතර ඇති සම්බන්ධය ඇණහිටීමයි. *

පිරිමි ළමයින් පවසන දේ: “ගැහැනු ළමයෙක් මම කරන කියන හැම දෙයක්ම ඕනෑවට වඩා සෙවිල්ලෙන් ඉන්නවා නම් ඒකෙන් පේන්නේ එයා හරිම පටු විදිහට හිතන, මං හැර වෙන කිසිම දෙයක් ගැන උනන්දුවක් නැති කෙනෙක් බවයි.”—ඩැරන්.

“ගැහැනු ළමයෙක් මට හැම තිස්සේම කෙටි පණිවිඩ එවමින් මම ඉන්නේ කා එක්කද, එතන ඉන්න ගැහැනු ළමයි කවුද කියලා දැනගන්න ඕනේ නම් ඒක අනතුරු ඇඟවීමක් කියලා මට තේරෙනවා.”—රයන්.

“මගේ මිතුරන් එක්ක ආශ්‍රය කරන්න ඉඩ දෙන්නේ නැති, ඔවුන්ව ඇසුරු කරන අවස්ථාවලදී ආරාධනා නොකළොත් කේන්ති ගන්න ගැහැනු ළමයෙකුට නම් මම කැමති නැහැ.”—ඒඩ්‍රියන්.

ඔබේ ප්‍රතිපත්ති බාල කරන්න එපා

පිරිමි ළමයෙකුගේ හිත දිනාගන්න ඕනෑම දෙයක් කිරීමට කැමති ගැහැනු ළමයින්ව ඔබ දැක ඇති. තවත් අය විවාහය සඳහා කෙනෙකුව සොයාගැනීමට ඔවුන්ගේ ප්‍රතිපත්ති වුණත් පාවා දෙන්න සූදානම්. කෙසේනමුත් එහි ප්‍රතිඵල නෙළාගන්න ඔවුන්ට සිදු වන බව නියතයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ ‘කෙනෙක් තමා වපුරන දෙයම නෙළාගන්නේය’ කියායි. (ගලාති 6:7-9) ඔබ ඔබව සහ ඔබේ වටිනා ප්‍රතිපත්ති අගය කරන්නේ නැත්නම් ඔබට කැමති වන පිරිමි ළමයාද ඔබව සහ ඔබේ ප්‍රතිපත්ති අගය කරයි කියා සිතන්න බැහැ.

ඔබ මෙහිදී එක් කාරණයක් තේරුම්ගැනීම අවශ්‍යයි. එනම් ඔබ කැමති සෑම පිරිමි ළමයෙක්ම ඔබට කැමති වන්නේ නැහැ. එක් අතකින් එය හොඳ දෙයක්. නමුත් ඔබ ඔබේ පිටාතර අලංකාරය මෙන්ම ඔබේ ගුණාංග හා ප්‍රතිපත්ති නමැති ඇතුළාන්ත අලංකාරය ගැනත් සැලකිලිමත් වෙනවා නම් ඔබ ‘දෙවිට බොහෝ සෙයින් වටිනා’ කෙනෙකු බවට පත් වෙයි. (1 පේතෘස් 3:4) ඒ වගේම ඔබ බලාපොරොත්තුවන ආකාරයේ පිරිමි ළමයෙකුගේ සිත දිනාගැනීමටද ඔබට හැකි වෙයි.

[පාදසටහන්වල]

^ 28 ඡේ. කෙසේනමුත් යුවළක් විවාහ ගිවිසගෙන සිටිනවා නම් ඔවුන් පෙරට වඩා එකිනෙකාට වගකීමෙන් බැඳී සිටිනවා.

සිතා බලන්න

● පිරිමි ළමයෙකුට ගෞරව කරන බව පෙන්වන්න ඔබට හැක්කේ කෙසේද?

● ඔබ ඔබ ගැනම සැලකිලිමත් වන බව පෙන්විය හැක්කේ කෙසේද?

[27වන පිටුවේ පින්තූරය]

ප්‍රේමය හා ගෞරවය පාපැදියක රෝද දෙකට සම කළ හැකියි. පැද යෑමට ඒ දෙකම අත්‍යවශ්‍යයි