Skip to content

පටුනට යන්න

ගුවන් යානය

ගුවන් යානය

ගුවන් යානය

සියවස් ගණනාවක් පුරා ගුවනින් යෑමේ ආශාව මිනිසා තුළ තිබුණා. නමුත් තම ශරීර ගුවනට එසවීමට තරම් බලයක් මිනිස් දෑතට නැහැ. නමුත් අද වන විට තත්වය ඊට වෙනස්. වර්ෂ 1781දී ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම නිර්මාණය කළ අතර පසුව 1876දී නිකොලස් ඔට්ටෝ විසින් එය වැඩි දියුණු කර අන්තර් දහන එන්ජිමක් නිර්මාණය කළා. ඒ නිසා යානයක් ගුවන්ගත කිරීමට තරම් බලයක් සපයන එන්ජිමක් ඔවුන් සතු වුණා. නමුත් එවැනි එන්ජිමක් සහිත ගුවන් යානයක් නිර්මාණය කිරීමට කවුරුන් හෝ සමත් වුණාද?

ඔව්. ඒ විල්බ හා ඔලිව් රයිට් යන සොහොයුරන් දෙදෙනායි. සරුංගල් යැවීමට පටන්ගත් කුඩා කාලයේ සිටම ගුවනේ පියාසර කිරීමට ඔවුන්ට ලොකු ආශාවක් තිබුණා. පසු කාලයේදී ඔවුන් පාපැදි නිෂ්පාදනය කිරීමට ඉගෙනගෙන එහි නිපුණයන් බවට පත් වුණා. ගුවන් යානයක් නිපද වූවත් එය ගුවනේදී මනා පාලනයකින් හසුරුවන්නේ කෙසේද යන්න ඔවුන්ට තිබූ ප්‍රධාන ප්‍රශ්නයයි. පාපැදියක හැඬලය හසුරුවන්නාක් මෙන් ගුවන් යානයද නිසි දිශාවට හසුරුවන්න නොහැකි නම් ඉන් පලක් නැහැයි කියා ඔවුන් තේරුම්ගත්තා. ඔවුන් ඊට විසඳුමක් සොයාගත්තේ පරෙවියන් පියාසර කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කිරීමෙනුයි. උන් ගුවනේදී යම් දිශාවකට හැරෙන විට සමබරව සිටීම සඳහා උන්ගේ අත්තටු අග හරවන බව ඔවුන් දුටුවා. ගුවන් යානයේ තටු නිර්මාණය කිරීමේදීද ඔවුන් යොදාගත්තේ එම තාක්ෂණයමයි.

ඒ අනුව ඔවුන් 1900දී එසේ හැරවිය හැකි තටු සහිත ගුවන් යානයක් නිර්මාණය කළා. පළමුවෙන් එය සරුංගලයක් හා සමානව ගුවන්ගත කළ ඔවුන් ඉන්පසු නියමුවෙක් සහිතවද ගුවන්ගත කළා. ගුවන් යානයේ මුහුණත එසවීමට හා පහත් කිරීමට, දෙපැත්තට ඇල කිරීමට හා නිසි දිශාවට හැරවීමට ප්‍රධාන පාලක අංග තුනක් අවශ්‍ය බව ඔවුන් තේරුම්ගත්තා. කෙසේනමුත් එම තටු මගින් යානය ගුවනට එසවීමට තරම් බලයක් නොලැබීම නිසා ඔවුන් කලකිරීමට පත් වුණා. ඊට විසඳුමක් ලෙස සුළං උමඟක් තැනූ ඔවුන් ගුවන් යානයට සරිලනම හැඩය, ප්‍රමාණය හා ඇලයෙන් යුත් තටු හඳුනාගන්නා තෙක් විවිධ හැඩයන්ගෙන් යුත් තටු සිය ගණනක් අත්හදා බැලුවා. ඒ අනුව 1902දී එම තටු සහිත ගුවන් යානයක් නිර්මාණය කළ ඔවුන් ගුවනේ සමබරව පියාසර කිරීමට හැකි ක්‍රමය සොයාගත්තා. ඊට එන්ජිමක් සවි කිරීමට ඔවුන්ට හැකි වුණාද? ඔව්!

මුලින්ම ඒ සඳහා සරිලන එන්ජිමක් නිර්මාණය කිරීමට ඔවුන්ට සිදු වුණා. සුළං උමඟේ කළ පරීක්ෂණවලින් ලබාගත් දැනුමද ඇතුව ඊට අදාළ අවරපෙත්ත නිර්මාණය කිරීමටද ඔවුන්ට හැකි වුණා. අවසානයේදී එනම් 1903 දෙසැම්බර් 17වන දින එම යානය ගුවන්ගත කිරීමට සියලු කටයුතු සූදානම් කළා. එහි එන්ජිම පණගැන් වූ පසු අවරපෙති වේගයෙන් කරකැවෙන්න පටන්ගත් අතර ගුවන් යානය ශීත සුළං මැද ගුවනට එසවෙන්න පටන්ගත්තා. “කුඩා කාලයේ පටන් අපට තිබූ එම සිහිනය සැබෑ වුණා. දැන් අපට පියාසර කරන්න පුළුවන්” කියා ඕවිල් පැවසුවා. පසුව ඔවුන් දෙදෙනා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත් වුණා. ඔවුන්ට එසේ ගුවන්ගත වීමට හැකි වූයේ කුමක් නිසාද? අප අවට ඇති නිර්මාණ ඊට දායක වූ නිසයි.

[4වන පිටුවේ පින්තූරය]

රයිට් සහෝදරයන් 1903දී නිර්මාණය කළ ගුවන් යානය, ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ (සැබෑ ඡායාරූපයක් නොවෙයි)