Skip to content

පටුනට යන්න

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

ඔවුන් එය ඉගෙනගත්තේ කාගෙන්ද?

‘පක්ෂීන්ගෙන් අසන්න. උන් ඔබට කියා දෙනු ඇත. මේ සියල්ල කර තිබෙන්නේ යෙහෝවා දෙවිය.’—යෝබ් 12:7-9.

කුරුල්ලන් පියාඹා යෑමටම නිර්මාණය වී ඇති බවක් පෙනෙයි. උන් ගුවනේ රැඳී සිටින කාලය තුළ උන්ගේ මුළු ශරීරයේම බර වැටෙන්නේ උන්ගේ අත්තටුවල ඇති පිහාටුවලටයි. ඒවා හරිම සැහැල්ලු නමුත් ඉතා ශක්තිමත්. ඊට හේතුව කුමක්ද? උන්ගේ පිහාටු කූරක හරස්කඩක් නිරීක්ෂණය කළොත් ඊට හේතුව වටහාගත හැකියි. එය ඇතුළත ස්පොන්ජියක ස්වභාවයක් ගන්නා අතර පිටතින් එය තරමක් ගොරෝසුයි. ඉන්ජිනේරුවන් ගුවන් යානා තටු නිෂ්පාදනයේදී යොදාගන්නේත් එම තාක්ෂණයමයි.

කුරුල්ලන්ගේ ශක්තිමත් අස්ථි නිර්මාණය වී ඇති ආකාරය පුදුම සහගතයි. බොහෝ අස්ථිවල කුහර පිහිටා තිබෙන අතර තවත් අස්ථිවල හරස්කඩක් දිස්වන්නේ කෙසෙල් පිත්තක හරස්කඩක් දිස්වන ආකාරයටයි. එනම් එහි ඇතුළත ත්‍රිකෝණාකාර හැඩයන්ගෙන් යුත් කුහර සහිතවයි. අභ්‍යාවකාශ යානා නිෂ්පාදකයන් ඒවායේ තටු නිර්මාණය කිරීමට එම තාක්ෂණය යොදාගැනීම උනන්දුවට කරුණක්.

ගුවන් යානයක් සමබරව පියාසර කරවීම සඳහා නියමුවන් භාවිත කරන්නේ දෙපස තටු දෙක හා පසුපස ඇති තටුව පමණයි. නමුත් කුරුල්ලෙක් ගුවනේදී තම ඉරියව් හා පියාපත් මෙන්ම සෑම තනි පිහාටුවක්ම සෙලවීම සඳහා උගේ උරහිසේ හා තටුවල ඇති මාංශ පේශී 48ක් උපයෝගී කරගන්නවා. එය තත්පරයකදී කිහිප වතාවක්ම සිදු වෙනවා. ගුවන් යානා නිෂ්පාදකයන් කුරුල්ලන් පියාසලන විලාසය ගැන ඇත්තෙන්ම පුදුම වෙනවා.

සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී, විශේෂයෙන්ම ගුවන්ගත කරන අවස්ථාවේදී විශාල ඉන්ධන ප්‍රමාණයක් හා ශක්තියක් වැය වෙනවා. ඒ අනුව බලද්දී කුරුල්ලන්ටත් ප්‍රබල “එන්ජිමක්” අවශ්‍යයි. එන්ජිමක් හා සමාන, කුරුල්ලෙකුගේ හෘදය වස්තුව ස්පන්දනය වන වේගය ඌට සමාන ප්‍රමාණයකින් යුත් ක්ෂීරපායි සතෙකුගේ හෘද ස්පන්දනයට වඩා වේගවත්. එමෙන්ම එය ප්‍රමාණයෙන්ද විශාල වන අතර ඉතා ප්‍රබලයි. කුරුල්ලන්ගේ පෙනහලු නිර්මාණය වී ඇති ආකාරයත් ක්ෂීරපායි සතුන්ට වඩා වෙනස් වන අතර කාර්යක්ෂමතාව අතින්ද ඉහළයි.

කුරුල්ලෙකුගේ “එන්ජිම” මොන තරම් කාර්යක්ෂමද? සාමාන්‍යයෙන් ගුවන් යානයක කාර්යක්ෂමතාව මනින්නේ එහි ගෙන යා හැකි ඉන්ධන ප්‍රමාණය අනුවයි. අංක 747 බෝයිං ගුවන් යානය, පැය දහයක ගුවන් ගමනක් සඳහා ගෙන යන ඉන්ධන ප්‍රමාණය එහි මුළු බරින් තුනෙන් එකක්. ඒ හා සමානව සංචාරක කුඩා කුරුල්ලෙක් පැය දහයක ගුවන් ගමනක් සඳහා තම ශරීර බරින් හරි අඩක් පමණ වැය කරනවා. නමුත් තම ශරීර බරින් අඩකට වඩා මේදය තිබෙන වයිරපෙඳ ගොහොදුවිත්තා නමැති කුරුල්ලා ගැන සලකා බලන්න. උන් ඇලෙස්කාවේ සිට නවසීලන්තය බලා පැය 190ක් (දින අටක්) එක දිගට පියාසර කරනවා. කිසිම ගුවන් යානයකට එසේ කිරීමට මෙතෙක් හැකි වී නැහැ.