Skip to content

පටුනට යන්න

ගමන් මඟ හඳුනාගැනීමේ ක්‍රමය

ගමන් මඟ හඳුනාගැනීමේ ක්‍රමය

ගමන් මඟ හඳුනාගැනීමේ ක්‍රමය

නොදන්නා නගරයක පාරවල් සොයාගැනීම කොතරම් දුෂ්කරද කියා සමහරවිට ඔබ අද්දැක ඇති. එසේනම් ඉමක් කොනක් නැති මහ සයුරේ යාත්‍රා කරන්නන් නිවැරදි මාර්ගය සොයාගන්නේ කෙසේද? තම ගමනාන්තයට සාපේක්ෂව තමන් සිටින ප්‍රදේශය නොදන්නවා නම් මාලිමා යන්ත්‍රයකිනුත් ප්‍රයෝජනයක් නැති තරම්. නමුත් 1730 ගණන්වලදී නැවියන් විසින් ෂෂ්ඨකය හා මුහුදු කාලමානය සොයාගත් නිසා තමන් සිටින ප්‍රදේශය නිවැරදිව හඳුනාගැනීමටත් එය සිතියමකින් නිශ්චය කරගැනීමටත් ඔවුන්ට හැකි වුණා. නමුත් ඒ සඳහා ගණන් බැලීමට පැය ගණනාවක් ගත කිරීමට ඔවුන්ට සිදු වුණා.

අද වන විට තත්වය ඊට වෙනස්. ඒ සඳහා වේගවත් ක්‍රමයක් වන මිහිමත මං සෙවීමේ පද්ධතියකින් (GPS) යුත් උපකරණයක් බොහෝ වාහනවල සවි කර තිබෙනවා. බොහෝ රටවල එම ක්‍රමය භාවිත වන අතර රියදුරන්ට කරන්න තිබෙන්නේ ඔවුන්ගේ ගමනාන්තය එම පද්ධතියට ඇතුළත් කිරීම පමණයි. එවිට ඔහු සිටින නිවැරදිම ස්ථානය එම උපකරණයේ තිරය මත දිස් වෙයි. ඉන්පසුව ගමනාන්තය දක්වාම එය ඔහුට මඟ පෙන්වයි. එවැන්නක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

එම උපකරණය ක්‍රියාත්මක වන්නේ චන්ද්‍රිකාවන් 30කගේ පමණ ආධාරයෙනුයි. එම චන්ද්‍රිකා ඒවා පිහිටි ස්ථාන හා වේලාව තත්පරයටම සඳහන් කරමින් පණිවිඩ නිකුත් කරයි. එවිට වාහනයේ ඇති GPS උපකරණය ඒවායින් කිහිපයක් සමඟ සම්බන්ධ වෙයි. ඉන්පසු එම චන්ද්‍රිකාවල සිට පණිවිඩ පැමිණීමට කොතරම් වේලාවක් ගත වෙනවාද කියා එම උපකරණය නිවැරදිවම ගණන් බලයි. එම තොරතුරු සමඟින් වාහනය තිබෙන නිශ්චිත ස්ථානය පෙන්නුම් කිරීමට ඊට හැකියි. ඒ සඳහා මොන තරම් සංකීර්ණ ගණිත ක්‍රමයක් ඊට සම්බන්ධද කියා ඔබට සිතාගත හැකිද? එම චන්ද්‍රිකා පිහිටා තිබෙන්නේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් හා විවිධ දිශාවලයි. එමෙන්ම ඒවා තත්පරයට කිලෝමීටර් ගණනාවක වේගයෙන් ගමන් කරනවා. ඒ වුණත් තත්පර කිහිපයකින් ඒවායෙහි දුර නිශ්චිතවම හඳුනාගැනීමට එම උපකරණයට හැකියි.

එම GPS තාක්ෂණය සොයාගත්තේ මහාචාර්ය බ්‍රැඩ්ෆර්ඩ් පාකින්සන් සහ අයිවන් ගෙටින් විසිනුයි. ඒ 1960 තරම් ඈත කාලයේදීයි. එය මුලින්ම භාවිත කළේ යුධ මෙහෙයුම් සඳහා වුණත් 1996 වන විට එම තාක්ෂණය ඕනෑම කෙනෙකුට භාවිත කිරීමට අවස්ථාව ලැබුණා. ඇත්තෙන්ම GPS උපකරණය පරිගණක තාක්ෂණයේ මවිතකර නිපැයුමක්. නමුත් ස්වංක්‍රීයව ගමන් මඟ හඳුනාගැනීමේ ක්‍රමය අලුත් දෙයක්ද?

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Globe: Based on NASA photo