Skip to content

පටුනට යන්න

කෘමීන්ගේ බොජුන්හල්

කෘමීන්ගේ බොජුන්හල්

කෘමීන්ගේ බොජුන්හල්

● කෘමීන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඉක්මනින් ආහාරයට ගත හැකි අධික කැලරි ප්‍රමාණයක් අඩංගු දේවල්වලටයි. කෘමීන්ව ඇදගැනීම සඳහා මල් එහි ඇති ආකර්ෂණීය බව හා දීප්තිමත් වර්ණයන් යොදාගන්නවා. එහි උන්ට ආහාර සඳහා පරාගත් බීම සඳහා මල්පැණිත් තිබෙනවා. ඇත්තෙන්ම විවිධ මල් උන්ට බොජුන්හල් වගෙයි.

රාත්‍රිය සිසිල් නිසා කෘමීන් උදෑසනට කම්මැළිකමක් දක්වනවා. ඒ නිසා උන්ට කඩිසරව වැඩ කරන්න සූර්යයාගේ ශක්තිය අවශ්‍යයි. බොහෝ මල්වලින් කෘමීන්ට අවශ්‍ය ආහාර ලබා දෙනවා පමණක් නෙවෙයි උණුසුම් වීමට හිරු කිරණද නොඅඩුව ලබා දෙනවා. ඊට අපි එක් උදාහරණයක් සලකා බලමු.

යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා සෑම තැනකම පාහේ දක්නට ලැබෙන ඩේසි මල්වලට කෘමීන් ඉතා ප්‍රිය කරනවා. බැලූ බැල්මට එහි එතරම් විශේෂත්වයක් පෙනෙන්න නොතිබුණත් ටිකක් කිට්ටු වෙලා බැලුවොත් ඒ තුළ මොන තරම් කාර්යයක් සිදු වෙනවාද කියා ඔබ දකියි. මෙම ඩේසි මල් එහි සිටින කෘමීන්ගේ දවසට හොඳ ආරම්භයක් ලබා දෙනවා. එහි ඇති සුදු පැහැති මල් පෙති මගින් සූර්ය රශ්මිය පරාවර්තනය කරන අතර මලෙහි මැද කොටසේ සිටින කෘමීන්ට එමගින් හොඳින් සූර්ය ශක්තිය උරාගැනීමටද හැකියාව ලබා දෙනවා. *

බොහෝ කෘමීන්ගේ මනා වර්ධනයට අවශ්‍ය පරාග හා මල්පැණිවලින් ඒවා අනූන නිසා උන් ඒ මල්වලට වැඩි කැමැත්තක් දක්වනවා. හිරු කිරණේ පහස විඳිමින් උදෑසන ආහාර වේලක් භුක්ති විඳීමට කෘමීන්ට මීට වඩා හොඳ තැනක් තිබෙනවාද?

ඒ නිසා දවස පුරාම වැල නොකැඩී එන කෘමීන් මෙම ඩේසි මල් මත වසනවා. එම සතුන් අතර කුරුමිණියන්, වර්ණවත් සමනල්ලු, පළඟැටියන් හා විවිධ වර්ගයන්ට අයත් මැස්සන් ඇතුළත්. ඇත්තෙන්ම ඔබ හොඳ නිරීක්ෂකයෙක් නොවෙයි නම් කෙදිනකවත් එම අලංකාර “බොජුන්හල්” වෙත යන කෘමීන්ව දැක බලා ගැනීමට හැකි වන්නේ නැහැ.

එමනිසා ඊළඟ වතාවේදී ඔබ එවැනි මලක් දකින විට ඒ තුළ සිදු වන දේ දැක බලා ගැනීමට උත්සාහයක් දරන්න. ඔබ එසේ කළොත් සියලු දේ නිර්මාණය කළ තැනැත්තා කෙරෙහි වූ ඔබේ අගය තව තවත් වැඩි වෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 4 ඡේ. අවට පරිසරයේ පවතින උෂ්ණත්වයට වඩා සමහර මල්වල මතුපිට පවතින උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.