Skip to content

පටුනට යන්න

කාලය සොයාගැනීමට යෝජනා 20ක්

කාලය සොයාගැනීමට යෝජනා 20ක්

මෙය කපා ළඟ තබාගන්න

කාලය සොයාගැනීමට යෝජනා 20ක්

“ඥානවන්තව කටයුතු කරන්න. ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—කොලොස්සි 4:5.

ජීවිතයේ වැදගත් කොට සලකන දේවල් තේරුම්ගැනීම හොඳ දෙයක්. නමුත් අභියෝගය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා උපකාරවත් වන යෝජනා කිහිපයක් බලන්න.

1 දිනපතා කළ යුතු කාර්යයන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරගන්න. ඔබ ඒවා කිරීමට බලාපොරොත්තු වන අනුපිළිවෙළට සටහන් කරගන්න. වැඩි කාලයක් වැය කළ යුතු දේවල් යටින් ඉරක් අඳින්න. කාර්යයක් නිම කළ පසු ඊට ලකුණක් දමන්න. අවසන් කිරීමට නොහැකි වූ කාර්යයන් ඊළඟ දවසේ ලැයිස්තුවට ඇතුළත් කරන්න.

2 ඔබ කිරීමට බලාපොරොත්තු වන දේවල් පිළිබඳ තොරතුරු එක තැනක සටහන් කරගන්න. දිනක් තුළ කළ යුතු කාර්යයන් දෙකක්, එකක් එක ස්ථානයකත් අනික තවත් ස්ථානයකත් සටහන් කළොත් සමහරවිට ඔබට ඉන් එක් කාර්යයක් අතපසු විය හැකියි. එමනිසා ඒ සියලු තොරතුරු එක් ස්ථානයක සටහන් කරන්න.

3 යම් කාර්යයක් ඉටු කිරීම සඳහා කළ යුතු දේවල් පියවරින් පියවර සටහන් කරන්න.

4 ඔබ වඩාත් වැදගත් කොට සලකන කාර්යයන් ඔබේ ලැයිස්තුවේ මුලින්ම සටහන් කරගන්න. එවිට වැදගත්කමින් අඩු දේවල් සඳහා කාලය සොයාගැනීම පහසුයි.

5 සාධාරණ ඉලක්ක තබාගන්න. ඔබ රැකියාවක් කරනවා නම් එහි ප්‍රධානියා වීමට උත්සාහ කරනවාට වඩා ඔබ කරන කාර්යයෙහි දියුණු වීමට උත්සාහ කරන්න.

6 ඔබ බලාපොරොත්තු වන සියලුම දේ කිරීම සඳහා කාලය මදි බව තේරුම්ගන්න. සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ අපි ආශාවෙන් කරන වැඩවලිනුයි. නමුත් එතරම් හදිස්සියක් නැති කාර්යයන් ගැන කුමක් කිව හැකිද? ඒවා නොකර සිටීමට හෝ වෙන කෙනෙකුට පැවරීමට නොහැකි නම් ඒ සඳහා අඩු කාලයක් වැය කිරීමට හැකිද කියා සිතා බලන්න. එවන් කාර්යයන් නිම කිරීමට මාස ගණනක් ගත වුණත් සමහරවිට ඒවා ඉටු නොකළත් ගැටලුවක් නැහැ. ඒ නිසා වැදගත් කාර්යයන් සඳහා වැඩි වෙලාවක් වෙන් කරන්න.

7 සතියක් හෝ දෙකක් තුළ කාලය වැය කළ ආකාරය ගැන සටහනක් තබාගන්න. වැඩි කාලයක් වැය වී තිබෙන්නේ අනවශ්‍ය දේවල්වලටද? කාලය නාස්ති වී ඇත්තේ යම් නිශ්චිත කාර්යයක් නිසාද නැත්නම් කාර්යයන් කිහිපයක් නිසාද? කාලය නාස්ති වී ඇත්තේ දවසේ නිශ්චිත වෙලාවකද නැත්නම් සතියේ යම් නිශ්චිත වෙලාවකද? එසේනම් ඔබේ කාලය නාස්ති කරන දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.

8 වැඩ අඩුවෙන් සැලසුම් කරන්න. එකම දවසක් තුළ පොළට යන්න, වාහනය අලුත්වැඩියා කරන්න, යහළුවන් සමඟ විනෝද වෙන්න, චිත්‍රපටයක් නරඹන්න සහ පොතක් කියවන්න ඔබ සැලසුම් කළහොත් දේවල් කඩිමුඩියේ කිරීමට සිදු වෙනවා මිස ඉන් ප්‍රීතියක් ලබන්න ඔබට නොහැකි වෙයි.

9 බාධාවන් අවම කරගන්න. බාධාවකින් තොරව යම් කාර්යයක් කිරීම සඳහා දවසේ යම් කාලයක් වෙන් කරන්න. හැකි නම් දුරකථනය ක්‍රියා විරහිත කරන්න. පරිගණකයක් භාවිත කරනවා නම් ඉන් නිතර පැමිණෙන සිහිගැන්වීම් ක්‍රියා විරහිත කරන්න.

10 අභියෝගාත්මක කාර්යයන් ඉටු කිරීම සඳහා ඔබ මානසිකවත් ශාරීරිකවත් ක්‍රියාශීලීව සිටින වෙලාවක් තෝරාගන්න.

11 ඔබ එතරම් කැමැත්තක් නොදක්වන කාර්යයන් හැකි විගස අවසන් කරන්න. ඉන්පසුව අනිකුත් කාර්යයන් කිරීම සඳහා එය ඔබට ලොකු ශක්තියක් වෙයි.

12 ඔබ බලාපොරොත්තු වන කාලයට වඩා වැඩි කාලයක් වෙන් කරන්න. විනාඩි 15කින් ඔබට යම් තැනකට යා හැකි වුණත් ඒ සඳහා විනාඩි 25ක් වෙන් කරන්න. යම් සාකච්ඡාවක් සඳහා පැයක් ගත වන බව ඔබ දැන සිටියත් ඒ සඳහා අමතර විනාඩි 20ක් වෙන් කරන්න. ඔබේ කාලසටහනේ යම් කාලයක් හිස්ව තබන්න.

13 වැදගත් කාර්යයන් මුලින්ම අවසන් කරන්න. මුලින්ම වඩා වැදගත් කාර්යයන් එකක් හෝ දෙකක් අවසන් කරන්න. එවිට ඔබට කිරීමට තිබෙන වැඩවලින් වැඩි කොටසක් අවසන් වී ඔබට ඉතුරු වන්නේ සුළු වැඩ කොටසක් පමණයි.

14 එක් කාර්යයක් අතරතුර තවත් කාර්යයක් කරන්න. රැවුල කපන අතරතුර ප්‍රවෘත්තිවලට සවන් දීම හෝ පටිගත කළ යමකට සවන් දෙන්න. දුම්රිය පැමිණීම බලා සිටින අතරතුර හෝ එහි ගමන් කරන අතරතුර පොතක් කියවන්න. ඒ කාලය මදක් විවේක ගැනීමටත් යොදාගත හැකියි. නමුත් කාලය නාස්ති වුණා යැයි සිතමින් පසුව ඒ ගැන කනගාටු නොවන්න.

15 වැඩවලින් හෙම්බත් වී ඇති බවක් ඔබට දැනෙනවා නම්, කිරීමට නියමිත සියලුම කාර්යයන් වෙන වෙනම කඩදාසි කිහිපයක ලියන්න. ඉන්පසු ඒවා “අදට නියමිත වැඩ” හා “හෙටට නියමිත වැඩ” කියා කොටස් දෙකකට වෙන් කරන්න. ඉන්පසු ඊළඟ දිනයේත් එසේම කරන්න.

16 ඔබට ප්‍රබෝධයක් ලබාගැනීම සඳහා විටින් විට මදක් විවේක ගන්න. එක දිගට පැය ගණනාවක් වැඩ කරනවාට වඩා යම් විවේකයක් ලැබීමෙන් පසුව කරන වැඩවලින් වැඩි ප්‍රතිඵල ලැබෙයි.

17 ඔබේ ගැටලුව ලියන්න. ඔබේ කාලය නාස්ති කරන ගැටලුවක් ගැන සඳහන් කරන්න. එය ඔබට බාධාවක් වන්නේ ඇයි කියා සටහන් කරන්න. ඊට විසඳුම් ලෙස ඔබට සිතෙන සියලුම දේ ලියන්න.

18 සෑම දෙයක්ම අකුරටම කිරීමට උත්සාහ නොකරන්න. ඔබ පටන්ගත් කාර්යය සාධාරණ මට්ටමින් ඉටු කර ඇත්නම් ඊළඟ කාර්යයට අවධානය යොමු කරන්න.

19 යම් කාර්යයක් ඉටු කිරීමට ඔබට සිතෙන තෙක් බලා නොසිට ඉක්මනින්ම එය ආරම්භ කරන්න.

20 තත්වයට අනුව සකස් වෙන්න. ඉහත සඳහන් තොරතුරු යෝජනා මිස නීති නොවෙයි. එමනිසා එම යෝජනා අත්හදා බලා ඔබේ තත්වයට අනුව ඒවා සකස් කරගන්න.