Skip to content

පටුනට යන්න

මම හොඳම මාර්ගය තෝරාගත්තා

මම හොඳම මාර්ගය තෝරාගත්තා

මම හොඳම මාර්ගය තෝරාගත්තා

පැවසුවේ ප්ලාමෙන් කොස්ටැඩිනොව්

එදා මම ඇහැරෙද්දි හොඳටම දවල් වෙලා. මම බලද්දී කාමරයේ හැම තැනම හිස් බෝතල්. ඒ විතරක් නෙවෙයි, සිගරට් ගඳින් මුළු කාමරයම පිරිලා. නමුත් කලින් දින රාත්‍රියේදී අපි පවත්වපු සාදයේ තිබූ ප්‍රීතියෙන් බිඳක්වත් පහුවෙනිදා ඉතුරු වෙලා තිබුණේ නැහැ. එදා තරම් පාළුවක්, තනිකමක් හා කලකිරීමක් වෙන කවදාකවත් මට දැනුණේ නැහැ. මේ හැම දෙයක්ම තේරුමක් නැති දේවල් කියලා මට හිතුණා. මම මේ තත්වෙට පත් වුණේ කොහොමද කියලා මගේ කතාවේදී ඔයාලට තේරෙයි.

මට වයස අවුරුදු 14ක් වෙද්දී චිත්‍ර කලාව සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න මම පටන්ගත්තා. වර්ෂ 1980 ග්‍රීෂ්ම ඍතුවේ මගේ තාත්තා කිව්වා වැඩි දුර අධ්‍යාපනය සඳහා බල්ගේරියාවේ ට්‍රොයාන් නගරයේ කලා විද්‍යාලයකට මාව ඇතුළත් කළා කියලා. ඒක අහලා මගේ සතුට ඉහවහා ගියා. ඒ අවුරුද්දේම මම වැඩිදුර අධ්‍යාපනය සඳහා අපේ නගරය වන ලොවෙච් ඉඳලා ට්‍රොයාන් නගරයට ගියා.

මට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් නිසා දෙමාපියන්ගෙන් ඈත් වෙලා ගත කරපු ඒ ජීවිතයට මම ගොඩක් ආස කළා. මම දුම්පානය කළා. යාළුවොත් එක්ක එකතු වෙලා වෙරි වෙනකම් බිව්වා. ඉස්කෝලේ නම් ඒවා තහනම් කරලයි තිබුණේ. ඒ වුණත් හොරෙන් ඒ දේවල් කරලා ලොකු සතුටක් ලැබුවා.

ඒ වගේම චිත්‍ර කලාවට තිබූ මගේ ආශාව එන්න එන්නම වැඩි වුණා. මගේ හැකියාවන් ඉහළ මට්ටමක තිබුණ නිසා ජනප්‍රිය වෙන්නද මට ලොකු ආශාවක් තිබුණා. ට්‍රොයාන් නගරයේ පිහිටි විද්‍යාලයේ වසර පහක් ඉගෙනීමෙන් පසු බල්ගේරියාවේ අග නගරය වන සොෆියාවල තිබූ කලා ආයතනයේ වැඩි දුර ඉගෙනගන්නත් මට ඕනෑ වුණා. බල්ගේරියාවේ ජනප්‍රියම පුහුණු මධ්‍යස්ථානය එයයි. ඒ විද්‍යාලයේ ඉගෙනගන්න මුළු රටෙන්ම තොරාගත්තේ අටදෙනෙක් විතරයි. වර්ෂ 1988දී ඒ අය අතරට මාවත් ඇතුළත් වීම ගැන මට ලොකු ආඩම්බරයක් දැනුණා! ඒ නිසා දවසක් මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මටම මෙහෙම කියාගත්තා. “ප්ලමෙන් මහත්මයා, දැන් නම් ඉතිං ඔයා ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වෙනවා වෙනවාමයි!”

පෙනුමේ වෙනසක්

සාමාන්‍යයෙන් අපේ රටේ කලාකරුවන් නිතරම අඳින්නෙ පළඳින්නෙ කලු පාට ඇඳුම්. ඒ වගේම ඔවුන් රැවුලයි කොණ්ඩෙයි දිගට වවනවා. ඔවුන් කුලියට ගත් පොඩි කාමරයක ජීවත් වෙන්නේ හරිම අපිළිවෙළටයි. ඉතිං වැඩි කල් යන්න කලින් මමත් ඒ වගේ ජීවත් වෙන්න හිතුවා. ඊටපස්සේ පැටව් තුන්දෙනෙක් එක්ක පූස් මවක් හා බලු පැටියෙකුත් ඇති කරන්න පටන්ගත්තා. මම ගොඩක් සල්ලි නාස්ති කරන්නත් පුරුදු වුණා.

ඒ මොනවා වුණත් චිත්‍ර කලාවට තිබුණ මගේ ආශාව නම් අඩු වුණේ නැහැ. මම හැමතිස්සෙම කළේ චිත්‍ර අඳින එකයි. මගේ සිතේ පහළ වුණ විවිධ සිතුවිලි සැඟවුණු අර්ථයකින් චිත්‍රයට නැගුවා. කාමරයේ බිත්තිවලත් විවිධ චිත්‍ර ඇන්දා. මම හිතුවේ ඉතා උසස් වෘත්තියක ආරම්භය මෙසේ විය යුතුයි කියායි.

මිතුරන් එක්ක මගේ කාමරයේ හැමතිස්සෙම වගේ සාද පැවැත්වුවා. ඒක මගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් වෙලා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී අපි සංගීතයට සවන් දෙමින් වෙරි වෙනකම් බිව්වා. විභාගවලට සූදානම් වෙද්දිත් අපි ඒ වගේ ප්‍රීති වුණා. අපේ සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වුණේ සංගීතය, චිත්‍ර කලාව හා ජීවිතයේ අරමුණයි. ඒ වගේම අධි බලවේගයන් හා වෙනත් ග්‍රහ ලෝක ජීවීන් ගැනත් අපි කතාබහ කළා. මගේ අලුත් සිතුවම් සඳහා හේතු වුණේ එවන් සාකච්ඡාවලදී මතු වූ සිතුවිලියි. සාදවලින් මම ලබපු ප්‍රීතිය හැමදාම තියෙනවාට මම කැමති වුණත් පසුදා උදෑසන වෙද්දී ඉන් බිඳක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ.

මේ විදිහට අවුරුදු දහයක් විතර ගෙවිලා ගියත් මට කිසිම සතුටක් දැනුණේ නැහැ. මා කළ සිතුවම්වලට විවිධ වර්ණයන්ගෙන් ආලෝකයක් ලැබුණත් මට දැනුණේ මගේ ජීවිතය එන්න එන්නම අඳුරු වන බවයි. මට ලොකු තනිකමක් දැනෙන්නත් පටන්ගත්තා විතරක් නෙවෙයි ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු වීමේ මගේ සිහිනයත් බොඳ වී යන්න පටන්ගත්තා. ජීවිතය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී මට විශාල මානසික පීඩනයක් දැනුණා. මට මේ විදිහට හැඟෙන්න පටන්ගත්තේ මගේ කතාවේ මුලදී පැවසූ සිද්ධියෙන් පසුවයි.

සැබෑ වෙනසක්

ඊටපස්සේ 1990දී ලොවෙච්වල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න මම හිතුවා. ඒ ප්‍රදර්ශනයට චිත්‍ර ඉදිරිපත් කරන්න කියලා සොෆියා කලා ආයතනයේදී මම හඳුනාගත් යනීටා නමැති ගැහැනු ළමයාටත් මම ආරාධනා කෙරුවා. ඇය ඉන්නෙත් ඒ නගරයේමයි. ප්‍රදර්ශනයෙන් පසුව කෑම ගැනීමට අපි දෙන්නා ළඟපාත අවන්හලකට ගියා. අපේ සාකච්ඡාව අතරතුරේදී යනීටා කිව්වා ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරනවා කියලා. ඒ ගැන ඇය කියපු දේවලින් වැඩිපුරම මගේ හිත ගියේ පාරාදීස පොළොවක් පිළිබඳ බයිබලයේ සඳහන් පොරොන්දුවටයි.

යනීටා, සොෆියා නගරයේ ඉඳන් දිගටම සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කළා. ඒ වගේම ඉඳහිට මටත් ඒ පොත් පත් ගෙනත් දුන්නා. “බලව! මම සියල්ල අලුත් කරමි” යන ප්‍රකාශනය මම උනන්දුවෙන් කියවපු විදිහත් “පාරාදීස පොළොවක සාදාකල් ජීවත් වන්න ඔබට හැක” යන පොත දවස් කිහිපයකින් කියවා අවසන් කළ විදිහත් මට තවම මතකයි. * දෙවිගේ පැවැත්ම පිළිබඳව මට කිසි සැකයක් තිබුණේ නැහැ. යාච්ඤා කරන විදිහ ඉක්මනින්ම ඉගෙනගන්නත් මට ඕනෑ වුණා. දණ ගහලා යෙහෝවා දෙවිට මගේ දුක කියපු මුල්ම යාච්ඤාව මට අදටත් මතකයි. දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. මා තුළ තිබූ පාළුව පළවා හැර ඒ වෙනුවට ප්‍රීතිය හා සාමය අද්දකින්න පටන්ගත්තේ ඒ නිසයි.

සොෆියා නගරයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යුවළක්ව යනීටා මට හඳුන්වලා දුන්නා. ඒ අය මාත් එක්ක බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. ඔවුන්ගේ රැස්වීම්වලටත් මට ආරාධනා කළා. වර්ෂ 1991 ජූනි මාසයේදී ඔවුන්ගේ රැස්වීමකට ගිය මුල්ම අවස්ථාව මට හොඳට මතකයි. ඒ රැස්වීම පටන්ගන්න පැය දෙකකට කලින් මම එතැනට ගිය නිසා ඒ ළඟ තිබුණ උද්‍යානයකට වෙලා හිටියා. මගේ පෙනුම හරිම අපිළිවෙළට තිබුණ නිසා රැස්වීමට එන අය මාව කොහොම පිළිගනියිද කියලා මම හරිම දෙගිඩියාවෙනුයි හිටියේ. නමුත් රැස්වීමට ආපු හැම කෙනෙක්ම මාව පිළිගත්ත විදිහ මාව පුදුමයට පත් කළා. එදා ඉඳන් මම අත් නෑර රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා වගේම බයිබල් පාඩම සතියට දෙපාරක් කළා.

මටම කියලා බයිබලයක් ලැබුණු ඒ දවසේ ඇති වුණ සතුට කියලා නිම කරන්න බැහැ. බයිබලයේ කන්ද උඩ දේශනාවේ අඩංගු ප්‍රඥාවන්ත මෙන්ම පුදුමාකාර තොරතුරු මම වෙන කිසි පොතකින් කියවා නැහැ. පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කිරීමට බයිබලය සතු ප්‍රබල හැකියාව බයිබලය පාඩම් කරන අතරතුරේදී මම පෞද්ගලිකව අද්දැක්කා. එෆීස 4:23හි එය සඳහන් වී තිබෙන්නේ මේ විදිහටයි. “දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.” ඒ අනුව මම ඉක්මනින්ම දුම්පානය නතර කළා. පිළිවෙළට අඳින්න පළඳින්න පටන්ගත්තා. මම කොච්චර වෙනස් වුණාද කිව්වොත් දිනක් මාව මුණගැහෙන්න දුම්රියපොළට ආව මගේ තාත්තට මාව හඳුනාගන්න බැරිව මාව පහු කරගෙන ගියා.

මම අඳින පළඳින ආකාරය විතරක් නෙවෙයි හරිම අපිළිවෙළට තිබූ මගේ කාමරයත් පිළිවෙළකට තියන්නත් මම උත්සාහ කෙරුවා. ඒ නිසා මගේ කාමරයේ පිරිලා තිබුණ සිගරට් ගඳ නැතුව ගියා. ඇස් තුනක් තිබුණ පිටසක්වල ජීවියෙකුගේ රූපය ඇතුළු බිත්ති පුරා මම ඇඳපු නොයෙකුත් චිත්‍ර සුදු තීන්ත ගා මකා දැමුවා.

මගේ මේ වෙනස නිසා කලින් සිටි මිතුරන් විගස මගෙන් ඈත් වුණත් ඔවුන්ට වඩා හොඳ සැබෑ මිතුරන් බොහොමයක් ක්‍රිස්තියානි රැස්වීම්වලින් මට හමු වුණා. ඔවුන් අදටත් මගේ හොඳ යාළුවන්. ඔවුන්ගෙන් ලැබූ උපකාර නිසා ඉක්මනින්ම මගේ ජීවිතය වෙනස් කරගත්තා. අවසානයේදී 1992 මාර්තු 22වෙනිදා බල්ගේරියාවේ ප්ලොව්ඩිව් නගරයේ පැවති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පළමු එක්රැස්වීමේදී මම බව්තීස්ම වුණා.

නැවතත් ලොවෙච්වලට

චිත්‍ර ශිල්පියෙකුට කුඩා නගරයක තම වෘත්තිය කරගෙන යෑම දුෂ්කර දෙයක් බව මම දැනගෙන සිටියත් උපාධිය ලැබීමෙන් පසු නැවතත් ලොවෙච්වලට යන්න මම තීරණය කළා. ඒ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වන අතරම දේවරාජ්‍යයට මුල් තැන දීම පහසු දෙයක් නොවන බව මම තේරුම්ගත්තා. ඒ නිසා මගේ සැලසුම් වෙනස් කරගෙන ජනයාට බයිබලය පිළිබඳව උගන්වන්න මට ඕනෑ වුණා. මම උපාධිය ලබන්න අවුරුදු තුනකට කලින් යනීටා ඇගේ උපාධිය ලබාගෙන ලොවෙච්වලට ගිහිල්ලා හරිම උනන්දුවෙන් ජනයාට බයිබල් සත්‍යයන් උගන්වමින් සිටියා. ඒ කාලයේ සාක්ෂිකාරියක් හැටියට ලොවෙච්වල සිටියේ ඇය විතරයි.

ටික කාලයකට පස්සේ මම ලොවෙච්වලට යද්දී බයිබලය පාඩම් කරන කුඩා කණ්ඩායමක් එහෙ තිබුණා. බයිබල් සත්‍යයන් ගැන ගෙයින් ගෙට ගොස් ප්‍රකාශ කිරීමත් ඒ ප්‍රදේශයේ ජනයාට ඒවා ඉගැන්වීමත් මට ලොකු සතුටක් ගෙන දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ සම්පූර්ණ කාලය ඒ සේවය සඳහා කැප කරන්න මම තීරණය කළා.

කල් යද්දී යම් අභියෝගයන්ට මුහුණ දීමටද අපිට සිදු වුණා. ආගමික සංවිධානයක් ලෙස බල්ගේරියාවේ අපව ලියාපදිංචි කර තිබුණත් 1994දී ජනමාධ්‍යයන් මගින් සිදු කළ මහා පරිමාණයේ බොරු ප්‍රචාරයන් නිසා එය අවලංගු කළා. * විටින් විට සාක්ෂිකරුවන්ව පොලිස්සියට කැඳවා ප්‍රශ්න කළ අතර අපගේ පොත් පත්ද රාජ සන්තක කළා. ඒ කාලයේදී ප්‍රසිද්ධ ස්ථානවල රැස්වීම් පැවැත්වීම තහනම් කරලයි තිබුණේ. ඒ වුණත් අපි යනීටාගේ නිවසටම සම්බන්ධ පොඩි කාමරයක දිගටම රැස්වීම් පැවැත්වුවා. එක දවසක් ඒ කාමරයේ 42ක් රැස් වුණා. අපි ගීතිකා කියද්දී අහළ පහළ අයට ඇහෙයි කියලා ඒකේ ජනේල් දොරවල් වහනවා. ඒ නිසා රස්නෙ වැඩි දවස්වලට ඇතුළේ අයව දහඩියෙන් තෙත් වෙනවා. ඒ වුණත් එකට රැස් වෙන එක අපිට ලොකු ප්‍රීතියක් ගෙන දුන්නා.

යෙහෝවා දෙවිගෙන් මා ලැබූ ආශීර්වාද

යනීටා දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් පෙන්වූ උද්‍යෝගය මම ගොඩක් අගය කරනවා. කල් යද්දී මට යනීටා කෙරෙහි ආදරයක් ඇති වුණා. පසුව අපි 1996 මැයි 11වෙනිදා විවාහ වුණා. අපි දෙදෙනාගේ පෞද්ගලිකත්වයන් එකිනෙකට වෙනස් වුණත් හරිම සහයෝගයෙන් කටයුතු කරනවා. ඇය මගේ හොඳම යාළුවයි. ඒ වගේම ‘අනර්ඝ මැණික්වලටත් වඩා අගනා’ ආදරණීය බිරිඳක් ලබා දීම ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.—හිතෝපදේශ 31:10.

මා මුලින් සිහින මැවූ ආකාරයේ ජීවිතයක් මගේ කලින් යාළුවන් අත් කරගෙන තිබෙනවා. නමුත් ඊට වඩා හොඳ ජීවිතයක් භුක්ති විඳින්න ලැබීම ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. ජීවිතයේ අරමුණ තේරුම්ගැනීමට බොහෝදෙනෙකුට උපකාර කිරීමට මට හැකි වී තිබෙන අතර දැන් ඔවුන් මගේ සහෝදර සහෝදරියන් වගෙයි. කලාකරුවෙකුට ලැබෙන ජනප්‍රියත්වයට හෝ ගරු නම්බු නාම සමඟ සසඳද්දී දෙවිට සේවය කිරීමෙන් මම ලබා තිබෙන ආශීර්වාද මොන තරම්ද! ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨතම කලාකරුවා වන යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ලැබීම මා ලැබූ ලොකුම ප්‍රීතියයි!

[පාදසටහන්වල]

^ 14 ඡේ. මෙම ප්‍රකාශන දෙකම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් සම්පාදිතයි. “පාරාදීස පොළොවක සාදාකල් ජීවත් වන්න ඔබට හැක” යන පොත දැන් මුද්‍රණය නොකෙරේ.

^ 22 ඡේ. වර්ෂ 1998දී ස්ට්‍රාස්බර්ග්හි පිහිටි මානව හිමිකම් පිළිබඳව යුරෝපීය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව බල්ගේරියාවේ ලියාපදිංචි කළා.

[12වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ යනීටා සමඟ