Skip to content

පටුනට යන්න

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

යෞවන අය අසති

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

හෙදර් නමැති යෞවනිය මයික්ව දැන හඳුනා ගෙන මාස දෙකක් ගත වුණා විතරයි. නමුත් ඇයට හැඟෙන්නේ ඇය මයික්ව කාලයක් තිස්සේ හඳුනනවා වගෙයි. ඔවුන් නිතරම පාහේ කෙටි පණිවිඩ හුවමාරු කරගන්නවා වගේම පැය ගණන් දුරකථනයෙනුත් කතා කරනවා. මේ දෙන්නා නම් හොඳට ගැළපෙනවා වගෙයි! දිනක් ඔවුන් තම කාර් එක මදක් අඳුරු ස්ථානයක නතර කරයි. එහිදී හෙදර් සමඟ කතා කරනවාට වඩා දෙයක් මයික්ට අවශ්‍ය බවක් පෙනෙයි.

පසුගිය මාස දෙක තුළ ඔවුන් දෙදෙනා අත් අල්ලාගෙන සිටීම හා පුංචි හාදුවක් දීම හැර ඉන් එහාට ගියේ නැහැ. ඉන් එහාට යෑමට ඇයට කැමැත්තක් තිබුණෙත් නැහැ. ඒ වුණත් මයික්ව නැති කරගන්නත් ඇය කැමති නැහැ. මයික් තරම් ඇයව වර්ණනා කරපු, ඇයට ආදරය කරපු කෙනෙක් තවත් නැහැ! ඒ නිසා අවසානයේදී ඇය මෙහෙම හිතන්න පටන්ගන්නවා. ‘අපි අතර මොන දේ සිද්ධ වුණත් අපි දෙන්නට දෙන්නා හරිම ආදරෙයිනේ.’

ඊළඟට වෙන්න යන්නේ කුමක්ද කියා ඔබට සිතාගන්න පුළුවන්. නමුත් ඔබට තේරුම්ගැනීමට නොහැකි කාරණයක්ද මෙහි තිබෙනවා. එනම් ඔවුන් ලිංගික සම්බන්ධකමක් පැවැත්වූවොත් පසුව එය ඔවුන්ගේ ජීවිතවලට ඇති කරන නරක බලපෑමයි. එය අපි මෙසේ තේරුම්ගනිමු.

ඔබ ගුරුත්වාකර්ෂණය නමැති භෞතික නීතිය නොතකා උස් තැනක සිට පහතට පැන්නොත් එහි අනිසි ප්‍රතිඵල විඳින්න සිදු වෙනවා. එලෙසම “වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි” කියා දෙවි දී ඇති සදාචාර නීතිය නොසලකා හැරීමෙන් සිදු වන්නේද එයයි. * (1 තෙසලෝනික 4:3) ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. ‘වේශ්‍යාකම් කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.’ (1 කොරින්ති 6:18) විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් කෙනෙකුට මුහුණ දීමට සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල තුනක් ගැන කල්පනා කර ඒවා පහත සඳහන් කරන්න ඔබට හැකිද?

1. ......

2. ......

3. ......

ලිංගිකව බෝ වෙන රෝග, අනවශ්‍ය ගැබ්ගැනීම් හෝ දෙවිගේ අනුමැතිය අහිමි වීම වැනි දේවල් ඔබ ඉහත සඳහන් කළා විය හැකියි. ඒවා ඇත්තෙන්ම දෙවිගේ නීති කඩ කිරීමෙන් අත් වන භයානක ප්‍රතිඵලයි.

ඒ ගැන ඔබ දන්නවා වුණත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැකියි. ‘මට මුකුත් වෙන්නේ නැහැ. ඔය හැමෝම ඉතිං එහෙම කරන්නේ’ කියා ඔබ සිතින් තර්ක කළ හැකියි. තමන් ලැබූ ලිංගික අද්දැකීම් ගැන ඔබේ පාසැල් මිතුරන්ද හරි ඉහළින් ඔබට පවසන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ඒ ගැන කිසි කනගාටුවක් නැති බවත් ඔවුන් ඔබට ඇඟවිය හැකියි. ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් දෙදෙනා තවත් කිට්ටු වන බවක් හෙදර්ට මෙන් ඔබටද දැනෙන්න පුළුවන්. අනික් හැම දේකටම වඩා ‘ඔබ තවමත් ලිංගික අද්දැකීමක් ලබලා නැද්ද’ කියා ඔබේ යාළුවන් සමච්චල් කරනවාටද ඔබ අකමැති විය හැකියි. ඒවායින් ඔබට ඇති වන පීඩනයෙන් මිදීමට එවැනි දේකට ඉඩ දීම හොඳයි කියා ඔබ සිතනවාද?

ටිකක් මේ ගැනද කල්පනා කරන්න. හැමෝම ලිංගික සම්බන්ධකම් පවත්වනවා කියා කියන්න බැහැ. යෞවනයන් විශාල පිරිසක් එවන් ක්‍රියාවල යෙදෙන බව ඔබට අසන්න ලැබී ඇති. උදාහරණයකට ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ යෞවනයන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක්ම ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙනවා. නමුත් අනික් අතට සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙක් එසේ කර නැති බව ඔබ දුටුවාද? සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ එවන් ක්‍රියාවල හවුල් වූ යෞවනයන් පහත සඳහන් තිත්ත ප්‍රතිඵල එකකට හෝ කිහිපයකට මුහුණ දී ඇති බවයි.

තිත්ත ප්‍රතිඵල අංක 1: දැඩි කනගාටුව. විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති අයගෙන් බොහෝදෙනෙක් තමන් එසේ කිරීම ගැන දැඩි සේ කනගාටු වන බව පවසනවා.

තිත්ත ප්‍රතිඵල අංක 2: අවිශ්වාසය. ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසු ‘ඔහු හෝ ඇය තව කවුරුන් සමඟ හෝ එසේ සිට ඇත්ද කියා’ දෙදෙනාම සැක කිරීමට පටන්ගනියි.

තිත්ත ප්‍රතිඵල අංක 3: මඟහැර යෑම. ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් පසු විශේෂයෙන්ම පිරිමි ළමුන් තම පෙම්වතියව අත්හැර වෙනත් කෙනෙකු සමඟ හාදකම් පවත්වන්න පෙලඹෙයි.

තිත්ත ප්‍රතිඵල අංක 4: කලකිරීම. සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් කැමති වන්නේ තමාව ආරක්ෂා කරන කෙනෙකුට මිස තමාගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා කෙනෙකුට නොවෙයි.

ඒ තොරතුරුවලට අමතරව මේ ගැනත් කල්පනා කරන්න: පිරිමි ළමයින් වැඩිදෙනෙක් පවසන්නේ තමන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති ගැහැනු ළමයෙකු සමඟ නම් තමන් කිසි දිනක විවාහ නොවන බවයි. ඒ ඇයි? ඔවුන් කැමැති චරිතවත් ගැහැනු ළමයින්ට නිසයි.

එම තොරතුරු දැනගැනීමෙන් සමහරවිට ඔබ පුදුම වෙන්න ඇති. ඉන් ඔබ තුළ කෝපයක් පවා ඇති වෙන්න ඇති. එසේනම් ඔබ ගැහැනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් මේ ගැනත් මතක තබාගන්න. චිත්‍රපටවල හා රූපවාහිනි වැඩසටහන්වල පෙන්වන්නේ විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය දෙයක් බවයි. අද තිබෙන විනෝදය ගෙන දෙන දේවලින්ද මවා පෙන්වන්නේ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සැබෑ ප්‍රේමය පෙන්වීමක් ලෙසයි. නමුත් මෝඩ වී ඒවාට හසු වෙන්න එපා! ඔබව ඒ සඳහා පොලඹවන අය සිතන්නේ ඔවුන්ගේ වාසිය ගැන මිස ඔබේ යහපත ගැන නොවෙයි. (1 කොරින්ති 13:4, 5) ඒ ගැන මෙසේ සිතන්න. ඔබට ඇත්තටම ප්‍රේම කරන කෙනෙක් ඔබව මානසිකව හා ශාරීරිකව අනතුරේ දමයිද? (හිතෝපදේශ 5:3, 4) ඔබට ආදරය කරන කෙනෙක් ඔබ සහ දෙවි අතර තිබෙන මිත්‍රත්වය අනතුරේ හෙළයිද?—හෙබ්‍රෙව් 13:4.

එවැනි ලිංගික සම්බන්ධයකට ඉඩ දුන්නොත් එය හරියට ඔබ සතු අනර්ඝ දෙයක් විසි කර දමනවා හා සමානයි. (රෝම 1:24) එවන් ක්‍රියාවක හවුල් වීමෙන් පසු බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන් සතු වටිනා දෙයක් සොරකම් කිරීමට ඉඩ දී බලා සිටියා හා සමානවයි. තමන් ගැන නොවටිනා බවක් හා හිස් බවක් ඔවුන්ට දැනීම පුදුමයක් නොවෙයි! එමනිසා ඔබට එවැනි දෙයක් සිදු වීමට කෙදිනකවත් ඉඩ දෙන්න එපා! “ඔයා මට ආදරේ නම් බැහැයි කියන්නේ නැහැ” කියමින් කෙනෙක් ඔබව පොලඹවා ගැනීමට උත්සාහ කළොත් ස්ථිරව මෙසේ පවසන්න. “ඔයා මට ආදරේ නම් මෙහෙම දෙයක් මගෙන් ඉල්ලන්නේ නැහැ!”

ඔබේ මුළු ශරීරයම ඉතාමත් අනර්ඝ බව මතක තබාගන්න. එමෙන්ම වේශ්‍යාකමින් වැළකී සිටින්න කියා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීමට තරම් ඇතුළාන්ත ශක්තියක් ඔබට තිබෙන බව පෙන්වන්න. එවිට විවාහ වීමට පෙර එවන් සම්බන්ධකම් පවත්වා ඇති අය මුහුණ දෙන කනස්සල්ල, පසුතැවිල්ල හා අනාරක්ෂිත බව අත් නොදැක විවාහය තුළ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සතුටක් ලබන්න ඔබට පුළුවන්.හිතෝපදේශ 7:22, 23; 1 කොරින්ති 7:3.

[පාදසටහන]

^ 6 ඡේ. බයිබලයේ සඳහන් “වේශ්‍යාකම” යන ක්‍රියාවට විවාහක යුවළක් අතර පවත්වන ලිංගික සම්බන්ධකම් හැර අනික් සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාවන් ඊට ඇතුළත්. එයට මුඛය සහ ගුද මාර්ගය යොදාගනිමින් කරන ලිංගික ක්‍රියා මෙන්ම වෙනත් කෙනෙකුගේ ලිංගික අවයවයන් අතගෑමද ඇතුළත්.

සිතා බලන්න

● විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදි ඇයි?

● එවන් ක්‍රියාවක හවුල් වන්න කවුරුන් හෝ ඔබට ආරාධනා කළොත් ඔබ කරන්නේ කුමක්ද?

[27වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන් පවසන දේ

‘මම කැමති නැහැ’ කියලා කිව්වට මදි. අනික ඔබ එහෙම කියන්නේ ටිකක් අදිමදි කරන ස්වභාවයෙන් නම් ඒකෙන් පේන්නේ ඔබ ඊට දැඩි අකමැත්තක් නැති බවයි. ඒ නිසා එකහෙළාම එය ප්‍රතික්ෂේප කරන්න!”

‘කැමති නැහැ’ කියලා කියන එකත් හැමතිස්සේම හරියන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති පැහැදිලි කරන එකත් සමහර වෙලාවට පලක් නැහැ. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ, අමාරු වුණත් එතැනින් පිට වෙලා යන එකයි.”

“ඔබේ හොඳ ගුණාංග නිසා ඔබ කැපිලා පේනවා. ඒ නිසා පරිස්සම් වෙන්න. වැරදි දෙයක් කරන්න ආරාධනා කරද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔබ තුළ ඇති යහපත් ගුණාංග අගය කරන්න. ඒවා අහිමි කරගන්න එපා!”

[පින්තූර]

ඩිආනා

ජේම්ස්

ජොෂුවා

[28වන පිටුවේ කොටුව]

ඔබ ඇත්තටම ඇයට ආදරේ බව පෙන්වන්න

ඔබ ඇත්තටම ඇය ගැන සැලකිලිමත් නම් ඔබ

ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් බව පෙන්වයි

ඥානවන්තව කටයුතු කරමින් වරදට පෙලඹෙන අවස්ථා මඟහරියි

ඇයට ප්‍රේම කරමින් ඇය කැමති දේවල් ගැන සැලකිලිමත් වෙයි

ඔබ එසේ කරනවා නම් ඇයද පුරාණයේ සිටි ගුණ යහපත් කාන්තාවක් වූ ෂුලේමිය ස්ත්‍රිය මෙන් ඔබ ගැන ආදරයෙන් මෙසේ පවසයි. “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකාරයා ඔහුයි.” (සලමොන්ගේ ගීතිකාව 2:16) ඉන් පෙන්වන්නේ ඔබ ඇත්තෙන්ම ඇගේ හිමිකාරයා බවයි.

හිතෝපදේශ 22:3; 1 කොරින්ති 6:18; 13:4-8 යන බයිබල් වගන්ති බලන්න.

[28වන පිටුවේ කොටුව]

යෝජනා

මතක තබාගැනීමට කදිම ප්‍රතිපත්තියක්: ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ කටයුතු කරන ආකාරය ඔබේ දෙමාපියන් දැකීමෙන් ඔබ ලැජ්ජාවට පත් වෙයි නම් ඉන් පැහැදිලි වන්නේ ඔබ එවන් ක්‍රියාවකින් වැළකී සිටිය යුතු බවයි.

[28වන පිටුවේ පින්තූරය]

විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, දෙවි දී ඇති වටිනා ත්‍යාගයක් අගය නොකරනවා හා සමානයි. එය හරියට ඔබට ලැබුණු වටිනා චිත්‍රයක් පාපිස්සක් සඳහා පාවිච්චි කරනවා වගෙයි