Skip to content

පටුනට යන්න

ආදායමට අනුව සකස් වන්න

ආදායමට අනුව සකස් වන්න

ආදායමට අනුව සකස් වන්න

ආදායමට අනුව ජීවත් වීමට නම් හොඳින් සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. එසේ කිරීමේ වැදගත්කම ගැන යේසුස් මෙසේ පැවසුවා. “කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28, 29) එම ප්‍රතිපත්තිය අදාළ කරගනිමින් ඔබේ ආදායමට අනුව ‘වියදම් ගණන් බැලීම’ සඳහා අයවැයක් සකස් කරන්න.

ඔබේ වැටුප ලැබුණු විගස දැන් සහ ඉදිරියේදී කිරීමට තිබෙන ගෙවීම් අනුව මුදල් වෙන් කරන්න. ( 8වන පිටුවේ ඇති කොටුව බලන්න.) එසේ කිරීමෙන් ඔබ වියදම් කරන්නේ කුමන දේවල් සඳහාද කියාත් අත්‍යවශ්‍ය නොවන දේවලට කොතරම් මුදලක් වැය කරනවාද කියාත් ඔබට තේරුම්ගත හැකි වෙයි. එවිට අනවශ්‍ය වියදම් කපාහැරීමට ඔබට හැකියි.

ඔබේ වැටුපට සරිලන අයවැයක් සකස් කරගැනීම සඳහා මෙම යෝජනා ක්‍රියාත්මක කර බලන්න.

මිල දී ගැනීමේදී නැණවත් වන්න

රාහුල්ගේ රැකියාව අහිමි වූ පසු ඔහුගේ බිරිඳ වියදම් ගැන ඉතා කල්පනාකාරී වුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම වට්ටම් සහිත භාණ්ඩ මොනවාද කියලාත් එකක් ගත්තාම තවත් එකක් නොමිලේ දෙන භාණ්ඩ මොනවාද කියලත් හොඳට හොයලා බලනවා.” පහත සඳහන් යෝජනාද සලකා බලන්න.

ලාබෙට ගත හැකි එළවළු වැනි දේවල් අනුව ආහාර පිළියෙල කරන්න.

හැකි තාක් දුරට නිවසේදීම ආහාර පිළියෙල කරගන්න.

මිල අඩු කරන කාලවලදී අවශ්‍ය දේවල් වැඩිපුර ගෙනත් තබාගන්න.

තොග කඩවලින් මිල දී ගන්න.

හොඳ තත්වයේ තිබෙන ‘සේල්’ දමා ඇති ස්ථානවලින් ඇඳුම් මිල දී ගන්න.

භාණ්ඩවල මිල අඩුවට ඇති ප්‍රදේශවලට ගොස් මිල දී ගන්න. නමුත් ප්‍රවාහන ගාස්තු ගැනද සැලකිලිමත් වෙන්න.

සාප්පු යන වාර ගණන අඩු කරන්න. *

එය සටහන් කරගන්න

“අපි අයවැයක් සකස් කරගත්තා. ගෙවිය යුතු බිල් වගේම මාසය තුළ වෙනත් වියදම් ගැනත් අපි වාර්තාවක් තියාගත්තා” කියා කෙවින් පවසනවා. ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඊට මෙසේද එක් කළා. “ගෙදරට අවශ්‍ය බඩු ගන්න ගියාම කොච්චර මුදලක් වියදම් කරන්න පුළුවන්ද කියලා මම දන්නවා. සමහර වෙලාවට ගෙදරට හරි, දරුවන්ට හරි, අමතර දෙයක් ගන්න ඕනේ වුණාම මම අපේ අයවැය දිහා බලලා මෙහෙම හිතනවා. ‘මට දැන් මේක ගන්න සල්ලි නැහැ. ඒ නිසා ලබන මාසේ වෙනකල් ඉන්න වෙනවා.’ වියදම් ගැන වාර්තාවක් තබාගැනීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත්!”

ගැනීමට පෙර සිතන්න

යමක් මිල දී ගැනීමට පෙර නිතරම මෙසේ සිතන්න. ‘ඇත්තටම මට මේක අවශ්‍යද? මම මේක ගන්නේ පරණ එක පාවිච්චි කරන්න බැරි නිසාද නැත්නම් අලුත් එකකට ආශා නිසාද?’ යමක් භාවිත කරන්නේ ඉඳහිට නම් මිල දී ගන්නවාට වඩා කුලියට ගන්න පුළුවන්ද? නිතර භාවිත කරන දෙයක් නම් පාවිච්චි කළ නමුත් හොඳ තත්වයේ තිබෙන එකක් මිල දී ගන්න පුළුවන්ද?

ඉහත සඳහන් යෝජනා ඉතා සුළු දේවල් සේ පෙනුණත් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ඔබට විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. ඉන් ඉගෙනගත හැකි වටිනා ප්‍රතිපත්තිය වන්නේ සුළු මුදලක් ඉතිරි කිරීමට පුරුදු වීමෙන් විශාල මුදලක් පවා ඉතිරි කිරීමට පුරුදු වීමයි.

විවිධ ක්‍රම අත්හදා බලන්න

වියදම් අඩු කරගැනීමට හැකි ක්‍රම ගැන සිතන්න. උදාහරණයකට මිෂෙල් මෙවැනි දෙයක් පවසනවා. “අපිට කාර් දෙකක් තිබුණ නිසා එකක් විකුණුවා. ඒ වගේම ඉන්ධන පිරිමහගන්න ඕනේ නිසා එක ගමනකදී වැඩ කිහිපයක් කරගන්න සැලසුම් කළා.” ඊට අමතරව පහත සඳහන් ක්‍රම ඔබටත් ක්‍රියාත්මක කළ හැකිද කියා බලන්න.

● ගෙවත්තේ වගා කරන්න.

● උපකරණවල කල් පැවැත්ම සඳහා ඒවා නිසි ලෙස භාවිත කරන්න.

● ගමනක් ගොස් නිවසට පැමිණි විගස ඇඳුම් මාරු කරන්න. එසේ කිරීමෙන් ඒවායේ අලුත් පෙනුම දිගු කල් පවතියි.

අන් අයගේ උපකාර ලබන්න

රැකියා අහිමි වූ බොහෝදෙනෙක් තනිවම ඒ ගැටලුවට මුහුණ දීමට උත්සාහ කරනවා. නමුත් කෙවින්ගේ තත්වය ඊට වඩා වෙනස්. වැඩිහිටි දරුවන් ඇතුළු ඔහුගේ මුළු පවුලම ඔහුට විශාල සහයෝගයක් දුන්නා. ඒ ගැන කෙවින් මෙසේ පවසනවා. “අපි ගොඩක් දේවල් බෙදා ගෙන කටයුතු කරන්න පුරුදු වුණා. ඒ නිසා අපි අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් වුණා.”

කෙවින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඔහු මෙවැනි දෙයක් පවසනවා. “ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියාම මට ලොකු ශක්තියක් ලැබෙනවා. එහේ ඉන්න හැම කෙනෙක්ම හරිම කරුණාවන්තයි. ඒ අයගෙන් ලැබුණ උපකාර නිසා මට තේරුණා මේ ප්‍රශ්නෙදී මම තනිවෙලා නැහැ කියලා.”—යොහන් 13:35.

දෙවි කෙරෙහි විශ්වාසය තබන්න

රැකියා අහිමි වී ඇති බොහෝදෙනෙකුට හැඟෙන්නේ ඔවුන්ගේ ස්වාමිවරුන් ඔවුන්ට කළේ විශාල අසාධාරණයක් කියායි. කලින් සඳහන් කළ රාඋල්ටත් හැඟුණේ එසේමයි. දෙවරක්ම ඔහුට රැකියාව අහිමි වුණා. දෙවැනි වතාවේදී ඔහුට හැඟුණේ මේ ලෝකයේ කිසිම දෙයක් ගැන ස්ථිර විශ්වාසයක් තියන්න බැරි බවයි. නමුත් රැකියාවක් නොමැතිව ගත කළ කාලය තුළදී ඔහු විශේෂ දෙයක් කළා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “ඒ කාලයේදී මම යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගත්තා. ඒ නිසා මට තේරුණා අපේ අනාගතය සුරක්ෂිත වෙන්නේ දෙවි කෙරෙහි විශ්වාසය කිරීමෙන් විතරයි කියලා.”

රාඋල්ද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ප්‍රේමණීය පියෙක් බඳු දෙවි කෙරෙහි ඔහුට එතරම් විශ්වාසයක් තැබීමට හැකි වුණේ ඔහු බයිබලයෙන් ඉගෙනගත් දේවල් නිසයි. එහි දෙවි දී තිබෙන මේ පොරොන්දුව ඔහු විශ්වාස කළා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි.” (හෙබ්‍රෙව් 13:5) තත්වයන් දුෂ්කර වුණත් ඔවුන් කළ දේ ගැන රාඋල් මෙසේ පවසනවා. “අපිට එදිනෙදා අවශ්‍ය දේවල් ලබාගන්න උපකාර ඉල්ලලා අපි දෙවිට යාච්ඤා කළා. ඒවා ලැබෙනකොට ඒවායින් සතුටු වෙන්න අපි ඉගෙනගත්තා.” ඔහුගේ බිරිඳ බර්තාද ඒ ගැන මෙසේ පවසනවා. “රාඋල්ට කවදා රස්සාවක් ලැබෙයිද කියලා මම හැමදාම කල්පනා කළා. ඒ වුණත් අපේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන විදිහ අපි හැම දවසකම අද්දැක්කා. අපිට ඉස්සර තරම් දේවල් නැති වුණත් දැන් අපේ ජීවිත හුඟක් සරල වෙලා තියෙනවා.”

කෙවින් බයිබලයෙන් ඉගෙනගත් දේවල් නිසා ඔහු මුහුණ දුන් ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔහුට හැකි වී තිබෙනවා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “සමහර වෙලාවට අපි හිතන්නේ හොඳ රැකියාවක් තියෙනවා නම්, බැංකුවේ හුඟක් සල්ලි තියෙනවා නම් සමාජයේ හොඳ තැනක් තියෙනවා නම් අපේ අනාගතය සුරක්ෂිතයි කියලයි. ඒත් කෙනෙකුගේ අනාගතය ඇත්තටම සුරක්ෂිත වෙන්නේ ඔහුට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වය තිබුණොත් විතරයි කියලා මම තේරුම්ගත්තා.” *

[පාදසටහන්වල]

^ 13 ඡේ. අධ්‍යයනයකින් හෙළි වුණේ පාරිභෝගිකයන් මිල දී ගන්නා භාණ්ඩවලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් කලින් සැලසුම් නොකළ ඒවා බවයි.

^ 30 ඡේ. මුදල් පාලනය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා මේ සමඟ බෙදාහැරෙන 2009 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 10-12 දක්වා පිටු බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපිට එදිනෙදා අවශ්‍ය දේවල් ලබාගන්න උපකාර ඉල්ලලා අපි දෙවිට යාච්ඤා කළා. ඒවා ලැබෙනකොට ඒවායින් සතුටු වෙන්න අපි ඉගෙනගත්තා”

[8වන පිටුවේ කොටුව⁄වගුව]

 සාර්ථක අයවැයකට මඟ

(1) මාසයක් තුළ කරන සියලු වියදම් පිළිබඳව වාර්තාවක් ගන්න: ආහාර, නිවස (කුලිය හෝ ණය) ජල විදුලි බිල්, වාහන හෝ ප්‍රවාහන වැනි වියදම් පිළිබඳව වාර්තාවක් තබාගන්න. එමෙන්ම වාර්ෂිකව කරන ගෙවීම් සඳහා මාසයකට යන වියදම ගණන් බැලීමට එය 12න් බෙදන්න.

(2) ඔබේ වියදම් කොටස්වලට වෙන් කරන්න: ආහාර, ගෙවල් කුලී හෝ ණය, වාහන හෝ ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම් වැනි දේවල් ඇතුළත් කළ හැකියි.

(3) එම එක් එක් කොටස සඳහා බැංකුවේ ඇති මුදලින් කොතරම් ප්‍රමාණයක් වෙන් කළ යුතුද කියා ගණන් බලන්න: වාර්ෂිකව කරන ගෙවීම් වෙනුවෙන් මාසයකට වෙන් කළ යුතු මුදල ගණන් බලන්න.

(4) පවුලේ සියලුදෙනාම උපයන මුළු මුදල සටහන් කරගන්න. ගෙවීමට තිබෙන ආදායම් බදු අඩු කරන්න. ඉතිරි වන මුදල සමඟ වියදම් සසඳා බලන්න.

(5) සෑම මසකම එක් එක් කොටසට ගෙවිය යුතු මුදල වෙන් කරන්න: ඒ සඳහා සරල ක්‍රමයක් නම් එක් එක් කොටස සඳහා ලියුම් කවර වෙන් කර අදාළ මුදල් එහි දැමීමයි.

අවවාදයක්: ඔබ ණයවරපතක් (ක්‍රෙඩිට් කාඩ්පතක්) භාවිත කරනවා නම් පරෙස්සම් වන්න. බොහෝදෙනෙකු අයවැයක් සකස් කළත් ‘අද ගන්න, හෙට ගෙවන්න’ යන උගුලට හසු වීම නිසා එය අසාර්ථක වී තිබෙනවා.

[වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

මාසික ආදායම

ඔබේ මාසික ආදායම රු․․․․․ වෙනත් ආදායම් රු․․․․․

නිවසේ සිටින අන් අයගේ

මාසික ආදායම රු․․․․․ මුළු ආදායම

රු․․․․․

ගණන් බැලූ සැබෑ මාසික

මාසික වියදම වියදම

රු․․․․․ කුලිය හෝ ණය රු․․․․․

රු․․․․․ රක්ෂණ/බදු රු․․․․․

රු․․․․․ ජල විදුලි බිල් රු․․․․․

රු․․․․․ ප්‍රවාහන රු․․․․․

රු․․․․․ විනෝද චාරිකා රු․․․․․

රු․․․․․ දුරකථන රු․․․․․

රු․․․․․ ආහාර රු․․․․․

රු․․․․․ වෙනත් රු․․․․․

ගණන් බැලූ මුළු වියදම සැබෑ වියදම

රු․․․․․ රු․․․․․

ආදායම සහ වියදම සසඳන්න

මුළු මාසික ආදායම රු․․․․․

ඩු කිරීම− ඉතිරිය

මාසික වියදම් රු․․․․․ රු․․․․․