Skip to content

පටුනට යන්න

කඳු නඟින්න කැමතිද? මේ ගැනත් සිතන්න!

කඳු නඟින්න කැමතිද? මේ ගැනත් සිතන්න!

කඳු නඟින්න කැමතිද? මේ ගැනත් සිතන්න!

‘පේරු රටේ තියෙන පැරියකාකා කියන කඳු යාය හරිම උසයි. මම ඒ කන්දේ උඩටම යනකොට එකපාරටම මගේ ඇඟට හරිම අමුත්තක් දැනුණා. ඊටපස්සේ එක දිගටම වමනේ යන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මම හිතුවේ එතනම මාව මැරිලා වැටෙයි කියලයි. ඒ වුණත් අපි ටිකක් පහළට ඇවිත් පැය තුන හතරක් විතර යනකොට ඒ ගතිය නැතුව ගියා.’—Natural and Moral History of the Indies.

ඉහත සඳහන් වන්නේ ස්පාඤ්ඤ ජාතික හෝසේ ඩී අකොස්ටා 16වන සියවසේ අගභාගයේදී ඇන්ඩීස් කඳු යායටම අයත් පැරියකාකා කන්ද තරණය කිරීමේදී මුහුණ දුන් අද්දැකීමයි. උස් කඳුකර ප්‍රදේශයක සිටින විට දැනෙන එම ශාරීරික අපහසුතාවට හේතු ලෙස සමහර අය සිතුවේ කඳුවල ඇති ඛනිජවලින් නිකුත් වන විෂ වායු කියායි. තවත් අය සිතුවේ නපුරු දෙවිවරුන් පිට කරන හුස්ම ආශ්වාස කිරීම කියායි. නමුත් ඇත්තටම එවැනි අපහසුතාවක් දැනෙන්නේ ඇයි?

ඊට හේතුව මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට වාතයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. එමෙන්ම කඳුකර ප්‍රදේශයක ඉහළට යන්න යන්න පවතින වායු පීඩනය අඩු නිසා පෙණහලුවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. *

සාමාන්‍යයෙන් එවැනි අපහසුතාවක් දැනෙන්න පටන්ගන්නේ කෙනෙක් කන්දක ඉහළට ගමන් කර පැය හතරක් පමණ ගත වූ පසුවයි. අපහසුතාව දැනෙන කාලය තුළ රුධිරයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය සීමිත නිසා ශරීරය පුරා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ගෙන යෑමට හැකි වන ලෙස ශරීරය විසින් රතු රුධිරාණු සෛල නිෂ්පාදනය කිරීම වේගවත් කරනවා. කෙසේවෙතත් මෙම තත්වය දිනක සිට දින හතරක් වැනි කාලයකින් මඟහැරී යයි.

කෙසේවෙතත් කෙනෙක් පරිසරයට හුරු වෙමින් සෙමින් සෙමින් කන්දක් නඟිනවා වෙනුවට දැඩි වෙහෙසක් දරමින් ඉතා වේගයෙන් ඉහළට ගමන් කළොත් ඔහුගේ පෙණහලු තුළ හෝ මොළය ප්‍රදේශයේ ද්‍රව එකතු විය හැකියි. පරෙස්සම් නොවුණොත් ඉන් කෙනෙක් මිය යෑමට පවා ඉඩ තිබෙනවා.

වළක්වාගැනීමට ක්‍රම

කඳු නඟින්නන් එම තත්වය මඟහරවාගැනීමට විවිධ ක්‍රම අත්හදා බලා තිබෙනවා. ඒවායින් සමහරක් නම්:

● රක්තහීනතාව හෝ ස්වසන රෝග තිබේ නම් අධික උසකින් යුත් කඳුවලට නැඟීමෙන් වැළකීම.

● එම තත්වය සමනය කිරීමට හෝ එවැනි තත්වයක් ඇති වීම වළක්වාගැනීමට ඖෂධ ලබාගැනීම. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පතන්න.

● හැකි විගස පහත් ප්‍රදේශයකට පැමිණීම. හැකි නම් එසේ කිරීමේදී ශරීරය උණුසුම්ව තබාගනිමින් පැමිණ විවේක ගන්න.

ලෝකයේ බොහෝ අලංකාර දර්ශන දැකගත හැක්කේ කඳුකර ප්‍රදේශවලයි. (ගීතාවලිය 148:9, 13) එවැනි ස්ථානවලට ගමන් කිරීමේදී ඔබ ඔබේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙනවා නම් ඒවායෙහි සුන්දරත්වය හොඳින් විඳගැනීමට ඔබට හැකි වෙයි.

[පාදසටහන]

^ 4 ඡේ. බොහෝදෙනෙකුට කිසි අපහසුතාවක් නොමැතිව මුහුදු මට්ටමේ සිට අඩි 6,000ක් පමණ ඉහළට යා හැකියි.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එවැනි අපහසුතාවක් දැනෙන්න පටන්ගන්නේ කන්දක් නැඟ පැය හතරකට පමණ පසුවයි. එය දින හතරක් තුළ මඟහැරී යයි

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හොඳම ක්‍රමය නම් පහත් ප්‍රදේශයකට පැමිණීමයි