Skip to content

පටුනට යන්න

අනික් කම්මුල හරවනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

අනික් කම්මුල හරවනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

අනික් කම්මුල හරවනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

කන්ද උඩ දේශනාවේදී යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට අනික් කම්මුලත් හරවන්න.’—මතෙව් 5:39.

යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? කිසිම ආරක්ෂිත පියවරක් නොගෙන තමාට සිදු වන ඕනෑම දෙයකට නිශ්ශබ්ද සිටින්න කියාද? ක්‍රිස්තියානියෙකුට කිසිම අවස්ථාවක නීතියේ පිහිට පැතිය නොහැකිද?

යේසුස් අදහස් කළ දේ

යේසුස් අදහස් කළ දේ වටහාගැනීමට නම් අපි මුලින්ම ඔහු මෙය පැවසූ අවස්ථාව සහ පැවසුවේ කාටද කියා දැනගැනීම අවශ්‍යයි. එදා යේසුස් කතා කරමින් සිටියේ ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් තිබූ පිරිසකටයි. ඉහත කී දෙය පැවසීමට පෙර ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “‘ඇසකට ඇසක්, දතකට දතක්’ කියා පැවසූ බව ඔබ අසා ඇති.”—මතෙව් 5:38.

යේසුස් එය උපුටාගත්තේ බයිබලයේ නික්මයාම 21:24 සහ ලෙවී කතාව 24:20 යන පදවලිනුයි. දෙවිගේ නීතියට අනුව “ඇසකට ඇසක්” යන දඬුවම වරදකරුවෙකුට නියම වුණේ එම ප්‍රශ්නය විභාග කර එය හිතාමතාම කළ වරදක් බව හෙළි වූ පසුවයි.—ද්විතීය කතාව 19:15-21.

කොහොමවුණත් පසු කාලයේදී යුදෙව්වන් මෙම නීතිය තමන්ගේ වාසියට හරවාගත්තා. දහනවවන සියවසේදී බයිබලය පිළිබඳව අදහස් දැක්වූ ඇඩම් ක්ලාක් නමැති කතුවරයා මෙවැනි දෙයක් පැවසුවා. “සිදු වූ වරද එතරම් බරපතළ නොවූ අවස්ථාවලදී පවා ඉතා කෲර ලෙස පළිගැනීමට යුදෙව්වන් මෙම නීතිය [ඇසකට ඇසක්, දතකට දතක් යන නීතිය] අතකොළුවක් කරගත්තා.” නමුත් පෞද්ගලික තරහවන් මේ ආකාරයෙන් පිරිමසාගැනීමට බයිබලයේ කොහෙත්ම අවසර දෙන්නේ නැහැ.

‘අනික් කම්මුල හරවන්න’ කියා පැවසීමෙන් යේසුස් ප්‍රතිපත්තියක් කාවැද්දුවා. කෙනෙකුට කම්මුල් පහරක් වැදුණු විට ඔහු අනික් පැත්තත් හැරවිය යුතුයි කියා යේසුස් අදහස් කළේ නැහැ. එදා මෙන් අදත් කෙනෙකුගේ කම්මුලට ගසන්නේ තුවාල කිරීමකට නොව පුද්ගලයෙකුව ලැජ්ජාවට පත් කිරීමට හෝ රණ්ඩුවකට පොලඹවාගැනීම සඳහායි.

ඒ අනුව යේසුස් කාවැද්දූ ප්‍රතිපත්තිය අපිට පැහැදිලියි. එනම් වචන හෝ කෙනෙකුව රණ්ඩුවකට පෙලඹවීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාවක් හමුවේ සන්සුන්ව සිටීමට වගබලා ගත යුතුයි. එමෙන්ම රණ්ඩු කිරීමෙන් හෝ පළිගැනීමෙන් වැළකීමද අවශ්‍යයි.—රෝම 12:17.

පුරාණයේ සිටි සලමොන් රජ යේසුස් පැවසූ දෙයට සමාන දෙයක් පැවසුවා. “‘ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි. අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි’ යයි නොකියන්න.” (හිතෝපදේශ 24:29) ඒ අනුව බලන විට යේසුස්ගේ අනුගාමිකයින්, තමන්ව රණ්ඩුවකට පටලවාගැනීමට කෙනෙක් කොතරම් උත්සාහ කළත් එවැනි අවස්ථාවලදී පවා සන්සුන්ව සිටීමට උත්සාහ කළ යුතුයි. අනික් කම්මුල හරවනවා කීමෙන් අදහස් කරන්නේ එයයි.—ගලාති 5:26.

ආරක්ෂිත පියවර ගැනීම වැරදිද?

අප ආරක්ෂාව සඳහා කිසිම පියවරක් නොගත යුතු බව යේසුස් අදහස් කළේ නැහැ. කෙනෙකු අපට හානියක් කිරීමට උත්සාහ කරන විට යම් ආරක්ෂිත පියවර ගැනීමට අපට හැකියි. නමුත් අපි කිසිවිටෙක පළිගන්නේ නැහැ. ඊට අමතරව හැකි තාක් දුරට රණ්ඩුවක් මඟහැරීමට අපි උත්සාහ කරනවා. කොහොමවුණත් අපේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පියවර ගැනීම හෝ අපට යම් අලාභයක් සිදු වී තිබෙන විට නීතියේ පිහිට පැතිය හැකියි.

යේසුස්ගේ මුල් අනුගාමිකයන්ද ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වූ අවස්ථාවලදී නීතිමය පියවර ගත්තා. පාවුල් ඉන් එක් කෙනෙක්. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔහුට නීත්‍යනුකූල අයිතියක් තිබුණා. (මතෙව් 28:19, 20) නමුත් එම අයිතියට තර්ජනයක් එල්ල වූ විට ඔහු රටේ නීතියේ පිහිට පැතුවා. එක් අවස්ථාවකදී පාවුල් හා ඔහුගේ සහයක සීලස්, ෆිලිප්පි නගරයේ ශුභාරංචිය දේශනා කරමින් සිටියා. එවිට එහි ආණ්ඩු බලධාරීන් ඔවුන් නීති විරෝධී ක්‍රියා කරන බවට චෝදනා කර ඔවුන්ව අත්අඩංගුවට ගත්තා.

පසුව කිසිම නඩු විභාගයකින් තොරව ඔවුන්ට ප්‍රසිද්ධියේ තලා ඔවුන්ව සිර ගෙට දැම්මා. ඒ අවස්ථාවේදී පාවුල්, රෝම පුරවැසියෙකු හැටියට තමාට ඇති අයිතිවාසිකම් රැකගැනීමට පියවර ගත්තා. ඔහු රෝම පුරවැසියෙකු බව සිවිල් බලධාරීන් දැනගත් විට ඔවුන් තුළ මහත් බියක් ඇති වූ අතර ඔවුන් පාවුල්ගෙන් සමාව ඉල්ලා එම නගරයෙන් පිටත් වෙන්න කියා බැගෑපත් වුණා. ඉන් පැහැදිලි වන්නේ “ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම” සම්බන්ධයෙන් කටයුතු කළ මුල්ම තැනැත්තා පාවුල් බවයි.—ක්‍රියා 16:19-24, 35-40; ෆිලිප්පි 1:7.

පාවුල් හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දෙවිට නමස්කාර කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇති අයිතිය වෙනුවෙන් නීතිමය පියවර ගෙන තිබෙනවා. ආගමික නිදහස තිබෙනවා කියා පවසන සමහර රටවල පවා එය සත්‍යයක්. එමෙන්ම අනික් කම්මුල හරවනවා කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට යම් කරදරයක් හෝ තර්ජනයක් එල්ල වන විට ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම නොවෙයි. එවැනි අවස්ථාවලදීද තම ආරක්ෂාව සඳහා නීතිමය පියවර ගැනීමට ඔවුන්ට හැකියි.

එමනිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම අයිතිවාසිකම් තහවුරු කරගැනීම සඳහා නීතිමය පියවර ගත්තත් හැමවිටම සාධාරණයක් ඉටු නොවන බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන්ගේ ආදර්ශකයා වන යේසුස් මෙන් ඔවුන්ද ඒ කාරණය දෙවිට භාර දෙනවා. ඔවුන් එසේ කරන්නේ යෙහෝවා දෙවි සෑම තොරතුරක්ම හොඳින් සැලකිල්ලට ගන්නා බවත් ඔහු දෙන දඬුවම් ඉතා සාධාරණ බවත් ඔවුන් විශ්වාස කරන නිසයි. (මතෙව් 26:51-53; යූද් 9) එමෙන්ම යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් පළිගැනීමෙන්ද වළකිනවා. ඊට හේතුව ඒ සඳහා අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි කියා ඔවුන් විශ්වාස කරන නිසයි.—රෝම 12:17-19.

මේ ගැන ඔබ සිතුවාද?

● ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුත්තේ කුමක් කිරීමෙන්ද?—රෝම 12:17.

● තමාගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීම බයිබලයේ තහනම් කර තිබෙනවාද?—ෆිලිප්පි 1:7.

● යේසුස්ට විශ්වාසයක් තිබුණේ තම පියා කුමක් කරයි කියාද?—මතෙව් 26:51-53.