Skip to content

පටුනට යන්න

ආගම්වලට විරුද්ධව විප්ලවයක්!

ආගම්වලට විරුද්ධව විප්ලවයක්!

ආගම්වලට විරුද්ධව විප්ලවයක්!

දෙවිව විශ්වාස නොකරන අදේවවාදීන් අතරින් යම් පිරිසක් උත්සාහ කරන්නේ විප්ලවයක් ඇති කිරීමටයි. ඔවුන් ගැන වාර්තාකරුවෙක් වන රිචඩ් බර්න්ස්ටීන් පැවසුවේ “ආගම දහමට ළැදි අයව කොහොමහරි තම මතයට නම්මවාගන්න ඔවුන් උත්සාහ කරනවා” කියායි. දෙවි කෙනෙකුගේ පැවැත්ම ගැන සැක කරන අයව පවා තමන්ගේ පැත්තට ගන්න ඔවුන් වෑයම් කරනවා. මෙම කණ්ඩායම තරයේ කියා සිටින්නේ ‘දෙවි කෙනෙක් නැහැ, ඒ නිසා ඒ ගැන හොයන්න දෙයක් නැහැ’ කියායි.

දෙවි කෙනෙකුගේ පැවැත්ම විශ්වාස නොකරන නොබෙල් ත්‍යාගලාභී ස්ටීවන් වයින්බර්ග් මෙසේ පැවසුවා. “ආගමික විශ්වාසයන් භයානකයි. මිනිසුනව ඒවායින් නිදහස් කරන්න විද්‍යාඥයන් වන අපි හැකි සෑම දෙයක්ම කරන්න ඕනේ. අපිට සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒකයි.” ඔවුන් මුද්‍රණය කර තිබෙන පොත් පත් බොහොමයක් දැනටමත් ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා.

ආගමික ගැටුම් හා ත්‍රස්තවාදය වැනි දේවල් නිසා මිනිසුන්ට දැන් ආගම් එපා වී ඇති අතර ආගමික අන්තවාදීන් එය අතකොළුවක් කරගෙන තිබෙනවා. දෙවි කෙනෙක් නැහැ කියා තදින් විශ්වාස කරන ප්‍රසිද්ධ කෙනෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ආගමික විශ්වාසයන් දසත පැතිර ගිය විෂ වායුවක් වගෙයි.” මෙම අන්තවාදීන් උත්සාහ කරන්නේ ආගමික විශ්වාසයන් බොරු බව ඔප්පු කර, විශ්වාස කළ හැකි තර්කානුකූල දේවල් තිබෙන බව පෙන්වීමටයි. සෑම් හැරිස් නමැති පුද්ගලයා පැවසූ දේ බලන්න. බයිබලයේ හා කුරානයේ තිබෙන්නේ “තනිකර මෝඩ කතා විතරයි. ආගම් අදහන අයගේ හිත රිදෙයිද නැද්ද කියලා බලබලා ඉන්න දැන් කාලයක් නැහැ.” ඔහු ඉන් අදහස් කරන්නේ ආගමට විරුද්ධව කතා කරන්න භය විය යුතු නැති බවයි.

මෙම කණ්ඩායම ආගම් හෙළාදකින අතර විද්‍යාවට විශේෂ තැනක් දී තිබෙනවා. ඔවුන් පවසන්නේ දෙවි කෙනෙක් නැහැ කියා විද්‍යාවෙන් ඔප්පු කළ හැකි බවයි. නමුත් එය සත්‍යයක්ද? හැරිස් මෙසේද පැවසුවා. “කවදා හරි සත්‍යය හෙළි වෙයි. එදාට එක පැත්තක් දිනයි, අනිත් පැත්ත පරදියි.”

ඔබ සිතන ආකාරයට දිනන්නේ කුමන පැත්තද? මේ ගැනත් ටිකක් සිතන්න. ‘නිර්මාතෘ දෙවි කෙනෙකුව විශ්වාස කිරීම පලක් නැති හානිදායක දෙයක්ද? අනික් අතට දෙවි කෙනෙක් නැහැ කියා සෑම කෙනෙක්ම සිතනවා නම් අදට වඩා හොඳ ලෝකයක් බිහි වෙයිද?’ ආගමික විශ්වාසයන්, විද්‍යාව සහ දෙවි කෙනෙක් නැහැ යන මතය ගැන ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් මෙන්ම දර්ශනවාදීන් පවසන දේ ගැන අපි ඊළඟට සලකා බලමු.