Skip to content

පටුනට යන්න

4—පිරිසිදුකම හා ආරක්ෂාව

4—පිරිසිදුකම හා ආරක්ෂාව

‘බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙයි.’ (හිතෝපදේශ 22:3) ඉතා සරල දේවල් කිරීමෙන් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත් කාලය හා මුදල් නාස්තිය වළක්වාගැනීමටත් හැකියි.

ශාරීරික පිරිසිදුකම. “විෂබීජ පැතිරීම වළක්වාගැනීමට තිබෙන හොඳම හා සරලම ක්‍රමය වන්නේ අත් සේදීමයි” කියා එක්සත් ජනපදයේ රෝග මර්දන හා වළක්වාගැනීමේ මධ්‍යස්ථානය පවසනවා. වැඩි වශයෙන්ම එනම් සියයට 80ක් පමණ විෂබීජ පැතිරීමට හේතුව අත් පිරිසිදු නොකිරීම බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ආහාර පිසීමට, කෑම ගැනීමට සහ තුවාලයකට බෙහෙත් දැමීමට පෙර අත් සෝදන්න. ඒ වගේම සතුන් ඇල්ලීමෙන්, වැසිකිළි යෑමෙන්, දරුවන්ගේ නැපි මාරු කිරීමෙන් පසුවද අත් සෝදන්න.

අත් පිරිසිදු කිරීමට විවිධ ක්‍රම තිබුණත් සාර්ථකම ක්‍රමය වන්නේ සබන් ගා අත් සේදීමයි. කුඩා කාලයේ සිටම අත් සේදීමට දරුවන්ව පුහුණු කරන්න. එවිට ඔවුන් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙයි. ඒ වගේම අත කටේ දැමීමෙන් හා නිතර නිතර ඇස් ඇල්ලීමෙන් වළකින ලෙසද දරුවන්ට කියා දෙන්න. දිනපතා නාන්න. එමෙන්ම නිතර පාවිච්චි කරන ඇඳුම් ඇඳ ඇතිරිලි සහ තුවා වැනි දේවල් සෝදා පිරිසිදුව තබාගන්න.

නිවසේ පිරිසිදුකම. ඔබේ නිවස හා වටපිටාව නිතරම පිරිසිදුව තබාගන්න. මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබේදැයි පරීක්ෂා කර බලන්න. ආහාර නිතරම වසා තබන්න. ඒ වගේම අපද්‍රව්‍ය නිසියාකාරව ඉවත් කරන්න. එසේ නොකරනවා නම් මීයන් හා කෘමීන් බෝ වෙනවා. උන් ඔබේ නිවසට එන්නේ ලෙඩ රෝගද රැගෙනයි. මලපහවලටත් ලෙඩ රෝග පතුරවන මැස්සන් සහ වෙනත් සතුන් වහන බව අමතක කරන්න එපා. ඒ නිසා ඔබේ නිවසේ වැසිකිළියක් නැත්නම් වැසිකිළි අපද්‍රව්‍ය වළලන්න.

බෝ වන රෝග. උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇති කෙනෙකු භාවිත කරන සියලුම දේවල් වෙන් කර තැබීමෙන් අන් අයට එය බෝ වීම වළක්වාගත හැකියි. එන්නත් මගින් සමහර ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකි වුණත් බෝ වන රෝගයක් ඇති කෙනෙකුගෙන් ඈත් වී සිටීම අවශ්‍යයි. ඒ වගේම හෙපටයිටිස් B සහ C, ඒඩ්ස් වැනි රෝග බෝ වන්නේ රුධිරය ශරීර ගත කිරීමෙන්, ලිංගික සම්බන්ධකම්වලින් හා එන්නත් කටු මාර්ගයෙන් නිසා ඒ ගැනද සැලකිලිමත් වෙන්න. ඊට අමතරව මදුරුදැල් භාවිත කිරීමෙන් රෝග පතුරුවන මදුරුවන්ගෙන් හා වෙනත් කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකියි. *

අනතුරු. ඔබ පා පැදියක්, යතුරු පැදියක් හෝ වෙනත් වාහනයක් භාවිත කරනවා නම් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම පියවර ගන්න. ඔබේ වාහනයත් සුදුසු තත්වයක තිබෙනවාද කියා බලන්න. ඒ වගේම එදිනෙදා වැඩකටයුතුවලදීද ඊට සරිලන ආකාරයෙන් ආරක්ෂාකාරී වන්න. ඔබ භාවිත කරන උපකරණද සුදුසු තත්වයක තිබිය යුතුයි. ඔබ දුම්පානය කරන කෙනෙක් නම් වහාම එය නතර කරන්න. * එමගින් ඔබට හෘදයාබාධ, පෙණහලු පිළිකා, අංශභාගය වැනි රෝග වැලඳීමට තිබෙන ප්‍රවණතාව අඩු කරගත හැකියි. ඊට අමතරව සමේ පිළිකා ඇති කිරීමට හිරු කිරණ හේතු වන නිසා ඉන් ආරක්ෂා වීමටද පියවර ගන්න.

^ 6 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා “කෘමීන් පතුරුවන රෝග” නමැති 2003 ජූනි පිබිදෙව්! සඟරාව බලන්න.

^ 7 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා “දුම්බීම නතර කළ හැකියි—කෙසේද?” නමැති 2010 මැයි පිබිදෙව්! සඟරාව බලන්න.