Skip to content

පටුනට යන්න

මිනිසුන් ත්‍රස්තවාදීන් වන්නේ ඇයි?

මිනිසුන් ත්‍රස්තවාදීන් වන්නේ ඇයි?

මිනිසුන් ත්‍රස්තවාදීන් වන්නේ ඇයි?

කොසේබා ජීවත් වන්නේ ස්පාඤ්ඤයේයි. ඔහු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වී සිටියා. ඒ ගැන ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙයයි. “අපි ජීවත් වුණ ප්‍රදේශයේ අයට හැමදාම අයුක්තියට හා අසාධාරණයට මුහුණ දෙන්න සිදු වුණා. පොලිසියෙන් ඇවිත් මිනිසුන්ට ගහලා ඒ අයව අත්අඩංගුවට ගන්නවා.

“මේ අසාධාරණකම් ගැන කතා කරන්න ගිහින් දවසක් මාවත් අත්අඩංගුවට ගත්තා. තිබුණ කේන්තියත් එක්කම මට ලොකු වෛරයකුත් ඇති වුණා. ඒ නිසා හොඳින් හරි නරකින් හරි මේකට මොනවා හරි කරන්න ඕනේ කියලා මට හිතුණා.”

පළිගැනීම

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් කිසිවිටෙක බයිබලය අනුමත කරන්නේ නැහැ. නමුත් “දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:7) තමන්ගේ ආගම, ජාතිය හා රටට නිතරම අසාධාරණකම් සිදු වන විට ඒ වෙනුවෙන් පළිගැනීමට බොහෝදෙනා පෙලඹෙනවා.

කලින් ලිපියේ සඳහන් කළ හෆේනි පවසන දේ බලන්න. “අපේ මව්බිම ගත්තේ බලහත්කාරයෙන්. සතෙක් වුණත් උන්ගේ බලප්‍රදේශය රැකගන්න සටන් කරනවා. අපිත් කරන්නේ අපේ මව්බිම රැකගන්න සටන් කිරීමයි.” එක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙක් ඔහු මිය යෑමට පෙර මෙවැනි දෙයක් පවසා තිබුණා. “අපිට හිරිහැර කිරීම නතර කරන කල් අපිත් මේ සටන නතර කරන්නේ නැහැ.”

ආගමික හේතු

අද දින සිදු වන ත්‍රස්තවාදී ක්‍රියා බොහොමයක පිටුපස තිබෙන්නේ ආගමික හේතු බව වාර්තා වෙනවා. එක් දේශපාලනික නායකයෙකුට ත්‍රස්තවාදී සංවිධානයකින් මෙවැනි පණිවිඩයක් ලැබුණා. “අපි බලයට කෑදර නැහැ. අපිට පිස්සුත් නැහැ. අපි දිගටම මේ සටන කරගෙන යන්නේ දෙවියන්ට ළැදි නිසයි.”

ආගමික හේතු ගැන සඳහන් එක් පොතක මෙවැනි දෙයක් වාර්තා වුණා. “ආගම දහමට ළැදි අය දැන් වැඩියි. කොහොමවුණත් ප්‍රධාන ආගම්වල පමණක් නොව අලුතින් බිහි වන කණ්ඩායම්වල පවා බොහෝදෙනෙක් සිතන්නේ ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත්වලට සැහැසික ක්‍රියා ඇතුළත් කිරීමේ වරදක් නැහැ කියායි.” (The Age of Sacred Terror) තවත් පර්යේෂකයෙක් ලොව පුරා සිදු වූ විවිධ ත්‍රස්තවාදී ක්‍රියා ගැන වාර්තා කිරීමෙන් පසුව මෙවැනි දෙයක් පැවසුවා. “ඔවුන් හැමෝම සිතන්නේ තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට දෙවිගේ අනුමැතිය සහ ආශීර්වාද තියෙනවා කියලයි.”

කෙසේවෙතත් අප මතක තබාගත යුතු කරුණක් වන්නේ ආගම මුල් කරගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල හවුල් වන්නේ ආගමික අන්තවාදීන් බවයි.

මුල් බැසගත් වෛරය

කලින් සඳහන් කළ කොසේබාව අත්අඩංගුවට ගත් විට ඔහු හුඟක් වධ හිංසාවලට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. “ඔවුන්ගේ කුරිරුකම් නිසා ඔවුන්ට වෛර කරන එක සාධාරණයි කියලා මට හිතුණා. ඒගොල්ලන්ගෙන් පළිගන්න ලැබෙනවා නම් මම මැරෙන්න වුණත් ලෑස්තියි.”

මෙවැනි වෛරයක් තිබෙන කෙනෙක් අන්තවාදී කණ්ඩායමක් සමඟ එකතු වන විට ඔහු තුළ තිබෙන වෛරය තවත් වැඩි වෙනවා. හෆේනිගේ අද්දැකීම එයයි. “කඳවුරුවල ඉන්න කාලේ අපිව නිතරම රැස් කරලා අපිට කිව්වේ ‘සුදු ජාතිකයන්ගේ එකම අරමුණ කලු ජාතිකයන්ව යටත් කරගැනීම’ කියලයි.” එහි ප්‍රතිඵලය කුමක්ද?

“කලින් ඉඳලාම මම සුදු ජාතිකයන්ට කැමති නැහැ. මේ නිසා ඒ වෛරය තවත් වැඩි වුණා. සටන් කරන්න මම පෙලඹුණේ ඒ වෛරය නිසයි.”

පුදුමයට කාරණය වන්නේ කොසේබා හා හෆේනි තුළ මුල් බැස තිබූ වෛරය කාලයකට පසු නැති වී යෑමයි. ඔවුන්ගේ ජීවිතවල එතරම් ලොකු වෙනසක් කිරීමට ඔවුන්ට හැකි වුණේ කෙසේද? ඒ ගැන ඊළඟ ලිපිය අපට විස්තර කරයි.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔවුන්ගේ කුරිරුකම් නිසා ඔවුන්ට වෛර කරන එක සාධාරණයි කියලා මට හිතුණා. ඒගොල්ලන්ගෙන් පළිගන්න ලැබෙනවා නම් මම මැරෙන්න වුණත් ලෑස්තියි.”—කොසේබා