Skip to content

පටුනට යන්න

ත්‍රස්තවාදයෙන් තොර ලොවක්!

ත්‍රස්තවාදයෙන් තොර ලොවක්!

ත්‍රස්තවාදයෙන් තොර ලොවක්!

වසර 20ක් පමණ ත්‍රස්තවාදීන් ගැන පර්යේෂණ කිරීමෙන් පසුව මෙවැනි වාර්තාවක් පළ වුණා. එහි සඳහන් වුණේ ‘ත්‍රස්තවාදීන් හිතන විදිහ වෙනස් කිරීම වඩා වැදගත්’ බවයි. ඒ වගේම ‘ඒ සඳහා අපි දැඩි උත්සාහයක් දැරීම අවශ්‍ය බවත්’ එහි සඳහන් වුණා.

නමුත් කෙනෙකුගේ සිත තුළ මුල් බැසගත් වෛරයක් ඉවත් කළ හැකිද?

හදවත සුව කළ පොතක්

කලින් සඳහන් කළ හෆේනි බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තේ 1990 ගණන්වලදීයි. ඉන්පසු ඔහු තුළ තිබූ වෛරය නැති කරගැනීමට ඔහුට හැකි වුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මුලින්ම මම යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් සුවිශේෂ පොත් හතර කියෙව්වා. ඒකෙන් මම දැනගත්තා යේසුස් කියන්නේ කරුණාවන්ත කෙනෙක් විතරක් නෙවෙයි, සියලුදෙනාටම එක හා සමාන ලෙස සැලකුව කෙනෙක් කියලා. ඒක මගේ හිතට තදින්ම කාවැදුණා.”

හෆේනිගේ සිත්ගත් තවත් බයිබල් කොටසක් වුණේ මෙයයි. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) “ඇත්තටම දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න මට ඒ කොටස ප්‍රයෝජනවත් වුණා” කියා හෆේනි පැවසුවා.

“ජාති භේද, කුල භේද ඇති කරගන්නේ අපිමයි. මේ සියල්ලටම වඩා වටින්නේ අපි දෙවි සමඟ ඇති කරගන්නා මිත්‍රත්වය කියලා මට වැටහුණා. බයිබලයේ තියෙන පණිවිඩය නිසා මට මගේ ආකල්ප වෙනස් කරගන්න පුළුවන් වුණා.”

කලින් ලිපියේ සඳහන් කළ කොසේබා ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක්. පොලිස් ස්ථානයක් පුපුරුවා හැරීමට ඔවුන් සංවිධානය කරමින් සිටින අතරතුරේදී ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහුට වසර දෙකක සිර දඬුවමක්ද ලැබුණා. ඒ කාලයේදී ඔහුගේ බිරිඳ වන ලූසි, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. පසුව කොසේබාත් එම පාඩමට හවුල් වුණා.

එතැන් සිට සිදු වූ දේ ගැන කොසේබා මෙසේ පවසනවා. “මම හුඟක් ආශාවෙන් යේසුස් ගැන ඉගෙනගත්තා. මට අවශ්‍ය වුණේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්නයි. යේසුස් කිව්ව එක දෙයක් මගේ හිතට හුඟක් බලපෑවා. ඔහු කිව්වේ ‘කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා’ කියලයි. ඒක නම් සහතික ඇත්ත! කෙනෙක්ව මැරුවොත් ඒ කෙනාගේ පවුලේ අය බලන්නේ පළිගන්නයි. එහෙම බලනකොට ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඇති වෙලා තියෙන්නේ වෛරය මිසක් සාමය නෙවෙයි.”—මතෙව් 26:52.

බයිබල් ඉගැන්වීම්වලට කෙනෙකුගේ ජීවිතය වෙනස් කළ හැකි බව හෆේනි සහ කොසේබා අද්දැක්කා. ඒ හැකියාව ගැන බයිබලයේම සඳහන් වන්නේ මෙයයි. ‘දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය. එමගින් යමෙකුට තම සිතේ සිතුවිලිද චේතනාද වටහාගත හැක.’ (හෙබ්‍රෙව් 4:12) බයිබලය අධ්‍යයනය කිරීම නිසා බොහෝදෙනෙකුට තම චේතනාවන් මොන වගේද කියා හඳුනාගැනීමටත් අවශ්‍ය වෙනස්කම් කරගැනීමටත් හැකි වී තිබෙනවා.

ආදරයෙන් බැඳුණු පවුලක්

හෆේනි, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමට ගිය පළමු දිනයේදීම ඔවුන් අතර තිබූ සමඟිය දැක පුදුම වුණා. “සුදු ජාතිකයන් ළඟ වාඩි වෙන්නවත් එයාලාට සහෝදරයා කියලා කතා කරන්නවත් මට පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ජාති භේදයකින් තොරව හැමෝම එකිනෙකාට ආදරෙන් සලකනවා මම දැක්කා. මට තේරුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදහන්නේ සැබෑ ආගම කියලා. මම සෙව්ව සැබෑ එකමුතුකම තිබුණේ එතනයි.”

යේසුස් පැවසුවේ ඔහුගේ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණ ‘ඔවුන් අතරේ ඇති ප්‍රේමය’ කියායි. (යොහන් 13:34, 35) ඒ වගේම යේසුස්ද දේශපාලනික කටයුතුවලට හවුල් වුණේ නැහැ. ඔහු පැවසුවේ තමාගේ අනුගාමිකයන්ද දේශපාලනයට හවුල් නොවන බවයි. (යොහන් 6:15; 15:19; මතෙව් 22:15-22) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් අතර ප්‍රේමය හා දේශපාලන කටයුතුවලදී පැති නොගැනීම දැකියි හැකියි.

යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදියි

ලෝකය පුරා මිනිසුන් අතර දේශපාලනික මත භේද, ජාති හා කුල භේද මුල් බැසගෙන තිබෙන කාලයක ප්‍රේමයට පල දැරීමට හැකි වෙයිද?

උදාහරණයකට 1914දී සිදු වූ මේ සිදුවීම ගැන සලකා බලන්න. ගැව්රිලෝ ප්‍රෙන්සෙප් නම් පුද්ගලයා ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙක්. ඔස්ට්‍රියානු ආදිපාදවරයාව සිටි ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ්ව ඔහු ඝාතනය කළා. පළමුවන ලෝක මහා යුද්ධය ඇති වීමට හේතු වුණේ එම සිදුවීමයි. එහි ප්‍රතිඵලය වුණේ “සමාදානයේ කුමාරයා” වන යේසුස්ව අනුගමනය කරනවා කියා පැවසූ මිලියන ගණන් අය එකිනෙකාව මරා දැමීමයි.—යෙසායා 9:6.

ලෝක යුද්ධ අවසන් වූ පසුව ප්‍රසිද්ධ ආගමික නායකයෙක් වන හැරී එමර්සන් ෆොස්ඩික් මෙවැනි චෝදනාවක් කළා. ඔහු කියා සිටියේ ‘ක්‍රිස්තියානි ආගමික නායකයන් තමන්ගේ සාමාජිකයන්ට, යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උගන්වා නැහැ’ කියායි. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “පල්ලියෙන් බිහි කරලා තියෙන්නේ යුධ සෙබළුන්වයි. ඔවුන්ව අපි වීරයන් බවට පත් කරලා. අපේම පල්ලිවල ලෙළ දෙන්නේ යුධ කොඩියි. අපි සාමයේ කුමාරයාට ප්‍රශංසා කරනවා කියලා කිව්වත් අපි ඇත්තටම කරලා තියෙන්නේ යුද්ධය ප්‍රශංසා කිරීමයි.”

ඊට වෙනස්ව 1975දී යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ගැන පළ කළ එක් වාර්තාවක සඳහන් වුණේ මෙයයි. “ලෝක මහා යුද්ධ දෙක පුරාවටත් ශීත යුද්ධ අතර කාලයේදීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘දේශපාලනික කටයුතුවලදී පැති ගත්තේ නැහැ.’ ඔවුන්ට අසාධාරණ ලෙස වධ හිංසා කර සිරගත කළත් ඔවුන් ‘පළිගත්තේ නැහැ.’” එම වාර්තාව අවසන් කර තිබුණේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තම ඉගැන්වීම්වලට ඇලී සිටීමට හැකි වී තිබෙන්නේ බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලැබුණ පොතක් කියා ඔවුන් දැඩි ලෙස විශ්වාස කිරීමයි.”

අනර්ඝ බයිබල් ඉගැන්වීම්

බෙල්ජියමේ කලින් අගමැතිව සිටි කෙනෙකුට ඔහුගේ අසල්වැසියෙක්, යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත දුන්නා. එම පොත කියවා ඔහු තම අසල්වැසියාට මෙසේ ලියා යැව්වා. “යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් සුවිශේෂ පොත් කියවා මිනිසුන් ඒවා තමන්ගේ ජීවිතවලට අදාළ කරගන්නවා නම් අද පවතින මේ සමාජය මීට වඩා හුඟක් හොඳ වෙලා ඇති.”

ඒ වගේම ඔහු මෙසේද සඳහන් කර තිබුණා. “එහෙම වුණා නම් ත්‍රස්තවාදයවත් දූෂණයවත් භීෂණයවත් තියෙන එකක් නැහැ. අපිට ආරක්ෂක අංශයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. හැබැයි එහෙම වෙයි කියලා හිතන එක හීනයක් විතරයි.” ඇත්තෙන්ම එය සිහිනයක්ද? එසේ නොවේ. වෛරය හා ප්‍රචණ්ඩකාරී හැඟීම් අත්හරින්න බොහෝදෙනෙකුට බයිබලයේ සඳහන් ඉගැන්වීම් උපකාරවත් වී තිබෙනවා.

කලින් සඳහන් කළ ඔන්ඩ්‍රේගේ මිතුරන් කිහිපදෙනෙක්ම තැපැල් කන්තෝරුවේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගියා. ඔහුගේ ජීවිතය බේරුණෙත් අනූනවයෙන්. ඒ සිදුවීම ගැන ඔහුට සාධාරණ කෝපයක් ඇති වුණත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන ඔහු කිසිවිටෙක පළිගැනීමට උත්සාහ කළේ නැහැ. (කොලොස්සි 3:13) ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වී සිටි හෆේනි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් නිසා ඔහුගේ ජීවිතය වෙනස් කරගැනීමට හැකි වුණා. (ගීතාවලිය 11:5) දැන් ඔවුන් දෙදෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අතර අප්‍රිකාවේ තිබෙන සාක්ෂිකරුවන්ගේ පරිවර්තන අංශයක එකට සේවය කරනවා.

දීප්තිමත් අනාගතයක්!

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගැනීම නිසා ලොව පුරා සිටින මිලියන ගණන්දෙනා සුරක්ෂිත අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එම බලාපොරොත්තුවම තිබෙන ඔන්ඩ්‍රේ දිනක් ඔහුගේ අසල්වැසියෙකුට ඒ ගැන කතා කරමින් සිටියා. (යෙසායා 2:4; 11:6-9; 65:17, 21-25; 2 පේතෘස් 3:13) හදිසියේම ආයුධ සන්නද්ධ භට පිරිසක් ඔන්ඩ්‍රේ සිටි නිවස වට කර ප්‍රශ්න කිරීම සඳහා පිටතට එන්න කියා ඔහුට පැවසුවා. ඔන්ඩ්‍රේ බයිබලය ගැන අනික් අයට උගන්වන දේවසේවකයෙක් බවත් අසල්වැසියන් ඔහුට ප්‍රිය කරන බවත් දැනගත් පසුව භට පිරිස යන්න ගියා.

ඔන්ඩ්‍රේ ඔහුගේ අසල්වැසියාට පවසමින් සිටියේ බයිබලයේ සඳහන් වන නෝවා ජීවත්ව සිටි කාලයේදීද ‘පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණ’ බවයි. එදා ඒ දුෂ්ට සමාජය විනාශ කිරීමට දෙවි පියවර ගත්තා. (උත්පත්ති 6:11) නමුත් සමාදානයට ප්‍රිය කළ මිනිසෙකු වූ නෝවා සහ ඔහුගේ පවුලේ අය ගැලවුණා. යේසුස් පැවසුවේ “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදුවීම්වලට සමාන” බවයි. ඒ අනුව දැන් පවතින දුෂ්ට සමාජයද දෙවි විනාශ කිරීමට නියමිතයි.—මතෙව් 24:37-39.

දෙවි එය කරන්නේ දේවරාජ්‍යයේ රජ වන යේසුස් මාර්ගයෙනුයි. (ලූක් 4:43) ඔහුගේ පාලනය යටතේදී ‘ධර්මිෂ්ඨයා සාර්ථක වන’ බවත් ඔවුන්ව ‘පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද මුදවාගන්නා’ බවත් බයිබලයේ සඳහන් වී තිබෙනවා.—ගීතාවලිය 72:7, 14.

යේසුස්ගේ පාලනයට කීකරු වන සියලුදෙනාම සාමකාමී පාරාදීස පොළොවක සදාකල් ජීවිතයක් අද්දකින බව ස්ථිරයි. (ලූක් 23:42, 43) එදාට “ධර්මිෂ්ඨකම නිසා ඇති වන සමාදානය කඳු සහ හෙල් අතරින් ජනතාව අතරට ගලා බසියි.”—ගීතාවලිය 72:1-3.

ඒ නිසා යේසුස්ගේ පාලනය යටතේදී කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වන්නේ නැහැ. ඔබේ ආශාවත් එවැනි පාලකයෙකු යටතේ ජීවත් වීම නොවේද!

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබල් ඉගැන්වීම්වලට කෙනෙකුගේ ජීවිත වෙනස් කළ හැකි බව හෆේනි හා කොසේබා අද්දැක්කා

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘යේසුස්ගේ ඉගැන්වීම් මිනිසුන් අදාළ කරගන්නවා නම් අද පවතින මේ සමාජය මීට වඩා හුඟක් හොඳ වෙලා ඇති. එහෙම වුණා නම් ත්‍රස්තවාදයවත් දූෂණයවත් භීෂණයවත් තියෙන එකක් නැහැ. අපිට ආරක්ෂක අංශයක් අවශ්‍ය වෙන එකකුත් නැහැ.’—බෙල්ජියමේ හිටපු අගමැතිවරයෙකුගේ අදහසක්

[8වන පිටුවේ පින්තූරය]

ජාති භේද අතහැර එකිනෙකා කෙරෙහි සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගැනීමට හෆේනිට හා ඔන්ඩ්‍රේට උපකාර කළේ බයිබලයයි