Skip to content

පටුනට යන්න

අදට වඩා අගනා හෙට දවසක්!

අදට වඩා අගනා හෙට දවසක්!

අදට වඩා අගනා හෙට දවසක්!

පැවසුවේ මුරාට් ඉබාටූලින්

මම වෛද්‍යවරයෙක්. වර්ෂ 1987දී රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වසර හතරකට මාව උගන්ඩාවට යැව්වා. නමුත් නැවත රුසියාවට එන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම හිතුවේ ඒ අවුරුදු හතරට පස්සේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව වගේ රටකට යනවා කියලයි. ඒත් 1991දී මගේ සැලසුම් සියල්ලම වෙනස් වුණා. ඒ ඇයි කියලා දැන් මම කියන්නම්.

මම ඉපදුණේ 1953දී ටාටාස්ටාන්වල අගනුවර වන කසාන්වලයි. එහේ ඉන්න හුඟක් අය මුස්ලිම්. අපේ ආච්චියි සීයත් මුස්ලිම්. මට මතකයි ඒ කාලේ අපේ ආච්චියි සීයයි දණගහගෙන දෙවියන්ට යාච්ඤා කරනවා. ඒත් මගේ අම්මයි තාත්තයි දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ. ඒ වුණත් ආච්චිටයි සීයටයි කිසිම බාධාවක් කරන්න ඒ දෙන්නා අපිට ඉඩ දුන්නේ නැහැ.

වයස අවුරුදු හතරක් වෙනකොට මට පෝලියෝ රෝගය වැලඳුණා. ඒ නිසා මගේ පුංචි කාලය සම්පූර්ණයෙන්ම වගේ ගෙවිලා ගියේ ප්‍රතිකාර සඳහා එක එක රෝහල්වලට යන්නයි. ඒ කාලයේදී මට සනීප වෙන්න කියලා ආච්චියි සීයයි නිතරම දෙවියන්ට යාච්ඤා කළා. මගේ ආශාව වුණෙත් අනික් ළමයි වගේම දුවලා පැනලා සෙල්ලම් කරන්නයි. ඒ නිසා මගේ කකුලේ අමාරුවක් තිබුණත් මම විවිධ ක්‍රීඩා කළා.

මම ලොකු වුණාම වෛද්‍යවරයෙක් වෙන්න හුඟක් ආශාවෙන් හිටියේ. මම ආගම දහමට ළැදි කෙනෙක් නෙවෙයි. ඒ වුණත් මම අදේවවාදියෙකුත් නෙවෙයි. මගේ බාප්පා දර්ශනවාදය පිළිබඳව කථිකාචාර්යවරයෙක්. අපේ තාත්තා වැඩ කළේ රහස් පොලිසියේයි. අපේ විශ්වාසයන් ගැන අපි නිතරම වාද කළා. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කළාට පස්සේ මගේ ඉලක්කය වුණේ හොඳ ස්නායු වෛද්‍යවරයෙක් වෙලා වෙනත් රටකට යන්නයි.

අලුත් ජීවිතයක් සොයා

වර්ෂ 1984දී මොළයේ ආසාදන හඳුනාගැනීමේ විශේෂ උපාධියක් ලබාගන්න මට හැකි වුණා. පස්සේ 1987 වන විට උගන්ඩාවේ ගම්බද ප්‍රදේශයක රෝහලකට පැවරුමක් ලැබුණා. උගන්ඩාව හුඟක් ලස්සන රටක්. මගේ බිරිඳ වන ඩිල්බාත් අපේ දරුවන් වන රුස්ටම් සහ ඇලිසාත් එහේ ගියා. සැත්කම්වලට ආව අය අතර ඒඩ්ස් හැදුණු අයත් හිටිය නිසා රෝහලේ වැඩ කරනකොට හුඟක් වගකීමෙන් කරන්න වුණා. උගන්ඩාවේ ස්නායු විශේෂඥයන් හිටියේ දෙන්නෙක් විතරක් නිසා නිතරම වගේ මට වෙනත් ප්‍රදේශවල තිබුණ රෝහල්වලටත් යන්න වුණා.

දවසක් මමයි ඩිල්බායි පොත් සාප්පුවකට ගියා. පළමු වතාවට අපි රුසියානු භාෂාවෙන් තියෙන බයිබලයක් දැක්කේ එහේදියි. රුසියානු භාෂාවෙන් තිබෙන බයිබල් සෝවියට් ජනරජයේ සොයාගන්න බැරි තරම්. ඒ නිසා ඒ බයිබල් කිහිපයක්ම අපි මිල දී අරන් එහේ ඉන්න අපේ යාළුවන්ට යැව්වා. අපිත් බයිබලය කියවන්න පටන්ගත්තා. ඒත් ඒකේ තියෙන දේවල් තේරුම්ගන්න බැරි නිසා ඒක අත්හැරියා.

කොහොමවුණත් අවුරුදු තුනක් පුරා අපි උගන්ඩාවේ තිබුණු විවිධ ක්‍රිස්තියානි පල්ලිවලට ගියා. අපිට ඕනේ වෙලා තිබුණේ ඒ අයගේ විශ්වාසයන් ගැන සොයා බලා ඇත්ත නැත්ත දැනගන්නයි. ඒ වගේම කුරානය කියවලා ඒකේ තිබෙන දේවලුත් හොයලා බලන්න මට ඕනේ වුණා. ඒ නිසා මමයි පුතයි අරාබි භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. මාස කිහිපයක් යනකොට අපිට සාමාන්‍යයෙන් අරාබි භාෂාව කතා කරන්න පුළුවන් වුණා.

ඒ කාලයේදී වගේ තමයි අපිට හයින්ස් සහ මේරිඈන් වර්හෝල්ස් කියන යුවළව මුණගැසුණේ. ඒගොල්ලොත් අපි වගේම මේ රටට විදේශිකයන්. ඒ නිසා අපි ඒ අයත් එක්ක හුඟක් කිට්ටු වුණා. මුලදී අපි ඒ දෙන්නා එක්ක ආගම ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ. පස්සේ අපි ඒ දෙන්නාගෙන් ඇහුවා ‘ඇයි ඔයාලා උගන්ඩාවට ආවේ’ කියලා. ඒ වෙලාවේ ඒ දෙන්නා කිව්වා ‘අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා බයිබලය ගැන අනික් අයට කියලා දෙන්නයි මෙහේ ආවේ’ කියලා.

මම රුසියාවේදී දර්ශනවාදය ගැන පාඨමාලාවක් හදාරනකොට ඉගෙනගත්ත දෙයක් මට ඒ වෙලාවේ මතක් වුණා. අපිට කියලා දීලා තිබුණේ සාක්ෂිකරුවන් දරුවන්ව පූජා කරන, දරුවන්ගේ ලේ බොන කල්ලියක් කියලයි. මම ඒ ගැන ඒ දෙන්නට කිව්වා. ඒ වගේම ඒ දේවල් මට විශ්වාස කරන්න අමාරුයි කියලත් කිව්වා. ඊටපස්සේ ඒ දෙන්නා අපිට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක කියන පොත දුන්නා. පැය කිහිපයක් යනකොට අපි ඒ පොතෙන් භාගයකටත් වඩා කියවලා ඉවර කළා. ඒ අතරතුරේදී මම ඩිල්බාගෙන් ඇහුවා ‘ඔයා මොකක්ද මේ ගැන හිතෙන්නේ’ කියලා. ‘මේක තමයි ඇත්ත’ කියලා එයා කිව්වා. මටත් හිතුණේ ඒකමයි.

නැවතත් හයින්ස් සහ මේරිඈන් එක්ක කතා කරන්න අපි ආශාවෙන් හිටියේ. පස්සේ අපි ඒ දෙන්නා එක්ක හුඟක් දේවල් සාකච්ඡා කළා. ඒවා අපේ හිතට තදින් කාවැදුණා. ඒ නිසා ඒ ගැන අපේ යාළුවන්ටත් අපි එක්ක වැඩ කරන අයටත් කිව්වා. ඒ වගේම රුසියාවේ තානාපති එක්කත් වෙනත් රටවල් නියෝජනය කරන තානාපති කෙනෙක් එක්කත් වතිකානුව නියෝජනය කරමින් පැමිණ සිටි කෙනෙක් එක්කත් අපි කතා කළා. වතිකානුවෙන් පැමිණි කෙනා කිව්වේ පැරණි ගිවිසුමේ තියෙන “සෑම දෙයක්ම ප්‍රබන්ධ කතා” කියලයි. ඒක ඇහුවම අපි පුදුම වුණා.

නැවත මව්රටට

වර්ෂ 1991දී රුසියාවට එන්න මාසෙකට විතර කලින් මමයි ඩිල්බායි සාක්ෂිකරුවන් වෙන්න තීරණය කළා. ඒ වගේම රුසියාවේ රැස්වීම්වලටත් යන්න අපි හිතාගෙනයි හිටියේ. පුදුමයට වගේ මාස තුනක් යනකල් අපිට සාක්ෂිකරුවෙක්වත් ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක්වත් හොයාගන්න බැරි වුණා. ඒ නිසා අපි තීරණය කළා තනියම වුණත් ගෙයින් ගෙට ගිහින් බයිබලය ගැන කියලා දෙන්න. ඊටපස්සේ අපිට බයිබල් පාඩම් කිහිපයක් පටන්ගන්නත් පුළුවන් වුණා. ඒ අය අතරින් එක් කාන්තාවක් පසුව සාක්ෂිකාරියක් බවට පත් වුණා.

දවසක් හිතාගන්නවත් බැරි දෙයක් වුණා. එක වයසක සාක්ෂිකරුවෙක් අපිව හමුවෙන්න ආවා. එයාට අපේ ලිපිනය ලැබිලා තිබුණේ උගන්ඩාවේ සිටි සාක්ෂිකරුවන්ගෙනුයි. කාලයත් එක්කම අපිට සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් එක්ක රැස්වීම්වලට හවුල් වෙන්න පුළුවන් වුණා. ඒ කණ්ඩායමේ හිටියේ සාක්ෂිකරුවන් 15දෙනෙක් විතරයි. අපි රුසියාවට ගියත් හයින්ස් සහ මේරිඈන් එක්ක තිබුණු මිත්‍රත්වය නතර වුණේ නැහැ. එක සැරයක් ඒ දෙන්නා අපිව බලන්න කසාන්වලටත් ආවා. පස්සේ කාලෙකදී ඒ දෙන්නාට බල්ගේරියාවේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපිත් ඒ දෙන්නාව බලන්න එහේ ගියා. තාමත් ඒගොල්ලන් සේවය කරන්නේ බල්ගේරියාවේයි.

ගමෙන් ලැබුණු ප්‍රතිචාරය

මාත් එක්ක රෝහලේ වැඩ කළ අයත් සමඟ මම නිතරම බයිබලය ගැන කතා කළා. කාලයත් එක්කම හුඟක් අය සාක්ෂිකරුවන් බවට පත් වුණා. ඒ අතර වෛද්‍ය ක්ෂේත්‍රයේ අයත් ඉන්නවා. වර්ෂ 1992 වෙනකොට කසාන්වල සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 45යි. ඊළඟ අවුරුද්දේදී ඒ සංඛ්‍යාව 100කටත් වඩා වැඩි වුණා. කසාන්වල අද සාක්ෂිකරුවන්ගේ සභාවන් හතක් තිබෙනවා. එයින් පහක් රුසියානු භාෂාවෙන්ද එකක් ටාටාර් භාෂාවෙන්ද අනික් එක සංඥා භාෂාවෙන්ද රැස්වීම් පවත්වන සභාවන්. ඒ වගේම ආමේනියන් භාෂාව හා ඉංග්‍රීසි භාෂාව කතා කරන කණ්ඩායම්ද තිබෙනවා.

වර්ෂ 1993දී නිව් යෝක් නගරයේ පැවත්වුණු වෛද්‍ය සම්මේලනයකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ එක්කම සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්නත් මම ගියා. ඒ වෙලාවේදී මට ලොයිඩ් බැරීව මුණගැසුණා. ඔහු වැඩ කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන අංශයේයි.

ටාටාර් භාෂාවෙන් සඟරා හා පොත් පත්වල අවශ්‍යතාව මම ලොයිඩ් එක්ක සාකච්ඡා කළා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ටාටාර් භාෂාවෙන් පරිවර්තන කණ්ඩායමක් රුසියාවේ ආරම්භ කළා. ඊටපස්සේ අපිට දිගටම මුරටැඹ සඟරාව ලැබුණා. දැන් ටාටාර් භාෂාව කතා කරන සභාවකුත් තිබෙනවා.

සාක්ෂිකරුවන්ට උපකාර කිරීම

රුධිරය සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ ‘ලේවලින් වැළකී සිටින්න’ කියලයි. (ක්‍රියා 15:20) ඒ වගේම දෙවි ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ “දේවතා රූපවලට පූජා කළ දේවලින්, ලේවලින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් සහ වේශ්‍යාකමින්” වැළකී සිටීමයි. (ක්‍රියා 15:29) ඒ නීතිවලට අනුව මමත් ජීවත් වෙනවා.

දෙවිගේ මේ නීතිවලට කීකරු වන අනික් සාක්ෂිකරුවනුත් රුධිරය රහිත ප්‍රතිකාර ලබාගැනීමට සහයෝගය දෙයි කියලා වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එවැනි සාක්ෂිකරුවන්ට උපකාර කරන කසාන්වල තිබෙන රෝහල් සබඳතා කමිටුවේ මම කාලයක් වැඩ කළා. * වර්ෂ 1997දී සාක්ෂිකාර මවක් අපිට කතා කරලා උදව් ඉල්ලුවා. අවුරුද්දක් වයසැති පාවෙල් නම් ඇගේ පුතාට ඉක්මනින්ම සැත්කමක් කරන්න අවශ්‍ය බව ඇය අපිට කිව්වා. ඒ වුණත් ඒ කාලයේ රුධිරය රහිත සැත්කම් කිරීමට පුළුවන් වෛද්‍යවරුන් රුසියාවේ හිටියේ නැහැ. ඒ නිසා සැත්කම කරන තුරු දරුවාට අවශ්‍ය වෙනත් ප්‍රතිකාර ලබා දෙන්න හැකි වෛද්‍යවරයෙකුව අපි හඳුන්වලා දුන්නා.

පාවෙල්ට කරන්න අවශ්‍යව තිබුණේ හෘද සැත්කමක්. වැඩි කල් යන්න කලින් අපිට ඒ සැත්කම කරන්න කැමති වුණ වෛද්‍යවරුන්ව හම්බවුණා. සතුටුදායක ලෙස 1997 මාර්තු 31වෙනිදා රුධිරය රහිතව කළ මේ සැත්කම සාර්ථක වුණා. අප්‍රියෙල් 3වෙනිදා පළ වූ පුවත්පතක මෙසේ සඳහන් වුණා. “දරුවාගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙමින් පවතිනවා. ඔහුට නැවත ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස 11කට පසුව ඔහුගේ මව සතුටින් ඉන්නවා.”—Vechernyaya Kazan.

පාවෙල් දැන් හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින යෞවනයෙක්. ඔහු පිහිනීම සහ පාපන්දු වැනි ක්‍රීඩාවල යෙදෙනවා. ඒ වගේම එයාගේ අම්මත් එක්ක නමස්කාර වැඩකටයුතුවලටත් හවුල් වෙනවා. පාවෙල්ගේ සැත්කමෙන් පසුව ඒ රෝහලේ වෛද්‍යවරුන් සාක්ෂිකරුවන්ගේ රුධිරය රහිත හෘද සැත්කම් කිහිපයක්ම කළා. ටාටාස්ටාන්වල දැන් වෛද්‍ය ක්ෂේත්‍රය හුඟක් දියුණුයි. ඒ නිසා රුධිරය රහිත සැත්කමක් කිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි.

අද දින මගේ වැඩ කොටස

දැන් මම වෛද්‍ය සායනයක් පවත්වාගෙන යනවා. මගේ බිරිඳත් තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුත් මේ සායනයේ වැඩ කරනවා. එහිදී ස්නායු හා හෘද ආබාධ තිබෙන අයට නවීන තාක්ෂණය යොදාගෙන ප්‍රතිකාර ලබා දෙනවා. විශේෂයෙන්ම රුධිරය රහිත සැත්කම්ද අපි මේ සායනයේ කරනවා. දැන් අපි නවීන තාක්ෂණය යොදාගනිමින් රුධිරය රහිතව මොළයේ හා ස්නායු ශල්‍යකර්ම කරනවා. ඒ වගේම මම කසාන්වල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසත් වැඩ කරනවා. රුධිරය රහිත සැත්කම්වල ඇති වටිනාකම ගැන මම වෛද්‍යවරුන්ටත් වෛද්‍ය ශිෂ්‍යයන්ටත් උගන්වනවා. *

මගේ බිරිඳ ඩිල්බා ස්කෑන් පරීක්ෂණ පිළිබඳ විශේෂඥවරියක්. හුඟක් අයට උපකාර කරන්න ලැබෙන නිසා අපේ වෘත්තියේ අපි නියැලෙන්නේ හරිම සතුටින්. ඒත් ‘කිසිවෙකුවත්, මා ලෙඩින් යයි පවසන්නේ නැති’ කාලයක් ඉදිරියේදී ලැබෙන බවට බයිබලයේ සඳහන් වන පොරොන්දුව ගැන අනික් අයට කියා දීමෙන් අපි ඊටත් වඩා වැඩි සතුටක් අද්දකිනවා.—යෙසායා 33:24.

[පාදසටහන්වල]

^ 23 ඡේ. රෝහල් සබඳතා කමිටුවකින් කරන්නේ රෝගියෙකුට රුධිරය රහිත ප්‍රතිකාර අවශ්‍ය වූ විට ඒ සඳහා වෛද්‍යවරුන්ව හඳුන්වා දීමයි.

^ 27 ඡේ. රුධිරය ශරීරගත කිරීමේ ඇති අනතුර නිසා රුධිරය රහිත සැත්කම් හා රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාරවලට දැන් ලොව පුරා විශාල ඉල්ලුමක් තිබෙනවා. රුධිරය ශරීරගත කිරීම නිසා ඒඩ්ස්, වෙනත් රෝග සහ අසාත්මිකතා ඇති වීමේ අවදානමක්ද තිබෙනවා.

[12වන පිටුවේ පින්තූරය]

වෛද්‍යවරයෙකු ලෙස අප්‍රිකාවේ සේවය කරමින්

[13වන පිටුවේ පින්තූරය]

1990දී මමයි ඩිල්බායි සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා

[14වන පිටුවේ පින්තූරය]

1993දී ලොයිඩ් බැරී සමඟ

[15වන පිටුවේ පින්තූරය]

පාවෙල් සහ ඔහුගේ මව

[15වන පිටුවේ පින්තූරය]

මමයි ඩිල්බායි අනික් අයට බයිබලය ගැන කියා දෙනවා