Skip to content

පටුනට යන්න

අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?—1වෙනි කොටස

අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?—1වෙනි කොටස

යෞවන අය අසති

අන්තර්ජාලය හරහා මිතුරුකම් පැවැත්වීම භයානකද?—1වෙනි කොටස

“පිටරට යාළුවන් හුඟක්දෙනෙක් මට ඉන්නවා. ඒ අය එක්ක නිතරම කතා කරන්න මම හරි ආසයි. අන්තර්ජාලය හරහා ඒක ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්.”—සූ, අවුරුදු 17යි. *

“මිතුරුකම් පැවැත්වීම සඳහා තිබෙන වෙබ් අඩවිවලින් වෙන්නේ කාලය නාස්ති කිරීම විතරයි. ඒවා හොඳයි කම්මැලි අයට. මිතුරන් ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ ඒ අයව මුණගැහිලා කතා කිරීමයි.”—ග්‍රෙගරි, අවුරුදු 19යි.

අන්තර්ජාලය හරහා මිතුරන්ව ඇසුරු කිරීමට විශේෂ වෙබ් අඩවි නිර්මාණය කර තිබෙනවා. ඒවා හඳුන්වන්නේ මිතුරු සමාජ වෙබ් අඩවි ලෙසයි. ෆේස්බුක් ඒ අතරින් එකක්. මෙවැනි වෙබ් අඩවිවලට තිබෙන්නේ විශාල ප්‍රසිද්ධියක්. උදාහරණයකට මිලියන 50ක් අතර ගුවන් විදුලිය ව්‍යාප්ත වීමට වසර 38ක්ද රූපවාහිනියට වසර 13ක්ද අන්තර්ජාලයට වසර හතරක්ද ගත වුණා. නමුත් ෆේස්බුක් වෙබ් අඩවිය මිලියන 200ක් අතර ව්‍යාප්ත වීමට ගත වී තිබෙන්නේ එක් වසරක් පමණයි.

පහත සඳහන් අදහස හරිද වැරදිද කියා ලකුණු කරන්න.

මිතුරු සමාජ වෙබ් අඩවි වැඩි වශයෙන් භාවිත කරන්නේ යෞවන අයයි. ..... හරි ..... වැරදි

පිළිතුර: වැරදි. මෙවැනි වෙබ් අඩවි භාවිත කරන අයගෙන් තුනෙන් දෙකක්ම වයස 25ක් හෝ ඊට වඩා වැඩි අයයි. ඒ වගේම 2009දී වැඩියෙන්ම සම්බන්ධ වී තිබෙන්නේ වයස 55ට වැඩි අයයි.

කෙසේවෙතත් මිලියන ගණන් යෞවනයන් ෆේස්බුක් වැනි වෙබ් අඩවි හරහා මිතුරන්ව ඇසුරු කරනවා. යෞවනියක් වන ජෙසිකා මෙවැනි දෙයක් පැවසුවා. “මිතුරු සමාජ වෙබ් අඩවියකට මමත් සම්බන්ධ වෙලා හිටියා. පස්සේ ඒකෙන් අයින් වුණා. ඒ කාලය තුළ මගේ යාළුවෝ කිසි කෙනෙක් දුරකථනයෙන්වත් මාත් එක්ක කතා කළේ නැහැ. මට හැඟුණේ ඒගොල්ලන්ට මාව අමතක වෙලා කියලයි. ඒ නිසා මම ආපහු ඒකට සම්බන්ධ වුණා.”

මිතුරු සමාජ වෙබ් අඩවිවලට මෙතරම් ජනප්‍රියත්වයක් තිබෙන්නේ ඇයි? ඊට හේතුව අන් අය සමඟ ආශ්‍රය කිරීම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වීමයි. මෙවැනි වෙබ් අඩවි සමාජය තුළ ජනප්‍රිය වීමට හේතු කිහිපයක් පහත සඳහන් වෙනවා.

1. පහසුව නිසා.

“යාළුවන්ව මුණගැහිලා කතා කරන එක හරි අමාරුයි. ඒත් මේ වෙබ් අඩවි නිසා ඒක දැන් හුඟක් ලෙහෙසියි.”—ලෙයා, අවුරුදු 20යි.

“මගේ වෙබ් පිටුවට මොනවා හරි දැම්මොත් මගේ යාළුවන් හැමෝටම ඒක බලන්න පුළුවන්.”—ක්‍රිස්ටීන්, අවුරුදු 20යි.

2. මිතුරන් නිසා.

“මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වෙන්න කියලා යාළුවෝ නිතරම කියනවා. ඒත් තාම මම එහෙම කරලා නැහැ.”—නතාලි, අවුරුදු 22යි.

“මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ කියලා කිව්වාම යාළුවෝ මං දිහා බලන්නේ ‘මෙයාට මොකද වෙලා තියෙන්නේ’ කියනවා වගෙයි.”—ඊවා, අවුරුදු 18යි.

3. මාධ්‍යය නිසා.

“වෙළඳ දැන්වීම්වලින් පෙන්වන්න උත්සාහ කරන්නේ මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ නැති කෙනෙකුට යාළුවෝ නැහැ කියලයි. යාළුවෝ නැත්නම් ජීවිතයක් නැහැ. ඒ වගේ කෙනෙකුගෙන් කිසි වැඩක් නැහැ.”—කැතරීනා, අවුරුදු 18යි.

4. පාසැලේ පැවරුම් නිසා.

“සමහර ගුරුවරු විභාගයක් හෝ පැවරුමක් ගැන අපිට දැනුම් දෙන්නෙත් මිතුරු සමාජ වෙබ් අඩවිය හරහායි. ඒ වගේම මොකක් හරි පාඩමක් මට තේරෙන්නේ නැත්නම් ඒ වෙබ් අඩවියට ගිහින් ගුරුවරයාගෙන් ප්‍රශ්නේ අහලා උත්තරෙත් ලබාගන්න පුළුවන්.”—මරීනා, අවුරුදු 17යි.

5. රැකියාව නිසා.

“සමහර අයට රැකියාවක් සොයාගන්න මිතුරු සමාජ වෙබ් අඩවි උපකාර වෙලා තියෙනවා.”—ඒමි, අවුරුදු 20යි.

“මගේ රැකියාව නිසා මම මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හරහා මම කරන ග්‍රැෆික් නිර්මාණ අනික් අයට බලන්න පුළුවන්.”—ඩේවිඩ්, අවුරුදු 21යි.

මිතුරු සමාජ වෙබ් අඩවි, අන්තර්ජාලයේම කොටසක්. ඔබ දෙමාපියන් යටතේ සිටින දරුවෙක් නම් එවැනි වෙබ් අඩවියකට සම්බන්ධ විය යුතුද නැද්ද කියා තීරණය කළ යුත්තේ ඔබේ දෙමාපියනුයි. * (හිතෝපදේශ 6:20) ඔවුන් ඊට ඉඩ දෙන්නේ නැත්නම් ඔවුන්ට කීකරු වෙන්න.—එෆීස 6:1.

අනික් අතට වගකීමෙන් යුතුව වැඩ කරන දරුවන්ට මෙවැනි වෙබ් අඩවි භාවිත කිරීමට සමහර දෙමාපියන් අවසර දෙනවා. ඒ වුණත් ඔවුන් එය අධීක්ෂණය කරනවා. ඔවුන් එසේ කරන්නේ ඔබේ නිදහසට බාධා කිරීමට නොව එවැනි වෙබ් අඩවිවල තිබෙන භයානක පැති ගැන ඔවුන් දන්නා නිසයි. කල් තියා ඒවා හඳුනාගෙන ඉන් ආරක්ෂා වෙන්නේ කෙසේද කියා බලමු.

සැලකිලිමත් වෙන්න

අන්තර්ජාලය ඔස්සේ විවිධ වෙබ් අඩවිවල සැරිසැරීම, රිය පැදවීමකට සමාන කරන්න පුළුවන්. සමහර රියදුරන් ඉතා වගකීමෙන් කටයුතු කරන අතර තවත් අය නොසැලකිලිමත්ව රිය පදවනවා. බොහෝවිට රිය අනතුරු සිදු වන්නේ රියදුරාගේ නොසැලකිල්ල නිසයි.

ඒ හා සමානව සමහර අය වගකීමෙන් යුතුව අන්තර්ජාලය භාවිත කරන අතර තවත් අය නොසැලකිලිමත්ව එසේ කරනවා. ඔබේ දෙමාපියන් ඔබට ෆේස්බුක් වැනි වෙබ් අඩවිවලට සම්බන්ධ වීමට අවසර දී තිබෙනවා නම් ඔවුන් එසේ කර තිබෙන්නේ ඔබ ගැන යම් විශ්වාසයක් ඇතුවයි. ඒ නිසා ඔබ වගකීමෙන් වැඩ කළ යුතුයි. බයිබලයේ අපට පවසන්නේ “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න” කියායි.—හිතෝපදේශ 3:21.

මෙවැනි වෙබ් අඩවියකට සම්බන්ධ වන විට ඔබ සැලකිලිමත් විය යුතු පැති දෙකක් ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. එනම් ඔබේ පෞද්ගලික තොරතුරු හා කාලයයි. ඊළඟ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනු ලබන්නේ ඔබේ හොඳ නම රැකගැනීම සහ ඔබේ මිත්‍රයන් ගැනයි.

පෞද්ගලික තොරතුරු

යෞවනයෙක් වශයෙන් ඔබේ පෞද්ගලික තොරතුරු අනික් අය දැනගත්තාට ප්‍රශ්නයක් නැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඒ ගැන ඔබ සැලකිලිමත් නොවුණොත් ඉන් විශාල හානියක් සිදු විය හැකියි.

උදාහරණයකට ඔබ සතුව විශාල මුදලක් තිබෙනවා කියා සිතන්න. ඔබ මිතුරන් සමඟ ගමන් කරන විට ඔබ එය අනික් අයට ප්‍රදර්ශනය කරමින් යනවාද? ඔබ එසේ කරනවා නම් ඉන් සිදු වන්නේ ඔබ සොරුන්ට ආරාධනා කිරීමක්.

ඔබේ පෞද්ගලික තොරතුරුත් ඔබ ළඟ ඇති මුදල් හා සමානයි. ඒ නිසා පහත දැක්වෙන ලැයිස්තුව දෙස බලන්න. පසුව, නාදුනන අයට ඔබ හෙළි කිරීමට අකමැති දේවල් මොනවාද කියා ලකුණු කරන්න.

..... මගේ ගෙදර ලිපිනය

..... මගේ ඊ-මේල් ලිපිනය

..... මගේ පාසැල

..... මම නිවසේ සිටින වෙලාව

..... මගේ නිවසේ කිසිවෙකු නැති වෙලාව

..... මගේ ඡායාරූප

..... මගේ සිතුම් පැතුම්

..... මම කැමති අකමැති දේවල්

අන් අය දැනගැනීමට අවශ්‍ය නැති තොරතුරු කිහිපයක් හෝ ඔබ හඳුනාගන්න ඇති. නමුත් සමහර අය ඒ ගැන නොසැලකිලිමත් වන නිසා මිතුරු සමාජ වෙබ් අඩවි හරහා නාදුනන අය සමඟ එවැනි තොරතුරු බෙදාගෙන තිබෙනවා.

ඔබ එවැනි වෙබ් අඩවියක් පාවිච්චි කරනවා නම් එහි තොරතුරු ආරක්ෂා කිරීමට එම වෙබ් අඩවියේම යම් ක්‍රම තිබෙනවා. ඒ ගැන දැනුවත් වී ඉන් ප්‍රයෝජන ගන්න. ඇලිසන් නමැති තරුණිය ඇගේ වෙබ් පිටුවට තොරතුරු ඇතුළත් කළත් ඒවා ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ඒවා බැලීමට හැකි වී තිබෙන්නේ ඇය ඉඩ දී තිබෙන අයට පමණයි. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “මගේ යාළුවන්ටත් යාළුවෝ ඉන්නවා. මම ඒ අයව අඳුරන්නේ නැහැ. ඒ නිසා ඒ අය මගේ පෞද්ගලික තොරතුරු කියවනවාට මම කැමති නැහැ.”

අනික් අතට කිට්ටුම මිතුරන් සමඟ පමණක් ආශ්‍රය කළත් ඔබ පරෙස්සම් විය යුතුයි. විසිඑක් හැවිරිදි කොරීන්ගේ අදහස මෙයයි. “නිතරම යාළුවන්ගේ අදහස් දැනගන්න යෑමෙන් සිදු වෙන්නේ නොදැනුවත්වම ඔබේ පෞද්ගලික තොරතුරුත් වැඩි වැඩියෙන් හෙළි වීමයි.”

අන්තර්ජාලයට ඇතුළත් කරන තොරතුරු ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “ඔබ යම් තොරතුරු ඔබේ වෙබ් පිටුවට ඇතුළත් කළ විට ඒවා එම වෙබ් අඩවිය මගින් පිටපත් කර, ගබඩා කරනවා. ඒ නිසා ඔබේ වෙබ් පිටුවෙන් ඔබ යමක් මකා දැමුවත් වෙබ් අඩවිය මගින් ගබඩා කළ පිටපත ඔබට මකා දමන්න බැහැ. ඒ නිසා අන්තර්ජාලයට යමක් ඇතුළත් කළොත් එය සදාකාලිකයි කියා සිතාගන්න.”—CyberSafe.

කාලය

ඔබේ කාලයත් විශාල මුදලකට සමාන කළ හැකියි. ඒ නිසා මුදල් මෙන් කාලයද ඉතිරි කරන්න. (දේශනාකාරයා 3:1) විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිත කරනවා නම් ඒ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. *

“පොඩි වෙලාවකට විතරයි කියලා හිතාගෙන මම අන්තර්ජාලය පාවිච්චි කරන්න පටන්ගන්නවා. ඒත් දන්නෙම නැතුව පැය ගාණක් ගිහින්.”—ඇමැන්ඩා, අවුරුදු 18යි.

“ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන්ම මම යන්නේ පරිගණකය ළඟටයි. ඊටපස්සේ පැය ගාණක් තිස්සේ මගේ යාළුවන් එවලා තියෙන පණිවිඩ කියව කියව ඒවට උත්තර යවනවා.”—කාරා, අවුරුදු 16යි.

“මගේ ජංගම දුරකථනයේ අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඒ නිසා මම ඉස්කෝලේ යනකොටත් ඉස්කෝලේදීත් ගෙදර එනකොටත් මගේ වෙබ් පිටුව බලනවා. ගෙදර ආව ගමන්ම මම යන්නේ පරිගණකය ළඟටයි. මම මේකට ඕනෑවට වඩා කාලය දෙනවා කියලා මම දන්නවා වුණත් මේක නතර කරන්න කැමති වුණේ නැහැ.”—රියෑන්, අවුරුදු 17යි.

මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වීමට ඔබේ දෙමාපියන් අවසර දී තිබෙනවා නම් ඔබ ඒ සඳහා කොපමණ කාලයක් වැය කළ යුතුද කියා තීරණය කරන්න. පසුව, මාසයක් පුරා දිනපතා ඒ සඳහා ගත කරන කාලය සටහන් කරන්න. මාසය අවසානයේදී ඔබ සටහන් කළ දේ දෙස බලන්න. එවැනි වෙබ් අඩවිවලට ඕනෑවට වඩා කාලය නාස්ති කර තිබෙනවා කියා ඔබට පෙනී යනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්න. ඒ වගේම ඔබේ කාලය භාවිත කළ හැකි වඩා වැදගත් දේවල් තිබෙන බව අමතක කරන්න එපා.—එෆීස 5:15, 16; ෆිලිප්පි 1:10.

සමහර යෞවනයන් තමන්ගේ කාලය ඉතිරි කරගැනීමට කළ දේවල් ගැන දැන් අපි සලකා බලමු.

“මිතුරු සමාජ වෙබ් අඩවියකට මම සම්බන්ධ වෙලා හිටියා. ඒත් ටික කාලයකට මම ඒකෙන් අයින් වුණා. ඒ කාලය තුළ මට තේරුණා මගේ කාලය හුඟක් ඉතිරි වුණා කියලා. පස්සේ මම ආපහු ඒ වෙබ් අඩවියට සම්බන්ධ වුණා. නමුත් දැන් නම් මම ඒක පාවිච්චි කරන්නේ පාලනයක් ඇතුවයි. යම් දවසක මට දැනුණොත් කාලය නාස්ති වෙනවා කියලා එතකොට මම ආපහු ඒකෙන් අයින් වෙනවා.”—ඇලිසන්, 19යි.

“මම ඕනෑවට වඩා කාලය නාස්ති කරනවා කියලා මට හිතුණොත් මාස කිහිපයකට මම ඒකෙන් අයින් වෙනවා. ඊටපස්සේ ආපහු සම්බන්ධ වෙනවා. එහෙම කරන එකෙන් අවශ්‍ය දේ කරගන්නත් කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.”—ඈන්, 22යි.

නොදන්නා පැත්තක්

මිතුරු සමාජ වෙබ් අඩවි ගැන ඔබ දැනගත යුතු තවත් පැත්තක් තිබෙනවා. එය තේරුම්ගැනීමට පහත සඳහන් ලැයිස්තුව අතරින් ඔබ හරියි කියා සිතන අදහස ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

මිතුරු සමාජ වෙබ් අඩවියක් යනු . . .

(1) ..... ව්‍යාපාරයක්.

(2) ..... මිතුරු ආශ්‍රයට උපකාරයක්.

(3) ..... විනෝද වීමට මාර්ගයක්.

ඔබ දැන සිටියත් නැතත් සත්‍යය දෙය වන්නේ එය ව්‍යාපාරයක් යන්නයි. මිතුරු සමාජ වෙබ් අඩවියක මූලික අරමුණ වන්නේ වෙළඳ දැන්වීම් මාර්ගයෙන් ලාභ ලැබීමයි. මෙවැනි වෙබ් අඩවිවලට මිනිසුන් වැඩි වැඩියෙන් සම්බන්ධ වන විට ව්‍යාපාරිකයන්ට ලැබෙන ආදායමද වැඩි වෙනවා. ඒ වගේම කෙනෙක් වැඩි වැඩියෙන් මෙවැනි වෙබ් අඩවි භාවිත කිරීමට කාලය වැය කරන විට ව්‍යාපාරිකයන්ට තම වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවද වැඩියි. ඉන් සිදු වන්නේ නොදැනුවත්වම ඔබ ඔවුන්ගේ සාක්කු පිරවීමයි.

ඔබ මිතුරු සමාජ වෙබ් අඩවියක් භාවිත කරනවා නම් ඉහත සඳහන් කළ සියලු තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔබේ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම හා ඔබේ කාලය ගැන සැලකිලිමත් වෙන්න.

ඊළඟ “යෞවන අය අසති” ලිපියේ

සාකච්ඡා කරන්නේ මිතුරු සමාජ වෙබ් අඩවි ඔබේ හොඳ නමටත් ඔබේ මිත්‍රත්වයන්ටත් බලපාන්නේ කෙසේද යන්නයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 24 ඡේ. යම් වෙබ් අඩවියක් පාවිච්චි කළ යුතුද නැද්ද කියා පිබිදෙව්! සඟරාව පවසන්නේ නැහැ. අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් බයිබල් ප්‍රතිපත්ති නොකැඩෙන ලෙසට වගබලා ගන්න.—1 තිමෝති 1:5, 19.

^ 47 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2011 ජනවාරි කලාපයේ “තාක්ෂණික උපකරණවලට මම වහල් වෙලාද?” නමැති ලිපිය සහ එහි 26වන පිටුවේ කොටුව බලන්න.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිලියන 50ක් අතර ගුවන් විදුලිය ව්‍යාප්ත වීමට වසර 38ක් ගත වුණා

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ෆේස්බුක් වෙබ් අඩවිය එක් වසරක් ඇතුළතදී මිලියන 200ටත් අධික පිරිසක් අතර ව්‍යාප්ත වී තිබෙනවා

[27වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

ඔබේ වෙබ් පිටුවට ඇතුළත් කළ යුතු හා නොකළ යුතු පෞද්ගලික තොරතුරු ගැන ඔවුන් සමඟ කතා කරන්න. අනවශ්‍ය දේවල් ඇතුළත් කිරීමෙන් සිදු විය හැකි අනතුරු ගැනත් අසන්න. අන්තර්ජාලය හරහා මිතුරන් ඇති කරගැනීමේ හා මුහුණට මුහුණ ලා මිතුරන්ව ආශ්‍රය කිරීමේ ඇති වාසි අවාසි ගැනත් ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.

[26වන පිටුවේ පින්තූරය]

අන්තර්ජාලයට ඇතුළත් කරන තොරතුරු ඔබ සිතන තරම් රහසිගත නැහැ

[27වන පිටුවේ පින්තූරය]

ඔබ සතු මුදල් නාස්ති කළොත් අවශ්‍ය අවස්ථාවකදී ඔබ ළඟ මුදල් නැති වෙයි. ඔබේ කාලයත් ඒ හා සමානයි