Skip to content

පටුනට යන්න

සංචාරයට ප්‍රිය කළ යෞවනයෙක්

සංචාරයට ප්‍රිය කළ යෞවනයෙක්

සංචාරයට ප්‍රිය කළ යෞවනයෙක්

ඈත අතීතයේදී රටකින් රටකට යෑම අද තරම් පහසු දෙයක් වුණේ නැහැ. නමුත් එම අභියෝගය ජය ගැනීමට එක් යෞවනයෙක් තීරණය කළා. ඔහුගේ නම අබු අබ්දුල්ලා ඉබන් බතූතායි. ඔහුගේ ජීවිත කාලය පුරා ඔහු කිලෝමීටර් 1,20,700ක් පමණ ගමන් කර තිබෙනවා. ඔහුගේ සංචාරය ආරම්භ වුණේ 1325දීයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 20යි. ඔහු සංචාරය කළ රටවල් වුණේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය, ටැන්සානියාව, තුර්කිය, පර්සියාව, මාලි, රුසියාව, සිරියාව සහ අරාබි රටවලුයි. ඔහු මෙම සංචාරය ආරම්භ කළේ මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ සිටයි.

මුස්ලිම් ජාතිකයෙක් වූ ඉබන් බතූතා අද වන විට විශිෂ්ට දේශ සංචාරකයෙකු ලෙස පිළිගැනෙනවා. ඔහු වාර්තා කර තිබෙන තොරතුරු නිසා එදා සිටි ජනයා ගැනත් සංස්කෘතීන් ගැනත් විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් ගැනත් අපට බොහෝ දේ දැනගත හැකියි.

වන්දනා ගමනක්

ඉබන් බතූතාගේ ගමන ඇරඹෙන්නේ මක්කම වන්දනා ගමනත් සමඟිනුයි. මක්කම පිහිටා තිබෙන්නේ ටැන්ජීර් සිට කිලෝමීටර් 4,800ක් පමණ නැඟෙනහිර දෙසටයි. මේ ගමන යෑම සඳහා ඔහු වන්දනාවේ යන තවලමක් සමඟ එකතු වුණා. එසේ කළේ ඔහුගේ ආරක්ෂාවටයි.

ඉබන් බතූතාගේ පියා මුස්ලිම් අධිකරණයේ විනිසුරුවරයෙක්. ඒ නිසා ඔහුටත් අධිකරණ නීති පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලැබුණා. ඔවුන්ගේ ගමනේදී යම් ගැටලුවක් ඇති වූ විට ඒවා විසඳීමට සිදු වුණේ ඔහුටයි.

ඊජිප්තුවට ගිය ගමන

ඉබන් බතූතා ඇතුළුව වන්දනාවේ ගිය පිරිස උතුරු අප්‍රිකාවේ වෙරළ තීරය දිගේ ඊජිප්තුවට පැමිණියා. එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රදීපාගාරය දැකගැනීමට ඔහුට හැකි වුණා. ඉන්පසුව ඔහු ගමන් කළේ කයිරෝ නගරයටයි. එහි දුටු දේවල් ගැන ඔහු මෙවැනි වර්ණනාවක් කරනවා. ‘කයිරෝ නගරයට නන්දෙසින් සංචාරකයන් පැමිණෙන්නේ හරියට මුහුදේ රළ වගෙයි. ඒ නිසා මේ නගරය ඉතාමත් කාර්යබහුලයි. නගරය පුරා ඉදි කර තිබෙන ගොඩනැඟිලි දුටුවන්ගේ නෙත් වශී කරගන්නවා.’ ඒ නගරයේ තිබුණු උයන්, වෙළඳපොළවල්, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර හා ආගමික සිද්ධස්ථාන ඉබන් බතූතාගේ සිත්ගත්තා. ඊට අමතරව ඊජිප්තුවේ සිටි විවිධ ආගමික නායකයන්, විද්වතුන් හා උගතුන් වැනි අයව හමු වූ ඔහුට ඔවුන්ගේ ගෞරවාදරයද හිමි වුණා.

කයිරෝ සිට නයිල් ගඟ දිගේ ඔහු ගමන් කළා. ඒ ගමනේදී ඔහුට ආගන්තුක සත්කාර කළේ විවිධ ආගමික නායකයන්, ආශ්‍රමවල සිටි අය, මුස්ලිම් පාසැල් හා නේවාසිකාගාරයි. ඔහුට අවශ්‍ය වී තිබුණේ කාන්තාරය හරහා ගොස් රතු මුහුදෙන් එගොඩ වී අරාබියේ බටහිර දෙසට යෑමයි. ඉන්පසුව ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන පල්ලියක් තිබෙන මදිනා නගරයටත් ඔවුන්ගේ ශුද්ධ භූමියක් වන මක්කමටත් යෑමට ඔහු බලාපොරොත්තු වුණා. නමුත් යුද්ධය ඔහුගේ ගමනට හරස් වුණු නිසා ඔහු නැවතත් කයිරෝවලට පැමිණියා.

ගමන දිගු වෙයි

ඉබන් බතූතාට මක්කම යෑමට තිබූ බලවත් ආශාව නිසා ඔහු වෙනත් මාර්ගයක් ඔස්සේ එහි යෑමට තීරණය කළා. ඔහු මුලින්ම ගාසාවටත් ඉන්පසුව හෙබ්‍රොන්වලටත් ගියා. හෙබ්‍රොන් සිට යන අතරේදී ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ්ව භූමිදානය කළායයි සැලකෙන ස්ථානයද ඔහුට හමු වුණා. ඒ වගේම යෙරුසලමේ ඇති මුස්ලිම් පල්ලිය බැලීමටත් ඔහු අමතක කළේ නැහැ. බෙත්ලෙහෙම් නගරය පසු කර යන විට, ක්‍රිස්තියානියයි කියාගන්නා අය එම ස්ථානයට කොතරම් ගෞරවයක් දක්වනවාද කියාත් ඔහු දුටුවා.

ඉන්පසුව ඔහු දමස්කයට ගියා. එහිදී ඔහු මුස්ලිම් විශාරදයන්ගෙන් අධ්‍යාපනය ලැබූ නිසා ආගමික ගුරුවරයෙක් වීමට ඔහුට හැකි වුණා. දමස්කයේ තිබෙන උමායාද් පල්ලිය ගැන ඔහු පවසන්නේ එය ලෝකයේ තිබෙන “අලංකාරම” පල්ලිය බවයි. එම නගරයේ තිබූ වෙළඳපොළවල ආභරණ, රෙදිපිළි, පොත් පත්, ලිපි ද්‍රව්‍ය හා වීදුරු භාණ්ඩ වැනි දේවල් විකිණීමට තිබූ බවත් තැනින් තැන විවාහ ලියාපදිංචි කිරීමට ස්ථාන තිබූ බවත් ඔහු පවසනවා. එහිදී ඔහුත් විවාහ වී තිබෙනවා. ඔහු කිහිප වතාවක්ම විවාහ වී තිබුණත් ඒ ගැන වැඩි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ.

දමස්කයේදී ඔහුට මක්කම වන්දනාවේ යන තවත් පිරිසක් හමු වුණා. මේ යන අතරතුරේදී ඔවුන් ගිමන් හැරීමට දිය උල්පතක් අසල නතර වුණා. එහි තිබූ විශේෂත්වයක් වුණේ වතුර රැස් කිරීමට විශාල සම් භාජන සාදා තිබීමයි. සාමාන්‍යයෙන් සංචාරකයන් ඔවුන්ටත් ඔවුන්ගේ ඔටුවන්ටත් අවශ්‍ය ජලය ලබාගැනීමට පැමිණෙන්නේ මෙම ස්ථානයටයි. දුෂ්කර ගමනක් අවසානයේදී ඉබන් බතූතා තමාගේ ආශාව ඉටු කරගත්තා. ඔහු මක්කම වන්දනාවේ ගිය පළමු අවස්ථාව මෙයයි. පසුව ඔහු නැවත හය වතාවක් මක්කම ගොස් තිබෙනවා. මේ ගමනින් පසුව නැවත නිවස බලා යනවා වෙනුවට සංචාරය කිරීමට ඔහුට තිබූ ආශාව නිසා ඔහු බැග්ඩෑඩ් නගරයට ගියා.

ලොව වටා සංචාරයක්

බැග්ඩෑඩ් නගරයට ගිය ඉබන් බතූතාට එහිදීද විශේෂ දේවල් දැකගැනීමට ලැබුණා. ඉන් එකක් ඔහු විස්තර කළේ මෙසේයි. “මිනිසුන් නෑම සඳහා කාමර ඉදි කර තිබුණා. ඒ සෑම එකකම තිබූ විශේෂත්වය වුණේ අත් සේදීමට තිබූ බේසම්වල උණු හා සිසිල් ජලය ලබාගැනීමට හැකි කරාම සිවි කර තිබීමයි.” බැග්ඩෑඩ්හිදී ඔහුට ජෙනරාල්වරයෙකුව මුණගැසුණු අතර ඔහු මාර්ගයෙන් එහි පාලකයාව මුණගැසීමට අවස්ථාවක් ලැබුණා. ඔහුට පාලකයාගෙන් වටිනා තෑගිබෝග ලැබුණු අතර ඔහුගේ ගමනට අවශ්‍ය දේවල් ලබා දෙන ලෙසට ආණ්ඩුකාරයාට ලියූ ලිපියක්ද ලැබුණා.

ඉන්පසුව ඔහු නැවකින් නැඟෙනහිර අප්‍රිකාවේ මොගඩිෂු, මොම්බාසා සහ සැන්සිබාර් නම් නගරවලට පැමිණියා. එතැන් සිට අරාබියටත් පර්සියානු බොක්ක දක්වාත් ගමන් කළා. ඒ යන ගමනේදී ඔහු දුටු ජාතීන් ගැනත් ඔවුන්ගේ සමහර පුරුදු ගැනත් ඔහු සඳහන් කරනවා. ඊළඟට ඔහු සිරියාව, තුර්කිය, කලු මුහුද හරහා ගොස්, කැස්පියන් මුහුදේ උතුරු දෙසින් ගමන් කර පසුව කසක්ස්තානය, උස්බෙකිස්තානය, අෆ්ගනිස්තානය හා පකිස්තානය හරහා ඉන්දියාවට පැමිණියා.

ඉන්දියාවේ සිට චීනයට

ඉන්දියාවට පැමිණි ඉබන් බතූතාට දිල්ලි නුවරේ සිටි රජගේ නීතික උපදේශකයා ලෙස වසර අටක් සේවය කිරීමට හැකි වුණා. පසුව රජ, ඉබන් බතූතාව නියෝජිතයෙක් හැටියට චීන අධිරාජ්‍යාව මුණගැසීමට යැව්වා. ඔහුට “සුදු ජාතික මෙහෙකාරයන්, ගායනයට හා රංගනයට දක්ෂ හින්දු යෞවනියන් යන සියලුදෙනාගෙන් සියය බැගින්ද යෞවනියන්ව බලාගැනීමට නිලධාරීන් 15දෙනෙක්ද හොඳම වර්ගයේ අශ්වයන් 100දෙනෙක්ද වෛවර්ණ රෙදිපිළි 1,200ක්ද රන්, රිදී භාණ්ඩ හා තවත් වටිනා බොහෝ දේවල්ද” තෑගි වශයෙන් ඉබන් බතූතා සමඟ යැව්වා.

ඔහු ඒ සඳහා දකුණු ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණියා. එහි තිබූ විශාල වෙළෙඳ නැව් ගැනත් ඔහු වාර්තා කරනවා. එවැනි නැවක උණබට එකට වියා සාදා තිබුණු රුවල් 12ක් පමණ තිබුණු බවත් ඔහු පවසනවා. එවැනි නැවක නාවිකයන් 600ක්ද ඔවුන්ගේ පවුල්වල අයද සොල්දාදුවන් 400ක්ද ගමන් කර තිබෙන අතර පවුල් සාමාජිකයන්ගේ වගකීම වී තිබුණේ නැව තුළ ලෑලි පෙට්ටිවල එළවළු වගා කිරීමයි.

චීනයට යන අතරතුරේදී නැව මුහුදුබත් වූ නිසා ඔහු මාලදිවයිනට ගොස් එහිදී ඉස්ලාම් රාජ්‍ය නායකයෙකු යටතේ වැඩ කළා. එහි මිනිසුන් ගැනත් ඔවුන්ගේ සංස්කෘතිය ගැනත් මුල් වතාවට ලොවට හෙළි කළේ ඉබන් බතූතායි. කොහොමවුණත් පසුව ඔහුට චීනයට යෑමට හැකි වුණා. ඔහු ඉස්ලාම් භක්තිකයෙක් නිසා චීනයේදී දුටු සමහර දේවලට ඔහු ප්‍රිය නොකළ බව ඔහු සඳහන් කරනවා. ඉබන් බතූතා චීනය ගැන වැඩි විස්තරයක් සඳහන් කර නැති නිසා බොහෝදෙනා පවසන්නේ ඔහු චීනයේ වැඩිපුර සංචාරය කර නැති බවයි.

දුක්බර කාලයක්

ඉබන් බතූතා නැවත දමස්කයට පැමිණියේ 1348දීයි. එනම් වසර 20කට පසුවයි. ඒ එන විට ඔහුගේ පුතා අවුරුදු 12කට ඉහතදී මිය ගිය බවත් ටැන්ජීර්වල සිටි ඔහුගේ පියා අවුරුදු 15කට ඉහතදී මිය ගිය බවත් ඔහුට දැනගැනීමට ලැබුණා. එම වර්ෂයේදී මැදපෙරදිග රටවලට මහාමාරිය වසංගතය දරුණු ලෙස පහර දෙමින් තිබුණා. කයිරෝ නගරයේ පමණක් දිනපතා පුද්ගලයන් 21,000ක් බැගින් මිය ගිය බව ඔහු වාර්තා කරනවා.

ඉන් වසරකට පසුව ඔහු තම මව්රට වන මොරොක්කෝව බලා පිටත්ව ගියා. ඒ වන විට ඔහුට වයස අවුරුදු 45යි. ඔහුගේ මවත් මහාමාරිය නිසා මිය ගිය බව ඔහු දැනගත්තා. යෞවන වයසේදී ආරම්භ කළ සංචාරය දැන් ඔහු නතර කරයිද? නැහැ. ඊළඟට ඔහු සංචාරය කළේ ස්පාඤ්ඤයටයි. ඉන් වසර තුනකට පසුව ඔහු අප්‍රිකාවේ නයිජර් ගඟ දිගේ මාලි රටට ගියා.

ඉතිහාසගත වෙයි

ඉබන් බතූතාගේ සංචාරයන් ගැන මොරොක්කෝවේ රජට ආරංචි වූ විට ඒ ගැන සියලුම තොරතුරු වාර්තා කරන්න කියා රජ ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහුට ඉබන් ජුසේ නම් පෞද්ගලික ලේඛම්වරයෙකුවද ලබා දුන්නා. නමුත් ඔහුගේ එම වාර්තාව අරාබි රටවල එතරම් ජනප්‍රිය වුණේ නැහැ. දහනවවන සියවසේදී යුරෝපයේ සිටි විද්වතුන්ට මෙම වාර්තාව හමු වුණා. ඔවුන් පවසන්නේ සමහරවිට ඉබන් ජුසේ එම වාර්තාවට අමතර තොරතුරුත් එකතු කරන්න ඇති කියායි. කෙසේවෙතත් ඔවුන් මෙම වාර්තාව පරිවර්තනය කළා.

මුස්ලිම් රටවල සිටි මිනිසුන්ගේ ජීවන රටාව, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික වත්පිළිවෙත්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු හා දේශපාලනය පිළිබඳ තොරතුරු ලොවට දැනගැනීමට හැකි වී තිබෙන්නේ ඉබන් බතූතාට සංචාරය කිරීමට තිබූ දැඩි ආශාවේ ප්‍රතිඵලයක් ලෙසයි.

[14වන පිටුවේ පින්තූරය]

පුරාණ ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා ගමනක් දැක්වෙන 13වන සියවසට අයත් චිත්‍රයක්

[හිමිකම් විස්තර]

Scala/​White Images/​Art Resource, NY

[16වන පිටුවේ පින්තූරය]

ඉබන් බතූතාගේ සංචාරයෙන් කොටසක් දැක්වෙන 1375දී සකස් කළ සිතියමක්

[හිමිකම් විස්තර]

Snark/​Art Resource, NY