Skip to content

පටුනට යන්න

ප්‍රායෝගික උපදෙස්

ප්‍රායෝගික උපදෙස්

ප්‍රායෝගික උපදෙස්

බයිබලය ඉතා පැරණි පොතක් වුණත් එහි ඇති උපදෙස් අදටත් ප්‍රායෝගිකයි. එම උපදෙස්, මුදල් සම්බන්ධ කාරණාවලදී අපට අදාළ කරගත හැක්කේ කෙසේද කියා බලමු.

1. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.” (දේශනාකාරයා 5:10) ඉහත වදන් පැවසුවේ මෙතෙක් ජීවත් වූ ධනවත්ම පුද්ගලයන්ගෙන් එක් අයෙක්. ඔහු ඊශ්‍රායෙලයේ ජීවත් වූ සලමොන් රජයි. එසේ පැවසීමට ඔහුට හේතු වුණේ ඔහුගේම අද්දැකීම් සහ ඔහු දුටු දේවලුයි. අද සිටින සමහර ධනවත් පුද්ගලයන්ද ඔහු හා සමානම අදහස් පළ කර තිබෙනවා.

2. “අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු. නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.” (1 තිමෝති 6:8, 9) මේ දේ පැවසුවේ යේසුස්ගේ අනුගාමිකයෙකු වීම සඳහා තමාගේ උසස් වෘත්තිය අත්හැරිය පාවුල් විසිනුයි. අද සිටින සමහර ආගමික නායකයන්ට වඩා වෙනස්ව පාවුල් අන් අයට දෙවි ගැන කියා දුන්නේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙයි. ඔහු ඒ ගැන පැවසුවේ මෙයයි. “මම කිසි මිනිසෙකුගේ රන් රිදීවලට හෝ ඇඳුම් පැළඳුම්වලට ආශා කළේ නැහැ. මම මගේ අවශ්‍යතා ඉටු කරගන්න මගේම අත් දෙකෙන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඒ වගේම මා සමඟ සිටි අයගේ අවශ්‍යතා සපුරන්නත් මට හැකි වුණා.”—ක්‍රියා 20:33, 34.

3. ‘කෙනෙක් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා නම් එය ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලනවා.’ (ලූක් 14:28) යේසුස් පැවසූ එම වදන්වල ඇති ප්‍රතිපත්තියට අනුව, කෙනෙක් යම් දෙයක් මිල දී ගැනීමට පෙර ඒ දේ තමාට අත්‍යවශ්‍යද කියාත් ඊට යන වියදම දරාගත හැකිද කියාත් සලකා බැලීම අවශ්‍යයි.

4. “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.” (හිතෝපදේශ 22:7) අද දින බොහෝදෙනෙක් ක්‍රෙඩිට් කාඩ් වැනි දේවල් නිසා නොදැනුවත්වම ණය වී සිටිනවා. එක් පොතක මෙසේ සඳහන් වුණා. “සාමාන්‍යයෙන් ඇමරිකාවේ සිටින කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් හතරක් පමණ භාවිත කරන අතර ඒවා භාවිත කිරීම නිසා ඩොලර් 9,000කටත් වඩා [රුපියල් 9,90,000ක් පමණ] ණය වී සිටිනවා.”—Your Money, Day One.

5. “දුෂ්ටයා ණයට ගත් දේ පවා නොගෙවන්නේය. නමුත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලීව බොහෝ තෑගිබෝග දෙන්නේය.” (ගීතාවලිය 37:21) සමහර අය ණය ගෙන, පසුව ඒවා නොගෙවා සිටීම සඳහා නීතිමය පියවර ගන්නවා. අනික් අතට සැබවින්ම දෙවිට ප්‍රේම කරන අය ණයක් ගත්තා නම් එය නිසි වේලාවට ගෙවීමට හැකි උපරිමය කරනවා. ඒ වගේම ඔවුන් ත්‍යාගශීලීයි.

6. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතාවලිය 37:25) එය පැවසුවේ දාවිත් රජ විසිනුයි. කාලයක් ඔහුට සරණාගතයෙක් මෙන් ජීවත් වීමට සිදු වුණා. ඒ කාලය පුරා ඔහුව බලාගත්තේ දෙවියි.

7. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” (ක්‍රියා 20:35) මෙම වදන් පැවසූ යේසුස්, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයායි. ඔහු ඒ බව තම ජීවිතයෙන්ද පෙන්නුම් කළා. මේ පොළොව මත සිටියදී ඔහු තම සම්පූර්ණ කාලයම කැප කළේ අන් අයට සේවය කිරීමටයි. ඔහු දැන් සිටින්නේ “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවා සමඟයි.—හෙබ්‍රෙව් 12:2; 1 තිමෝති 1:11.

තමන් ගැන සිතමින් අනවශ්‍ය ලෙස වියදම් කරනවාට වඩා අපට කළ හැකි හොඳම දේ වන්නේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමයි. ඔබ එසේ කරනවා නම් අන් අයට උපකාර කිරීමට ඔබත් පෙලඹෙයි.