Skip to content

පටුනට යන්න

ඉතිහාසයෙන් බිඳක් හෙළි කළ පොතක්

ඉතිහාසයෙන් බිඳක් හෙළි කළ පොතක්

ඉතිහාසයෙන් බිඳක් හෙළි කළ පොතක්

ප්‍රංශයේ නෝමන්ඩි ප්‍රදේශයේ ආදිපාදවරයෙකු වූ විලියම්, 1066දී එංගලන්තය යටත් කරගත්තා. ඉන් වසර 19කට පසුව ඔහුගේ පාලන ප්‍රදේශය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් සකස් කිරීමට ඔහුට අවශ්‍ය වුණා. පසු කාලයකදී එම වාර්තාව එංගලන්තයට ඉතාමත් වැදගත් වූ පොතක් බවට පත් වුණා.

විලියම් ආදිපාදවරයා 1066 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ හේස්ටිංග්ස් ප්‍රදේශයට පැමිණියා. ඉන් අනතුරුව ඔහු එංගලන්තයට විරුද්ධව සටන් කර ඔක්තෝබර් 14වෙනිදා හැරල්ඩ් රජව මරා දැමුවා. ඉන්පසුව දෙසැම්බර් 25වෙනිදා ඔහු එංගලන්තයේ රජ බවට පත් වුණා.

මහා සමීක්ෂණයක් ඇරඹෙයි

විලියම් රජගේ පාලනයේ ආරම්භයත් සමඟ ඔහු එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ තිබුණු ගෙවල්දොරවල් විනාශ කර එම ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත්තා. ඒ ගැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් පැවසුවේ “ඒ කාලයේ කළ කුරිරු වධ හිංසාවලටත් වඩා අන්ත විදිහට” විලියම් රජ මිනිසුන්ට සැලකුවා කියායි. එම කුරිරු ක්‍රියා නිසා මිලියන දෙකක් පමණ වූ එංගලන්ත වැසියන් සිටියේ ඉතා කෝපයෙන්. රජගේ හමුදාවට සිටියේ 10,000ක් පමණයි. ඒ නිසා ඔවුන් ආරක්ෂාව සඳහා රට පුරා බලකොටු 500කටත් වඩා ඉදි කළා. එවැනි බලකොටුවක් අදටත් ලන්ඩන් නගරයේ දැකගත හැකියි.

වර්ෂ 1085 දෙසැම්බර් මාසයේදී විලියම් රජ විශේෂ සමීක්ෂණයක් කිරීමට තීරණය කළා. ඔහු තම රාජ්‍ය නිලධාරීන් සමඟ එකතු වී ඒ සම්බන්ධයෙන් දින පහක සාකච්ඡාවක් පැවැත්වූවා. අවසානයේදී 1086දී ලන්ඩන් හා වින්චෙස්ටර් නගර හැර මුළු එංගලන්තයම කොටස් හතකට බෙදා එහි තිබෙන ඉඩකඩම් ඇතුළුව සියලුම වත්කම් පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් සකස් කරන්න කියා පැවසුවා.

ඔහු මෙවැනි සමීක්ෂණයක් කළේ ඔහුගේ සෙබළුන්ට වැටුප් ගෙවීමට අවශ්‍ය වී තිබූ මුදල් සොයාගැනීමට සහ රටේ තිබෙන ඉඩකඩම්වල අයිතිකාරිත්වය දැනගැනීමටයි. ඒ වගේම ඔහුට අවශ්‍ය වුණේ එම ඉඩකඩම්වල පදිංචි කරවීම සඳහා ප්‍රංශ වැසියන්ව ගෙන්වාගැනීමයි.

වාර්තාවක් සකස් කරයි

විලියම් රජ විශාල ඉඩම් ප්‍රමාණයක් ඔහුගේ නිලධාරීන්ට ලබා දුන්නා. ඔහු කළ සමීක්ෂණයෙන් හෙළි වුණේ එංගලන්තයේ ඉඩම්වලින් භාගයක්ම 200දෙනෙකුට වඩා පිරිසක් අතර බෙදී ඇති බවයි. ඒ අතර ඉංග්‍රීසි ජාතිකයන් සිටියේ දෙදෙනෙකු පමණයි. මේ ප්‍රදේශවල කලින් ඉංග්‍රීසි ජාතිකයන් 6,000ක් පමණ ජීවත් වූ අතර පසුව ඔවුන්ට සිදු වුණේ තමාගේම ඉඩම්වලට කුලී ගෙවමින් ජීවත් වීමටයි.

මේ සමීක්ෂණ වාර්තාවේ ඉඩම්වල නියම අයිතිකරුවන් කවුද, බලහත්කාරයෙන් රජ පවරාගත් ඉඩම් මොනවාද, බදු සහ කුලී අය කරන්නේ මොන ඉඩම් සඳහාද යන සියල්ල සටහන් වුණා. ඒ වගේම ඔවුන් සතුව තිබූ සියලුම වත්කම්ද වාර්තා කිරීම අවශ්‍ය වුණා. උදාහරණයකට හරකෙක් ඌරෙක් වැනි සතෙකු ඇති කළා නම් එයත් එම වාර්තාවට ඇතුළත් කළා. මෙම තත්වය එංගලන්ත වැසියන්ට විශාල පීඩාවක් වුණා. ඒ වුණත් ඊට එරෙහි වීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ.

ඉන්පසුව මෙම සියලුම තොරතුරු එකතු කර පොතක් ලෙස සකස් කළා. එම පොත වෙළුම් දෙකකින් සමන්විතයි. එක වෙළුමක් විශාල පිටු 413කින් සමන්විත වන අතර අනික් වෙළුම කුඩා පිටු 475කින් සමන්විතයි. පොත්වල පිටු සාදා තිබුණේ බැටළු සම්වලිනුයි. ඒවා පිටපත් කළේ ලතින් භාෂාවෙන්. නමුත් 1087දී විලියම් රජ මිය යන විටත් මෙම දෙවෙනි වෙළුම සම්පූර්ණ කර තිබුණේ නැහැ. කෙසේවෙතත් පුදුමයට කාරණයක් වන්නේ මෙතරම් විශාල සමීක්ෂණයක් ඔහු එක් අවුරුද්දකින් කළේ කෙසේද යන්නයි.

විලියම් රජ එංගලන්තය අල්ලාගැනීමට පෙර සිටම එංගලන්තය විසින් කරන ලද ඉඩකඩම් හා අයබදු පිළිබඳව යම් වාර්තා තිබුණා. ඒ වාර්තාවන් ඔහුගේ සමීක්ෂණවලට විශාල වශයෙන් උපකාරවත් වුණා.

පොත දායාදයක් වෙයි

විලියම් රජුගෙන් පසුව සිටි සියලුම රජවරුන් ඔවුන් යන සෑම තැනකටම වගේ මෙම වටිනා පොතද රැගෙන ගියා. මුල් කාලයේදී මෙම පොත භාවිත වුණේ ඉඩම්වල අයිතිකාරිත්වය පිළිබඳව ගැටලු මතු වූ විට ඒවා නිරාකරණය කිරීමටයි. දහඅටවන සියවසේදී ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් විලියම් බ්ලැක්ස්ටොන් මෙම පොත භාවිත කළේ ඡන්ද දැමීමට අයිතිය තිබෙන්නේ කාටද කියා සොයා බැලීමටයි. අද වන විට මෙම පොත තිබෙන්නේ එංගලන්තයේ ජාතික ලේඛනාගාරයේයි.

මෙම පොත සකස් කර වසර 900ක් ගත වීමේ සංවත්සරය සැමරීම නිමිත්තෙන් 1986දී එය වෙළුම් පහකට වෙන් කළා. දැන් එය ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කර තිබෙනවා. එංගලන්තයේ BBC මාධ්‍ය ආයතනය පැවසුවේ මෙයයි. “මෙම පොත ජාතික ලේඛනාගාරයේ තිබෙන වටිනාම වස්තුවයි. ඉඩම්වල අයිතිකරුවන් නිර්ණය කිරීම සඳහා මෙම වාර්තාව තවමත් ප්‍රයෝජනවත් වෙනවා.” උදාහරණයකට ඉපැරණි ගමකට අයත්ව තිබූ පොදු වෙළඳපොළක් නැවත ආරම්භ කිරීම සඳහා තිබුණු අයිතිය මෙම වාර්තාවෙන් ඔප්පු වුණා. මෙය සිදු වුණේ 1958දීයි.

ඉපැරණි ගම්මාන පිහිටා තිබුණු ස්ථාන සොයාගැනීම සඳහා මේ පොත පුරාවිද්‍යාඥයන්ට සපයන්නේ මහඟු සේවයක්. ඒ වගේම මෙය එංගලන්තයේ තිබෙන වටිනා සම්පතක් කියා පැවසුවොත් නිවැරදියි.

[23වන පිටුවේ කොටුව/පින්තූරය]

කපටි උපායක්

විලියම් ආදිපාදවරයා එංගලන්තය පරාජය කළ පසු එය ආගමේ නාමයෙන් කළ යුද්ධක් ලෙස නම් කිරීමට පාප්වරයාගෙන් අවසර ගත්තා. ඔහුට එම අවසරය ලැබුණේ එංගලන්ත පල්ලියේ පාලනය පාප්වරයාට ලබා දීමේ පොරොන්දුව මතයි. කෙසේවෙතත් මෙම සැලැස්ම විලියම් යෙදූ කපටි උපායක්. එක් පොතක මෙසේ සඳහන් වුණා. “ආගමික යුද්ධයක් ලෙස පෙනී සිටීමට පාප්වරයාගෙන් ඔහුට අනුමැතිය නොලැබුණා නම් ඔහු එංගලන්තය මංකොල්ලා කෑවා හා සමාන වෙනවා.”History of England.

[හිමිකම් විස්තර]

© The Bridgeman Art Library

[22වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

එංගලන්තය

ලන්ඩනය

හේස්ටිංග්ස්

ඉංග්‍රීසි ඕඩය

නෝමන්ඩි

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Book: Mary Evans/​The National Archives, London, England