Skip to content

පටුනට යන්න

මසුන් ඇල්ලීමට හපන්නු

මසුන් ඇල්ලීමට හපන්නු

මසුන් ඇල්ලීමට හපන්නු

මසුන් ඇල්ලීමේදී ධීවරයෙකු සැලකිලිමත් විය යුතු කාරණා තුනක් තිබෙනවා. (1) මසුන් සිටින ස්ථාන හඳුනාගැනීම, (2) ඒ වෙත යෑම සහ (3) මසුන් අල්ලාගැනීම. මසුන් අල්ලන කුරුල්ලන්ටද එම කාරණා තුන අදාළයි.

පුරාණ ඊජිප්තුවරුන් මසුන් ඇල්ලුවේ මණ්ඩාව නමැති හොඳින් උල් කරන ලද රිටක් යොදාගෙනයි. නමුත් ඔවුන් එම තාක්ෂණය යොදාගැනීමට බොහෝ කාලයකට පෙර සිටම ඒ හා සමාන ක්‍රමයක් කොක්කුන් භාවිත කරමින් සිටිනවා.

උදාහරණයකට ඊජිප්තුවේ නයිල් ගඟ අසල ජීවත් වන අළු කොකා, උගේ තියුණු හොට මණ්ඩාවක් මෙන් යොදාගනිමින් මසුන්ට ඇන උන්ව අල්ලාගන්නවා. මේ ආකාරයෙන් එකවිට මසුන් දෙදෙනෙකු වුණත් උගේ හොටට අල්ලාගත හැකියි. සාමාන්‍යයෙන් මේ කොක්කුන් දිනකට මසුන් ග්‍රෑම් 500කටත් වඩා ආහාරයට ගන්නවා.

අළු කොක්කු මසුන් අල්ලන්නේ මේ ආකාරයටයි. උන් හෙමින් සීරුවේ මසුන් වෙත ඇවිද යන්නේ අනතුරක සේයාවක්වත් මාළුවාට නොදැනෙන විදිහටයි. සමහර අවස්ථාවලදී උන් වතුරට බැස කිසිම සෙලවීමකින් තොරව සිටගෙන සිටිනවා. අනතුර නොදැක එතැනින් යන මාළුන්ව උන් ඉක්මනින්ම ගොදුරු කරගන්නවා. මසුන් අල්ලීමේදී උන්ගේ සාර්ථකත්වයට රහස වන්නේ ඉවසීමයි.

ඇමක් භාවිත කරයි

කුරුල්ලන් ගැන ලියවුණු එක් පොතක මෙවැන්නක් සඳහන් වුණා. ජපානයේ සිටින එක් කොක්කු විශේෂයක් (green-backed herons) මිනිසුන් කරනවා හා සමානව මසුන් ඇල්ලීම සඳහා ඇමක් යොදාගන්නවා. පොකුණු අසල රැඳී සිටින උන් පාන් කැබලි වතුරට දමා ඒ වෙත මසුන් එන තුරු රැක සිටිනවා. පාන්වල රස බැලීමට පැමිණෙන මසුන්ට සිදු වන්නේ අවසානයේදී කොකාගේ බඩ පිරවීමටයි.—The Life of Birds.

කැරීබියානු දූපත් අසල සිටින සමහර කොක්කු මසුන් ඇල්ලීමේදී ඇමක් යොදාගන්නවාට අමතරව කපටි උපා යොදන්නත් හරි දක්ෂයි. උන් වතුරට බැස එක් කකුලකින් සිටගෙන, අනික් කකුල වතුර යට තබා සෙමින් සොලවනවා. කහපාටින් සෙලවෙන්නේ තමාට ආහාරයක් කියා රැවටෙන මසුන් ඒ වෙත පැමිණ කොකාගේ ගොදුරක් බවට පත් වෙනවා.

වෙලාවට පහර දෙයි

රාජාලියන් මසුන් අල්ලන්නේ ඉහත සඳහන් කුරුල්ලන්ට වඩා වෙනස් ආකාරයකටයි. උන් පියාසර කරමින් සිටින අතරතුරේ මාළු සිටිනවාද කියා හොඳින් බලනවා. මාළුවෙකුව දුටු සැණින් තටු දෙක පිටුපසට අකුළාගෙන විදුලි වේගයෙන් මාළුවා වෙත පැමිණ උගේ කකුල්වලින් මාළුවාව අල්ලාගන්නවා. රාජාලීන්ට මෙතරම් හොඳින් මසුන් අල්ලාගැනීමට හැකි වන්නේ උන්ගේ තියුණු පෙනීම හා නිවැරදි වේලාවට ගොදුරට පහර දීමේ හැකියාව නිසයි.

සමහර අවස්ථාවලදී රාජාලීන් කිලෝ තුනක් පමණ බර මසුන්ව පවා අල්ලාගන්නවා. එවැනි අවස්ථාවකදී ඌට පියාඹා යන්න බැරි නිසා ඌ වතුරට බැස තටුගසමින් ගොදුර සමඟ ගොඩට පිහිනනවා.

දිය යට කිමිදෙයි

සුලාවියන්, මසුන් ඇල්ලීමට යන්නේ රංචු වශයෙනුයි. උන් පියාසර කරමින්, රංචු පිටින් පිහිනන මසුන්ව සොයනවා. වතුරේ පැහැය නිල් පාටේ සිට ලා කොළ වර්ණයට වෙනස් වූ සැණින් එය මසුන් රංචුවක් බව උන් හඳුනාගන්නවා.

පසුව අහසේ සිට වේගයෙන් පැමිණ වතුර යටට යනවා. එය හරියට අහසේ සිට වතුරට ඊතළ විදිනවා වගෙයි. එසේ එන වේගය පැයට කිලෝමීටර් 97ක් පමණ වෙනවා. මෙය දකින අනික් කුරුල්ලන්ද එතැන මාළු සිටින බව හඳුනාගෙන ඒ වෙත එනවා.

සුලාවියන්, උන් පැමිණෙන වේගයෙන්ම කිමිදී නැවත ඉහළට එන්නේ මාළුවෙකුවද අල්ලාගෙනයි. පසුව උන් මාළුවාව එකවිට ගිල දමනවා.

මුහුදු ලිහිණි ඊට වඩා හුඟක් වෙනස්. උන් පියාඹන්නේ වතුරට ගෑවෙන නොගෑවෙන ලෙසයි. ඒ යන අතරතුරේදී දකින මසුන්ව උන් ඩැහැගන්නවා. උන්ට කිමිදී වුණත් මසුන් ඇල්ලිය හැකියි. නමුත් උන් එසේ කරන්නේ කලාතුරකින් පමණයි.

කණ්ඩායමක් වශයෙන් පෙරට යයි

පැස්තුඩුවාගේ හොටේ යට පැත්ත හරියට ලොකු මල්ලක් වගෙයි. ඒ නිසා උගේ පෙනුම එතරම් ලස්සන නැහැ. නමුත් උන්ට මසුන් ඇල්ලීමට ඇති හැකියාවේ නම් කිසි අඩුවක් නැහැ. සමහර අවස්ථාවලදී මෙම කුරුල්ලන්ද මසුන් ඇල්ලීම සඳහා කිමිදෙනවා. ඒ වගේම උන් ධීවරයන්ගේ මසුන් සොරකම් කරන අවස්ථාත් තිබෙනවා.

උන් ජීවත් වෙන්නේ රංචු වශයෙනුයි. ඒ නිසා උන් කෑමට යන විටත් එකිනෙකාට සහය වෙනවා. මසුන් ඇල්ලීම සඳහා උන් මුලින්ම වතුර මත අඩ සඳක ආකාරයට සැකසෙනවා. ඉන්පසුව රංචු පිටින් එන මාළුන්ව උන් වට කරගෙන ටිකෙන් ටික ගොඩබිම දෙසට එළවනවා. මසුන් ගොඩබිම ආසන්නයට පැමිණි විට මෙම කුරුල්ලන් පහසුවෙන්ම උන්ගේ හොටේ තිබෙන මල්ලට මසුන් හසු කරගන්නවා.

මේ සියලු කුරුල්ලන් මොන තරම් උපක්‍රම යොදාගත්තත් සමහර අවස්ථාවලදී උන්ගේ කුරුමානම් වරදිනවා. නමුත් මිනිසුන් සමඟ බලන විට උන් ඉතාමත් දක්ෂ මසුන් අල්ලන්නන් කියා පැවසිය හැකියි.

[12වන පිටුවේ පින්තූරය]

මසුන් අල්ලන රාජාලියා

[හිමිකම් විස්තර]

Photolibrary

[12වන පිටුවේ පින්තූරය]

අළු කොකා

[13වන පිටුවේ පින්තූරය]

සුලාවියා

[13වන පිටුවේ පින්තූරය]

මුහුදු ලිහිණියා

[13වන පිටුවේ පින්තූරය]

පැස්තුඩුවා