Skip to content

පටුනට යන්න

දෙමාපියන්ගෙන් විමසමු!

දෙමාපියන්ගෙන් විමසමු!

දෙමාපියන්ගෙන් විමසමු!

කුඩා දරුවන් සිටින දෙමාපියන් අභියෝග රැසකට මුහුණ දෙනවා. උදාහරණයකට දරුවා මුරණ්ඩු නම් කරන්නේ කුමක්ද? හරි දේ හා වැරදි දේ අතර වෙනස කියා දෙන්නේ කොහොමද? සුදුසු හික්මවීම් දෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් දෙමාපියන් කිහිපදෙනෙකුගේ අද්දැකීම් බලමු.

මුරණ්ඩු වීම

“පුතා ඉල්ලන දෙයක් එයාට දුන්නේ නැත්නම් එයාගේ අතේ තියෙන ඔක්කොම විසි කරනවා. එතකොට එයාට අවුරුදු දෙකයි. එයා අපේ පළවෙනි දරුවා නිසා ඒ වගේ වෙලාවකදී කරන්න ඕනේ මොනවාද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒ හැසිරීම සාමාන්‍යයි කියලා අනික් අය කිව්වත් අපිට ඒකෙන් කිසිම සහනයක් ලැබුණෙ නැහැ.”—කෙන්යාවේ සූසන්.

“අපේ දුව පුංචි කාලේ, ඒ කියන්නේ අවුරුදු දෙකේදී විතර එයා ඉල්ලන දේ දුන්නේ නැත්නම් බිම පෙරළි පෙරළි කෑගහලා අඬනවා. නළවගන්නම බැහැ. ඒ නිසා මමයි මහත්තයයි ඒ වෙලාවට දුවව ගිහින් කාමරෙන් තියලා ‘ඔයා අඬලා ඉවර වුණාම එළියට එන්න’ කියලා කියනවා. පස්සේ අපි එයත් එක්ක ඒ ගැන කතා කරනවා. ඒ ක්‍රමය සාර්ථක වුණා. දවසක් එයා දෙවිට යාච්ඤා කරලා සමාව ඉල්ලනවා අපිට ඇහුණා. ඒ විදිහට ටිකෙන් ටික එයාගේ මුරණ්ඩු ගතිය නැතුව ගියා.”—ස්පාඤ්ඤයේ යොලැන්ඩා.

“එපා කිව්ව දෙයක් කරන්න ඉඩ දුන්නොත් දරුවෝ කවදාවත් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට මොනවා හරි දේකට එපා හරි නැහැ හරි කිව්වොත් කිව්වම තමයි. කෑගහලා ඇඬුවත් එයාලට ඕන දේ කරගන්න බැහැ කියලා එයාලා තේරුම්ගත්තා.”—බ්‍රිතාන්‍යයේ නීල්.

හික්මවීම

“අවුරුදු පහට අඩු දරුවෙකුට යමක් කිව්වොත් එයාට ඒක හරියටම තේරුණාද කියලා දැනගන්න අමාරුයි. ඒ නිසා සමහරවිට එකම දේ දහසැරයක් විතර කියන්න වෙනවා. ඒත් ඒක කෙළින් කියන්න ඕනේ.”—ප්‍රංශයේ සේර්ජ්.

“අපේ දරුවෝ හතරදෙනා එකම පරිසරයක හැදුණත් ඒ එක් එක් කෙනා වෙනස්. එක් කෙනෙක් පොඩි දේකට වුණත් අඬනවා. අනික් කෙනා වෙලාවකට මුරණ්ඩුයි. තවත් කෙනෙකුට රවලා බැලුවත් ඇති. අනික් කෙනාට සමහර වෙලාවට දඬුවමක් දෙන්නම ඕනේ.”—කැනඩාවේ නේතන්.

“නීතියක් දැම්මොත් ඒක ළිහිල් කරන්න හොඳ නැහැ. ඕනෑවට වඩා දැඩි වෙන්නත් හොඳ නැහැ. දරුවෙක් වරදක් කරලා ඒක පිළිගන්නවා කියලා හිතන්න. එතකොට අපි ටිකක් සාධාරණ වෙන්න ඕනේ.”—ප්‍රංශයේ මැතිව්.

“මගේ පුතාට අවුරුදු තුනයි. මම එයාට වැඩිය නීති දාන්නේ නැහැ. නමුත් දාලා තියෙන නීති වෙනස් කරන්නෙත් නැහැ. එයා වරදක් කළොත් දඬුවම් විඳින්න වෙනවා කියලා එයා දන්නවා. සමහර වෙලාවට ළමයි කරන වැරදි ගණන් නොගෙන ඉන්න එක ලේසි වෙන්න පුළුවන්. ඒත් එහෙම කළොත් කවදාවත් දරුවෝ පාඩමක් ඉගෙනගන්නේ නැහැ.” —කැනඩාවේ නැටලි.

ප්‍රමිති වෙනස් නොකරන්න

“එක වෙලාවක ‘එපා’ කියලා තව වෙලාවක ඒ දේට ‘හා’ කිව්වොත් දරුවා ඒක මතක තියාගන්නවා.”—බොලීවියාවේ මිල්ටන්.

“එකම දේ ගැන අපේ පුතා එක එක විදිහට ප්‍රශ්න අහනවා. ඒකෙන් එයා බලන්නේ අපි එකම උත්තරේ දෙයිද කියලයි. මම එකක් කියනවා, අම්මා තව එකක් කියනවාද කියලත් එයා බලනවා. බැරි වෙලාවත් ඒ වගේ දෙයක් වුණොත් එයා ඒක එයාගේ වාසියට හරවගන්නවා.”—ස්පාඤ්ඤයේ ආන්ජෙල්.

“මම හොඳින් ඉන්න වෙලාවට පුතා මොනවා කළත් මට ගාණක් නැහැ. හැබැයි මම කේන්තියෙන් ඉන්න වෙලාවක එයා වැරැද්දක් කළොත් මම එයාට හොඳටම දඬුවම් කරනවා. ඒකෙන් වුණේ පුතා අකීකරු වුණ එක විතරයි.”—කොරියාවේ ගියෝං-ඕක්.

“වැරැද්ද වැරැද්දමයි කියන දේ දරුවෝ තේරුම්ගන්න ඕනේ. ඒක හරි වැදගත්.”—බ්‍රසීලයේ ඇන්ටෝනියෝ.

“අපිට හිතෙන හිතෙන විදිහට අපි ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් දරුවෝ දෙමාපියන්ව ගණන් ගන්නේ නැහැ. හැබැයි හරි දේ හැමදාමත් හරි, වැරදි දේ හැමදාමත් වැරදියි කියලා දෙමාපියන් පෙන්වනවා නම් දරුවනුත් ඒක තේරුම්ගන්නවා. දරුවන්ට ඇත්තටම ආදරය සහ ආරක්ෂාව දෙන්න පුළුවන් ඒ විදිහටයි.”—බ්‍රසීලයේ ජිල්මාර්.

“සමහර වෙලාවට දරුවෝ අනික් අය ඉස්සරහා දෙමාපියන්ගෙන් දේවල් ඉල්ලනවා. ඒ වගේ වෙලාවට දෙමාපියන් බැහැ කියන එකක් නැහැ කියලා දරුවෝ හිතනවා. ඒත් මම අපේ පුතාට කියලා තියෙන්නේ කවුරු ඉස්සරහා ඉල්ලුවත් ඒක දෙන්නේ නැත්නම් නැහැම තමයි කියලයි.”—කොරියාවේ චැන්සෝක්.

“දරුවන්ට දාන නීති ගැන අම්මයි තාත්තයි එකඟ වෙන්න ඕනේ. එහෙම බැරි නම් කවදාවත් දරුවෝ ඉස්සරහා ඒ ගැන කතා කරන එක හොඳ නැහැ. දාන නීති ගැන දෙමාපියන්ගේ එකඟතාවක් නැහැ කියලා දරුවෝ දැනගත්තොත් එයාලා ඒක වාසියට හරවගන්නවා.”—ස්පාඤ්ඤයේ හේසුස්.

“දාන නීතිවලට අම්මයි තාත්තයි දෙන්නම එකඟයි කියලා දරුවට දැනෙන්න ඕනේ. ඒක දරුවට ආරක්ෂාවක්. කීකරු වුණාම ලැබෙන දේත් අකීකරු වුණාම ලැබෙන දේත් දරුවා තේරුම්ගන්නවා.”—ජර්මනියේ ඩමාරිස්.

“අපේ දුවට මොනවා හරි දෙනවා කිව්වොත් අපි දෙනවමයි. ඒ නිසා දුව දන්නවා අම්මයි තාත්තයි කියන දේ කරනවා කියලා. දඬුවමක් වුණත් ඒක එහෙමමයි.”—ජර්මනියේ හෙන්ඩ්‍රික්.

“මගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා හැම වෙලාවෙම මගේ වැඩ කොටස වෙනස් කළොත් මට එපා වෙනවා. ඒ වගේ තමයි දරුවන්ට දාන නීතිත් නිතරම වෙනස් කරනවා නම් එයාලට එපා වෙනවා. ඒ නිසා එයාලට දාන නීතිත් ඒවා කඩ කළොත් ලැබෙන දඬුවමත් වෙනස් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ.”—කැනඩාවේ ග්ලෙන්.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘එසේ නම් එසේය කියාත් නැත නම් නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.’—යාකොබ් 5:12

[9වන පිටුවේ කොටුව/පින්තූර]

සැබෑ අද්දැකීමක්

සැලසුම් නොකළ ගැබ්ගැනීමකට මුහුණ දුන් ආකාරය

පැවසුවේ ටොම් හා යූන්හී හාන්

ටොම්: යූන්හීට බබෙක් හම්බවෙන්න යනවා කියලා දැනගන්න කොට අපි බැඳලා මාස හයයි. යූන්හී කලබල වෙන නිසා මම සන්සුන්ව ඉන්න උත්සාහ කළා. ඒත් මම හිටියෙත් පුදුම භයකින්.

යූන්හී: ඒ ගැන දැනගත්තාම මම හොඳටම භය වෙලා ඇඬුවා. මෙච්චර ඉක්මනට මම අම්මා කෙනෙක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒකට මම ලෑස්ති නැහැ.

ටොම්: මට දරන්න වෙන වගකීම් ගැන ඒ වෙන කොට මම හිතලවත් තිබුණේ නැහැ. පස්සේ අපි වෙනත් දෙමාපියන් එක්ක ඒ ගැන කතා කළා. එතකොටයි අපි දැනගත්තේ හදිසියෙන් දරුවෙක් ලැබෙන එක හුඟක් අයට වෙන දෙයක් කියලා. තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් වෙන එකෙන් ලැබෙන සතුට ගැනත් එයාලා අපිට කිව්වා. ඒ නිසා ටිකෙන් ටික මගේ භය නැති වුණා.

යූන්හී: අපේ දුව ඇමැන්ඩා ඉපදුණාට පස්සේ අපිට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයා හැම තිස්සේම අඬන නිසා සති ගණන් මට හරි හැටි නින්දක් ලැබුණෙ නැහැ. මට කන්න හිතුණෙත් නැහැ. ඇඟට ලොකු වෙහෙසකුත් දැනුණා. අනික් අය එක්ක ආශ්‍රය කරන්න හිතුණෙත් නැහැ. ඒත් ගෙදරට වෙලා ඉන්නවාට වඩා මං වගේ තවත් අම්මලා එක්ක කාලේ ගත කරන්න මම තීරණය කළා. මේ වගේ අභියෝග තියෙන්නේ මට විතරක් නෙමෙයි කියලා ඊටපස්සේ මම දැනගත්තා.

ටොම්: දුව ඉපදුණාට පස්සෙත් අපි කලින් කරගෙන ගිය දේවල් නතර කළේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට දේවසේවයේ හවුල් වෙන්නත් ක්‍රිස්තියානි රැස්වීම් අතපසු නොකරන්නත් අපි තීරණය කළා. ඉස්සරට වඩා ගෙදර වියදම වැඩි වෙන කොට ණය නොවී, තියෙන දෙයින් ජීවත් වෙන්නත් ඉගෙනගත්තා.

යූන්හී: මුලදී මට හිතුණා දුවත් එක්ක දේවසේවයේ යන එක කරදරයි කියලා. ඒත් මිනිස්සු දරුවන්ව හුරතල් කරන්න හරි ආස නිසා දුවව සේවයේ ගෙනියන එක මට ඇත්තටම කරදරයක් වුණේ නැහැ. ඒක මට සේවයේ වැඩිපුර හවුල් වෙන්න උදව් වුණා.

ටොම්: දරුවෙක් ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයක් හා තෑග්ගක්’ කියා බයිබලයේ කියනවා. (ගීතාවලිය 127:3) මගේ දරුවාවත් මම සලකන්නේ මට ලැබුණු වටිනා තෑග්ගක් හැටියටයි. මේ තෑග්ග මම හුඟක් අගය කරන නිසා මට ඕනේ අපේ දුවව ගුණ යහපත් දරුවෙක් කරන්නයි. ඒක කරන්න නම් එක් එක් අවදියේදී දරුවාව හොඳින් පුහුණු කරන්න ඕනේ. තාත්තා කෙනෙක් හැටියට දුවගේ ජීවිතයේ අවශ්‍ය කාලයේදී අවශ්‍ය දේවල් කළේ නැත්නම් ආපහු ඒ දේවල් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

යූන්හී: ජීවිතයේ අපි නොහිතන දේවල් සිදු වෙනවා. හදිසියේම දරුවෙක් ලැබෙන එකත් ඒ වගේ දෙයක්. දැන් අපේ දුවට අවුරුදු හයයි. එයා නැති ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැහැ.

[පින්තූරය]

ටොම්, යූන්හී හා දුව ඇමැන්ඩා