Skip to content

පටුනට යන්න

දෙමාපියන්ගේ බලාපොරොත්තුව කුමක්ද?

දෙමාපියන්ගේ බලාපොරොත්තුව කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙමාපියන්ගේ බලාපොරොත්තුව කුමක්ද?

ඔබ කැමති ඔබේ දුව හෝ පුතා මොන වගේ කෙනෙක් වෙනවා දකින්නද?

1. හැම අතින්ම ඔබ වගේ කෙනෙක්

2. හිතුවක්කාර ලෙස වැඩ කරන කෙනෙක්

3. සමාජයට වැඩදායී කෙනෙක්

බොහෝ දෙමාපියන් කැමති තම දරුවා සමාජයට වැඩදායී කෙනෙක් වෙනවා දකින්නයි. නමුත් සමහර දෙමාපියන් එම අරමුණ සිතේ තබාගෙන සීමාව ඉක්මවා දරුවාව පාලනය කරනවා. එසේ කිරීමෙන් සිදු වන්නේ නොදැනුවත්වම දරුවා හිතුවක්කාර වීමයි.

සීමාව ඉක්මවා පාලනය කිරීම

ඔබේ දරුවා හොඳ වැඩිහිටියෙක් වෙනවා දැකීම ඔබේ ආශාව නම් දරුවාව සීමාව ඉක්මවා පාලනය කිරීමෙන් වැළකිය යුතුයි. එසේ කිරීම නුසුදුසු වීමට හේතු අපි දැන් සලකා බලමු.

1. බයිබලය අනුමත කරන්නේ නැහැ. හොඳ හෝ නරක තීරණ ගැනීමේ නිදහස දෙවි මිනිසුන්ට දී තිබෙනවා. ඒ බව බයිබලයේ සඳහන් මේ උදාහරණයෙන් පැහැදිලියි. එක් අවස්ථාවකදී කායින් ඔහුගේ සහෝදරයා වූ ආබෙල් සමඟ වෛරයෙන් සිටියා. එවිට දෙවි, කායින්ට පැවසුවේ මෙයයි. “ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද? නමුත් ඔබ යහමඟට හැරුණේ නැත්නම් පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය.”—උත්පත්ති 4:7.

කායින්ට දෙවි පැහැදිලි මඟ පෙන්වීමක් දුන්නත් එම මඟ පෙන්වීමට කීකරු වෙන්න කියා දෙවි ඔහුට බල කළේ නැහැ. වෙනත් වචනවලින් කියනවා නම් කායින් ගන්නා තීරණ දෙවි පාලනය කළේ නැහැ. මිනිසාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිම මිනිසුන්ට එසේ කරන්නේ නැත්නම් ඔබ ඔබේ දරුවන්ට එසේ කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද? *

2. බොහෝදුරට අසාර්ථකයි. ඔබ වෙළඳ සැලකට යනවා කියා සිතන්න. කඩහිමියා ඔහු කැමති යම් භාණ්ඩයක් මිල දී ගන්න කියා ඔබට බල කරනවා. එම භාණ්ඩය ප්‍රයෝජනවත් වුණත් ඔහුගේ බල කිරීම නිසා ඔබ එය මිල දී ගැනීමට කැමති වන්නේ නැහැ. ඒ වගේම ඔහුගෙන් ඉවත්ව යෑමට ඔබ පුළුවන් තරම් උත්සාහ කරයි.

ඔබේ දරුවන්ට යම් දේවල් සම්බන්ධයෙන් බල කිරීමත් ඒ හා සමානයි. ආගමික විශ්වාසයන්, සදාචාර ප්‍රමිති හා අනාගත බලාපොරොත්තු ගැන ඔබට තිබෙන ආශාවන් දරුවාගේ මනසට බලහත්කාරයෙන් ඇතුළත් කිරීමට උත්සාහ කළොත් ඔහුටත් ඒවා එපා වෙයි. ඔබේ යෝජනා ප්‍රයෝජනවත් වුණත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා.

දරුවා කුඩා කාලයේදී ඔහු සම්බන්ධයෙන් සියලු තීරණ ගත්තේ ඔබයි. නමුත් දැන් ඔහු යෞවනයෙක් නිසා අවශ්‍ය වන්නේ හරි දේ හා වැරදි දේ අතර වෙනස හඳුනාගැනීමට ඔහුට උපකාර කිරීමයි. ඒ වගේම හරි දේ කිරීමෙන් ඇති වන ප්‍රයෝජන ගැනත් කියා දෙන්න අවශ්‍යයි. උදාහරණයකට දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් ලැබෙන දිගු කාලීන ප්‍රයෝජන හා සතුට ගැන ඔහුට පහදා දෙන්න.—යෙසායා 48:17, 18.

ඔබේ හොඳ ආදර්ශයත් අත්‍යවශ්‍යයි. (1 කොරින්ති 11:1) ඔබ අනුගමනය කරන ප්‍රතිපත්තිද දරුවාට පැහැදිලිව පෙනෙන්න සලස්වන්න. (හිතෝපදේශ 4:11) ඔබේ දරුවා දෙවිව හඳුනාගෙන ඔහුගේ ප්‍රතිපත්තිවලට ගරු කරනවා නම් තනිවම වුණත් නැණවත් තීරණ ගැනීමට දරුවාට හැකි වෙයි.—ගීතාවලිය 119:97; ෆිලිප්පි 2:12.

හොඳ පුහුණුවක්

මෙම සඟරාවේ දෙවන පිටුවේ පෙන්වා දුන් ආකාරයට ඔබේ දරුවා “පියාගෙන්ද මවගෙන්ද වෙන් වී” යන දිනයක් පැමිණෙනවා. (උත්පත්ති 2:24) නමුත් ඒ වන විට ඔහු සාර්ථක ජීවිතයක් ගත කළ හැකි වැඩිහිටියෙක් බවට පත් වී සිටීමට නම් දැන් සිටම ඔබ ඔහුව පුහුණු කළ යුතුයි. එය කළ හැකි ආකාර තුනක් ගැන දැන් අපි බලමු.

එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු. ඔබේ දරුවාට තනිවම කෑමක් පිළියෙල කරගන්න, ඇඳුම් සෝදා මැදගන්න, කාමරය අස් කරගන්න, වාහනයක් හෝ යතුරුපැදියක් තිබෙනවා නම් එහි යම් දෝෂයක් ඇති වූ විට එය සකස් කරගන්න පුළුවන්ද? ඒ දේවල් කල් ඇතුව ඔබේ දරුවා ඉගෙනගෙන තිබෙනවා නම් ඔබෙන් වෙන් වූ දවසට ඔහු සාර්ථක ජීවිතයක් ගත කරයි. බයිබල් ලේඛකයෙකු වූ පාවුල් පැවසුවේ “මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට ඉගෙනගෙන සිටිමි” කියායි.—ෆිලිප්පි 4:11.

අන් අය සමඟ හවුලේ වැඩ කිරීම. (යාකොබ් 3:17) ඔබේ දරුවා අන් අය සමඟ එකමුතුව වැඩ කිරීමට, ප්‍රශ්නයක් ඇති වූ විට එය සමාදානයෙන් විසඳාගැනීමට හා අන් අයට ගරු කිරීමට ඉගෙනගෙන තිබෙනවාද? (එෆීස 4:29, 31, 32) බයිබලයේ පවසන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියායි.—1 පේතෘස් 2:17.

මුදල් පරිහරණය කිරීම. (ලූක් 14:28) ඔබේ දරුවා යම් වෘත්තිය පුහුණුවක් ලබා තිබෙනවාද? අරපිරිමැස්මෙන් වැඩ කරන්න, ණය නොවී සිටින්න, ලද දෙයින් සතුටු වෙන්න සහ මුදල් ඉතිරි කරන්න ඔහු දන්නවාද? (හිතෝපදේශ 22:7) ඒ සඳහා බයිබලයේ දෙන උපදෙස මෙයයි. “අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.

යොවුන් වියේ පසුවන ඔබේ දරුවාට හරි වැරැද්ද තෝරාගැනීමට හා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගැනීමට හැකි නම් ඔහු දිනෙක නිවසින් පිට වී යන්නේ සමාජයට වැඩදායී පුද්ගලයෙකු ලෙසයි. ඔබ දරුවාගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු වී තිබෙන නිසා ඔබටත් ඉන් සතුටු විය හැකියි.—හිතෝපදේශ 23:24.

[පාදසටහන]

^ 11 ඡේ. වැඩි විස්තර සඳහා 2011 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 18-19 පිටු බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

● දරුවා සම්බන්ධයෙන් ඔබේ බලාපොරොත්තුව කුමක්ද?—හෙබ්‍රෙව් 5:14.

● ඔබේ දරුවා වැඩිහිටියෙකු වූ විට ඔහු ගත යුතු වැදගත්ම තීරණය කුමක්ද?—යොෂුවා 24:15.

[25වන පිටුවේ පින්තූර]

ඔබ කැමති ඔබේ දුව හෝ පුතා මොන වගේ කෙනෙක් වෙනවාටද?

ඔබ වගේම

හිතුවක්කාර

සමාජයට වැඩදායී