Skip to content

පටුනට යන්න

කෝපය පාලනය කරගනිමු!

කෝපය පාලනය කරගනිමු!

කෝපය පාලනය කරගනිමු!

බිය, දුක, වෛරය ඇතුළත් නාට්‍ය නැරඹීමෙන් කෙනෙකුගේ මානසික පීඩනය මුදාහැරිය හැකි බව මීට වසර 2,000කට පමණ පෙර සිටි ග්‍රීක දර්ශනවාදියෙක් වන ඇරිස්ටෝටල් පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ එසේ කිරීමෙන් කෙනෙකුට මානසික සුවයක් ලැබෙන බවයි.

ඔස්ට්‍රියානු ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කළා. ඔහු පැවසුවේ යම් පුද්ගලයෙක් කෝපය වැනි හැඟීම් සිතේ සිර කරගැනීම, පසු කාලයකදී මානසික රෝගී තත්වයකට මඟ පෑදිය හැකි බවයි. කෝපය පිට කිරීම සුදුසු බව ඔහුගේ නිගමනයයි.

නමුත් එවැනි මතවල කිසිදු සත්‍යයතාවක් නැති බව මෑත දශකවල සිදු කළ පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. මෙම සොයාගැනීම් පදනම් කරගෙන මනෝ විද්‍යාඥවරියක් වන කැරල් ටැව්රස් පැවසුවේ “කෝපය පිට කිරීමෙන් මානසික සහනයක් ලැබෙන බවට වූ මතයට තිත තබන්න කාලය ඇවිත්” කියායි. එමෙන්ම “සැහැසික දේවල් නැරඹීමෙන් කෝපයේ හැඟීම් පිට කිරීමට හැකියි යන මතය පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැති” බවත් ඇය පවසනවා.

තවත් මනෝ විද්‍යාඥයෙක් වන ගැරී හාන්කෙන්ස් පැවසුවේ “කෝපය පිට කිරීමෙන් සහනයක් ලැබෙනවාට වඩා පීඩනයක් ඇති වන බවයි.” ඒ අදහසට මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රවීණයන්ද එකඟ වෙනවා. කෙසේවෙතත් බොහෝදෙනෙක් බයිබලයෙන් ඔවුන්ට ලැබුණු ප්‍රඥාවන්ත උපදෙස්වලින් ප්‍රයෝජන ලබා තිබෙනවා.

“කෝප වීමෙන් වළකින්න”

කෝප වීම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න. මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.” (ගීතාවලිය 37:8) ඔබ කියූ හෝ කළ දෙයක් නිසා පසුව පසුතැවෙනවාට වඩා කෝපය පාලනය කරගැනීම ඥානවන්ත දෙයක් නොවේද! එය කියන තරම් පහසු නැති බව ඇත්තයි. නමුත් එය කළ හැකියි. ඔබේ කෝපය පාලනය කරගත හැකි ආකාර තුනක් දැන් අපි සලකා බලමු.

ඉවසන්න

දැඩි කෝපයක් ඇති වන විට ඉවසන්න. කටට එන සෑම වචනයක්ම පිට කරන්න එපා. පාලනය කරගන්න බැරි තරමටම කෝපයක් ඔබට ඇති වෙනවා කියා සිතෙනවා නම් බයිබලයේ සඳහන් මේ උපදෙස අදාළ කරගන්න. “රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.”—හිතෝපදේශ 17:14.

ජැක් නම් තැනැත්තාට කෝපය පාලනය කරගැනීමට උපකාරවත් වුණේ එම උපදෙසයි. ජැක්ගේ පියා බීමත්කමට ඇබ්බැහි වූ දාමරික පුද්ගලයෙක්. ජැක් එවැනි පරිසරයක හැදී වැඩුණු නිසා ඔහු තුළත් දරුණු ගතිලක්ෂණ දක්නට ලැබුණා. ඔහු මෙසේ පවසනවා. “කේන්ති ගියාම මට දැනුණේ මාව ගිනිගන්නවා වගේ. ඒ වෙලාවට මම කට විතරක් නෙවෙයි අත පයත් පාවිච්චි කෙරුවා.”

කෙසේවෙතත් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ ඔහු වෙනස් වුණා. දෙවිගේ උපකාරය ඇතුව තමන්ගේ කෝපය පාලනය කරන්න පුළුවන් බව ඔහු තේරුම්ගත්තා. දවසක් ඔහුගේ රැකියා ස්ථානයේ සේවකයෙක් කෝපයෙන් බැණවැදුණු විට ඔහු ක්‍රියා කළ ආකාරය ගැන ඔහු මෙසේ පවසනවා. “මට ඒ වෙලාවේ ආවේ පුදුම කේන්තියක්. එයාව උස්සලා පොළොවේ ගහන්න හිතුණා.”

ඒ අවස්ථාවේදී ඔහු කෝපය පාලනය කරගත්තා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “‘දෙවියනි මට සන්සුන් වෙන්න උදව් කරන්න’ කියලා මම ඒ වෙලාවේ යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊටපස්සේ මට ලොකු සන්සුන්කමක් දැනුණා. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි ඒ වගේ සන්සුන්කමක් අද්දැක්කේ. මම එතනින් පිට වෙලා ගියා.” ජැක් දිගටම බයිබලය අධ්‍යයනය කළ අතර “දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි” වැනි බයිබල් පදවල ඇති උපදෙස්ද සිතට ගත්තා. (හිතෝපදේශ 26:20) ඒ වගේම ඔහු දෙවිට යාච්ඤා කළා. දැඩි කෝපයෙන් ක්‍රියා කළ ජැක්ට ඉවසිලිවන්ත පුද්ගලයෙක් වීමට හැකි වුණා.

සන්සුන් වෙන්න

‘සන්සුන් මනසක් ගතට සුවයක්’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 14:30) සන්සුන්ව කටයුතු කිරීමෙන් මානසිකවත් ශාරීරිකවත් නිරෝගීව සිටිය හැකි අතර දෙවිගේ හදවත සතුටු වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමටත් හැකියි. සන්සුන් වීමට පහත සඳහන් සරල ක්‍රම අත්හදා බලන්න.

● ලොකු හුස්මක් ගන්න. එය කෝපය පාලනය කරගැනීමට තිබෙන හොඳම හා වේගවත්ම ක්‍රමයයි.

● එසේ හුස්ම ගැනීමේදී “සන්සුන් වෙන්න,” “අමතක කරන්න,” “කලබල වෙන්න එපා” වැනි දේ පවසන්න.

● ඔබ ආශා කරන යම් ක්‍රියාකාරකම්වල නියැලෙන්න. කියවීම, සංගීතයට සවන් දීම, වත්තේ වැඩ කිරීම හෝ වෙනත් දෙයක් කළ හැකියි.

● නිතිපතා ව්‍යායාම කිරීමත් පෝෂ්‍යදායී ආහාර ගැනීමත් ප්‍රයෝජනවත්.

සීමාවන් තේරුම්ගන්න

ඔබව කුපිත කරවන පුද්ගලයන්ව, තත්වයන් හෝ දේවල් ඔබේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්න ඔබට බැහැ. නමුත් ඔබ සිතන ආකාරය වෙනස් කරගත හැකියි.

මහත් බලාපොරොත්තු තබාගෙන සිටින අය කෝප වීමට තිබෙන ප්‍රවණතාව වැඩියි. ඊට හේතුව යමෙකු තමන් බලාපොරොත්තු වූ ආකාරයට කටයුතු කළේ නැත්නම් හෝ යම් දෙයක් සිතූ ලෙස ඉටු වුණේ නැත්නම් ඉක්මනින්ම කෝපයට පත් වීමයි. නමුත් සෑම දෙයක්ම අංග සම්පූර්ණව ඉටු විය යුතුයි යන ආකල්පය ඇති අය බයිබලයේ සඳහන් මෙය සිතට ගත යුතුයි. ‘කිසි ධර්මිෂ්ඨ මිනිසෙක් නැත. එක් කෙනෙක්වත් නැත. සියලුදෙනාම යහපතින් ඉවත් වී කිසි වැදගැම්මකට නැති අය බවට පත්ව ඇත.’ (රෝම 3:10, 12) ඒ නිසා සෑම කෙනෙක් අතින්ම අඩුපාඩු සිදු වෙන බව පිළිගන්න.

ඔබෙන් සහ අන් අයගෙන් බලාපොරොත්තු වන දේ ගැන සාධාරණ වෙන්න. බයිබලයේ මෙසේ පවසනවා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.” (යාකොබ් 3:2) එහි මෙසේද සඳහන් වෙනවා. “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.” (දේශනාකාරයා 7:20) එසේනම් වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙන අප, කිසි වරදක් නොකරන අය ලෙස කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් අත් වෙන්නේ කලකිරීම හා කෝපයයි.

අප සෑම කෙනෙක්ම කලින් කලට කෝපයට පත් වෙනවා. නමුත් බයිබලයේ ලේඛකයෙක් වන පාවුල් මෙසේ උපදෙස් දෙනවා. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න. ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.” (එෆීස 4:26) කෝපය පාලනය කරගැනීමෙන් අපටත් අන් අයටත් යහපතක් සිදු වෙයි.

[8, 9යන පිටුවල කොටුව/පින්තූර]

සන්සුන් වීමට

ලොකු හුස්මක් ගන්න

ඔබ ආශා කරන ක්‍රියාවක යෙදෙන්න

නිතිපතා ව්‍යායාම් කරන්න