Skip to content

පටුනට යන්න

සුළු මාපියන් සිටින පවුල් මුහුණ දෙන ගැටලු

සුළු මාපියන් සිටින පවුල් මුහුණ දෙන ගැටලු

සුළු මාපියන් සිටින පවුල් මුහුණ දෙන ගැටලු

● පොදුවේ පවුල්වල ඇති වන ගැටලුවලට වඩා දෙවෙනි විවාහයක් කරගෙන සිටින පවුල්වල ඇති වන ගැටලු වෙනස්. සුළු මාපියන් * සිටින එවැනි පවුල්වලට උපදෙස් දෙන මනෝවෛද්‍යවරියක් වන පැට්‍රිෂියා පේපර්නව් පවසන්නේ “සාමාන්‍ය පවුල්වලට දෙන උපදෙස්ම මෙවැනි පවුල්වලට ලබා දීම හරියට එක නගරයක සංචාරය කිරීමට වෙනත් නගරයක සිතියමක් භාවිත කරනවා හා සමාන” බවයි.

ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු සංකීර්ණ වන අතර ඒවා ඒ පවුල්වලටම ආවේණිකයි. මනෝවෛද්‍යවරයෙක් වන විලියම් මර්කල් පවසන්නේ “ඕනෑම සබඳතාවකට වඩා මෙවැනි පවුල් අතර ඇති සබඳතාව අසාමාන්‍ය හා සංකීර්ණ” බවයි.

සුළු මාපිය පවුල්වලට එතරම් අභියෝග තිබෙනවා නම් ඔවුන්ට සාර්ථක විය හැකිද? කෑලි මූට්ටු කර මසා තිබෙන ඇතිරිල්ලක් ගැන සිතන්න. එය ඉතාමත් ශක්තිමත්. නමුත් මුල්ම කෑලි කිහිපය මූට්ටු කරන අවස්ථාවේදී එය එතරම් ශක්තිමත් නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම මසා නිම කළ විට එය ශක්තිමත් ඇතිරිල්ලක් බවට පත් වෙයි. ඒ හා සමානව එවැනි පවුල්වල බැඳීම්ද කාලයත් සමඟ ශක්තිමත් වෙයි.

ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගත් ආකාරය ගැන සලකා බලමු.

1වෙනි අභියෝගය බලාපොරොත්තු සුන් වීම

“මට ඕනෙ වුණේ මගේ දෙවෙනි කසාදෙන් එකතු වුණ දරුවන්ගේ ආදරය හා සැලකිල්ල ලබන්න. දැන් අවුරුදු අටක් වෙලත් ඒ දේ ලැබුණේ නැහැ.”—ග්ලෝරියා. *

යුවළක් විවාහ දිවියට පා තබන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතුවයි. කලින් විවාහයේදී සිදු වූ අඩුපාඩු මඟ හරවාගෙන ආදරය හා රැකවරණය මේ විවාහයෙන් ලබන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ බලාපොරොත්තු ඔවුන් සිතන ආකාරයට ඉටු නොවන විට ඇති වෙන්නේ කලකිරීමයි. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියා බයිබලයේද සඳහන් වෙනවා.—හිතෝපදේශ 13:12.

ඔබට කළ හැකි දේ

තත්වය හොඳ අතට හැරෙයි කියා සිතමින් කිසිවක් නොකර ඉන්න එපා. ඔබ බලාපොරොත්තු වූ ආකාරයට ඉටු නොවුණේ කුමක්ද කියා සිතන්න. එවැනි දෙයක් බලාපොරොත්තු වුණු හේතුව කුමක්ද කියා සිතන්න. ඒ වගේම යථාර්ථය තේරුම්ගන්න. මේ උදාහරණ සලකා බලමු.

1. බලාපොරොත්තුව: දෙවෙනි කසාදයෙන් එකතු වුණු දරුවන් සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීම.

හ්තුව: ආදරයෙන් බැඳුණු පවුලක් ලෙස ජීවත් වීම.

යථාර්ථය: එකිනෙකා අතර ඇති බැඳීම් ශක්තිමත් වීමට කාලය ගත වෙයි. ඒ නිසා දැනට ලැබී තිබෙන රැකවරණය හා ගෞරවය ගැන සතුටු වෙන්න.

2. බලාපොරොත්තුව: ඉක්මනින්ම එක පවුලක් යන හැඟීම ඇති වීම.

හ්තුව: අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සියලුදෙනාටම අවශ්‍ය වීම.

යථාර්ථය: සාමාන්‍යයෙන් එක පවුලක් යන හැඟීම ඇති වීමට අවුරුදු හතරේ සිට හතක් වැනි කාලයක් ගත වෙයි.

3. බලාපොරොත්තුව: මුදල් සම්බන්ධයෙන් වාද ඇති නොවෙයි කියා සිතීම.

හ්තුව: එකිනෙකා අතර ආදරයක් තිබීම.

යථාර්ථය: කලින් විවාහයේදීත් එවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මුදල් හවුලේ වියදම් කිරීමට තරම් සූදානමක් නොතිබීම.

2වෙනි අභියෝගය එකිනෙකාව තේරුම්ගැනීම

“අපි එක පවුලක් කියලා හැඟෙන්න මට අවුරුදු දහයක් විතර ගියා.”—ටට්සුකි.

“අපි ඉක්මනින්ම පවුලක් හැටියට හැඩගැහුණා.”—යොෂිටෝ, ටට්සුකිගේ සුළු පියා.

යොෂිටෝ සහ ටට්සුකි හා සමානව සුළු මාපියන් සහ දරුවන් අතර අවබෝධයක් නොතිබිය හැකියි. එවිට ප්‍රශ්න ගැටලු විසඳාගැනීම පහසු නැහැ.

කතා කිරීමේදී කල්පනාකාරී වෙන්න. ඔබ පවසන දෙයින් කෙනෙකුව මානසිකව බිඳ දැමීමට හෝ ගොඩනැංවීමට හැකියි. බයිබලයේ සඳහන් වන්නේ “ඔබ පවසන දෙයින් යමෙකුව මරා දමන්න හෝ ජීවත් කරවන්න හෝ එයට බලය තිබේ” කියායි.—හිතෝපදේශ 18:21.

ඔබට කළ හැකි දේ

• එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න. විවේචනය කරනවාට වඩා ඔවුන්ගේ හැඟීම් තේරුම්ගන්න. උදාහරණයකට,

“තාත්තා නැතුව පාළුයි” කියා ඔබේ පුතා කිව්වොත් “ඔයාගේ තාත්තට වඩා බාප්පා කොච්චර හොඳද, එයා ඔයාට කොච්චර ආදරෙයිද” කියා පවසනවා වෙනුවට “ඔයාට තාත්තා නැති අඩුව දැනෙන්නේ මොන වගේ වෙලාවටද” කියා අසන්න.

“ඔයාගේ දරුවාව හොඳට හැදුවා නම් ළමයා කවදාවත් නපුරු වෙන්නේ නැහැ” කියා සහකරුට හෝ සහකාරියට චෝදනා කරනවා වෙනුවට “දරුවාට මා එක්කත් චුට්ටක් කතා කරන්න කියලා කියන්නකෝ” කියා පැවසිය හැකියි.

• එකිනෙකාව තේරුම්ගැනීමට එකට කෑම ගැනීම, විනෝද වීම හා නමස්කාර කටයුතුවල හවුල් වීම ප්‍රයෝජනවත්.

• පවුලේ සාකච්ඡාවලදී සෑම කෙනෙක්වම ඊට හවුල් කරගන්න. එක් එක් කෙනාට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න. පවුල තුළ තිබෙන හොඳ පැති අගය කර දියුණු කරගත යුතු පැති ගැන කතා කරන්න. ඔවුන් පවසන යම් කාරණයකට එකඟ වීමට බැරි වුවත් එයට ගරු කරන්න. යෝජනා ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව දෙන්න.

3වෙනි අභියෝගය එක පවුලක් යන හැඟීම ඇති කිරීම

“මගේ බිරිඳයි එයාගේ දරුවනුයි කලින්ම දේවල් සාකච්ඡා කරලා ඒගොල්ලෝ එක පැත්තක් වෙනවා. මම තනි වෙනවා.”—වෝල්ට්.

තමන්ගේ පවුල තුළ පිටස්තරයෙක් ලෙස හැඟීම බොහෝ ප්‍රශ්නවලට මුල පුරයි. උදාහරණයකට,

• තම මව හෝ පියා නැවත විවාහ වීමට යන පුද්ගලයා සමඟ දරුවන් මුලදී හොඳින් කටයුතු කළ හැකියි. නමුත් විවාහයෙන් පසු ඔවුන් අතර ප්‍රශ්න ඇති විය හැකියි.

• සුළු මවකට හෝ පියෙකුට කුඩා දරුවෙකු ගැන පවා ඊර්ෂ්‍යාවක් ඇති විය හැකියි.

• පවුලේ පුංචි කාරණාවලදී පවා ලොකු ලොකු විවාද ඇති විය හැකියි.

පවුල තුළ බෙදීම් තිබෙන විට එය දෙමාපියන්ට පීඩනයක්. කාමන් නමැති මව මෙසේ පවසයි. සමහර වෙලාවට මගේ දරුවන්ගේ පැත්ත ගන්නද මහත්තයාගේ පැත්ත ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මම හරියට ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ.

එවැනි අභියෝග ජය ගැනීමට බයිබලයේ සඳහන් රන් අණ ප්‍රයෝජනවත් වෙයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) සුළු මාපියන් සහ දරුවන් එක පවුලක අය මෙන් කටයුතු කරන්නේ කෙසේද?

ඔබට කළ හැකි දේ

• ඔබේ විවාහයට මුල් තැන දෙන්න. (උත්පත්ති 2:24) ඔබේ සහකාරිය සහ සහකරු සමඟ කාලය ගත කරන්න. පවුල තුළ ඔහුට හෝ ඇයට හිමි තැන පැහැදිලිව දරුවන්ට පෙන්වා දෙන්න. උදාහරණයකට විවාහයට පෙර, තමා විවාහ වීමට යන සහකාරිය ගැන දරුවන්ට මෙසේ පැවසීමට පියෙකුට හැකියි. “මම ඇනාට ආදරෙයි. එයා තමයි මගේ බිරිඳ වෙන්න යන්නේ. ඔයාලත් එයාට හොඳින් සලකයි කියලා මං හිතනවා.”

• සෑම දරුවෙක් සමඟම වෙන වෙනම කාලය ගත කරන්න. එසේ කරනවා නම් ඔබ ඔවුන්ට කොතරම් ආදරෙයිද කියා ඔවුන්ට දැනෙයි.

• ඔබේ අලුත් සහකරුගේ හෝ සහකාරියගේ දරුවන් සමඟත් කාලය ගත කරන්න. එවිට ඔබට ඔවුන් සමඟද කිට්ටු බැඳීමක් ඇති වෙයි.

• සහකරුගේ හෝ සහකාරියගේ දරුවන්ට ඔබට “අම්මා” හෝ “තාත්තා” කියා පැවසීමට බල නොකරන්න. නහඹරවියේ පසුවන දරුවන්ට මුල් කාලයේදී ඔවුන් එකතු වූ අලුත් පවුලට “අපේ පවුල” හෝ “අපි” කියා කීම අපහසු විය හැකියි.

• සෑම දරුවෙකුටම ගෙදරදොරේ පුංචි පුංචි වැඩ පවරන්න. දරුවාට නිවස තුළ නිශ්චිත ස්ථානයක් ලබා දෙන්න. දරුවන් ඉඳහිට ඔබ සමඟ සිටීමට පැමිණියත් ඔවුන්ට නිසි ස්ථානයක් ලබා දෙන්න.

• අලුත් නිවසකට යෑමට හෝ සිටින නිවසේ යම් සකස් කිරීම් කරන්න අවශ්‍යද කියා සිතා බලන්න. එවිට අලුතින් පවුලට එකතු වූ අයට, තමන් අනික් අයගේ තැන අල්ලාගත්තා යන හැඟීම ඇති නොවෙයි.

4වෙනි අභියෝගය දරුවන්ට අවවාද කිරීම

“මම කාමන්ගේ ළමයින්ට අවවාදයක් කළාම එයා මට සහයෝගය දෙනවා වෙනුවට දරුවන්ගේ පැත්ත ගන්නවා.”—පැබ්ලෝ.

“පැබ්ලෝ මගේ දරුවන්ට සැර වැඩියි කියලයි මට හිතෙන්නේ.”—කාමන්.

සුළු මාපියන් සිටින පවුල්වල දරුවන්ට අවවාද කිරීමේදී ප්‍රශ්න පැන නඟින්නේ ඇයි? උදාහරණයකට දරුවන් හැදී වැඩුණේ මව සමඟ නම් සුළු පියෙක් පවුලට එකතු වූ විගස ඔවුන් අතර එතරම් බැඳීමක් නැති නිසා ඔහුට කීකරු වීම දරුවන්ට අපහසු විය හැකියි. මේ හේතුව නිසා ඇය තම දරුවන්ට ළිහිල් වැඩියි කියා සුළු පියාට හැඟෙන්න පුළුවන්. අනික් අතට සුළු පියා තම දරුවන්ට දරුණු වැඩියි කියා මවට හැඟෙන්න පුළුවන්.

නමුත් දරුවන් හදා වඩා ගැනීමේදී සාධාරණ වෙන්න කියා බයිබලයේ දිරිගන්වා තිබෙනවා. “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.” (එෆීස 6:4) මෙම බයිබල් පදයෙන් උනන්දු කරන්නේ දරුවන් කියන කරන දේවල් පාලනය කරනවා වෙනුවට ඔවුන්ට නිවැරදිව සිතන්න පුහුණු කරන්න කියායි. ඒ වගේම දරුවෙකුට අවවාද කිරීමේදී ඔවුන්ගේ සිත නොරිදෙන ආකාරයෙන් කරන්න කියාත් දිරිගන්වා තිබෙනවා.

ඔබට කළ හැකි දේ

• නිවසේ දැනටමත් තිබෙන නීති ක්‍රියාත්මක කරන්න. එවැනි නීති පැනවීමෙන් ප්‍රයෝජන ලැබෙයි. පහත සිද්ධිය සලකා බලන්න.

සුළු මව: ජෙනිෆර්, ඉස්කෝලේ දුන්න වැඩ ඉවර කරනකල් SMS අරින්න බැහැ.

ජෙනිෆර්: ඔයා මගේ අම්මා නෙවෙයිනේ.

සුළු මව: ඒක හරි, ඒත් දැන් ඔයාව බලාගන්නේ මම. ඒ නිසා ඉස්කෝලේ වැඩ ඉවර වෙනකල් SMS අරින්න බැහැ.

• නිතර නිතර අලුත් නීති දැමීම හෝ නීති වෙනස් කරන්න එපා. දරුවා අලුත් තත්වයකට මුහුණ දෙන නිසා සුළු මවක් හෝ පියෙක් කරන පුංචි ඉල්ලීමක් පවා මහ මෙරක් මෙන් දැනෙන්න පුළුවන්. ඇත්තෙන්ම අලුත් නීති අවශ්‍යයි. එනම් පවුලේ තොරතුරු හෙළි නොකිරීම, වැඩිහිටි දරුවන් සිටිනවා නම් අඳින පළඳින විදිහ ගැන යම් නීති පැනවීම අවශ්‍යයි.

• යම් එකඟ නොවීම් තිබෙන විට දරුවන් ඉදිරියේ ඒ ගැන සාකච්ඡා නොකර තනිව දෙදෙනා ඒ ගැන කතා කරන්න. දරුවාගේ අතින් වරදක් සිදු වූ විට ඔහුව පුහුණු කර තිබෙන ආකාරය වැරදියි කියා පවසන්න එපා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. සුළු මාපිය පවුල් ලෙස හඳුන්වන්නේ නැවත විවාහයකින් එක් වන මව හෝ පියා සහ ඔවුන්ගේ දරුවන්වයි.

^ 7 ඡේ. මෙම ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර ඇත.

[3වන පිටුවේ පින්තූරය]

එකමුතු පවුලක් සිහිනයක්ද?

[4වන පිටුවේ පින්තූරය]

අන් අයගේ හැඟීම් තේරුම්ගැනීමට හොඳින් සවන් දෙන්න

[6වන පිටුවේ පින්තූරය]

එකඟ නොවීම් ඇති වන විට ඒවා පෞද්ගලිකව විසඳාගන්න